එක එක ජාතියේ කොල්ලො ඉන්නව. ඒ කොල්ලන්ට කෙල්ලොත් ඉන්නව. හැබැයි මේ හැම කෙල්ලෙක්ටම විදගන්න සිද්ධ වෙන පොදු කාරණා කීපෙකුත් තියෙනව. බෝයි ෆ්‍රෙන්ඩ්ලට විතරක් නෙවෙයි මේවා හස්බන්ඩ්ලටත් තියෙන පුරුදු තමා ඉතින්. කොච්චර ලව් උනත් ඉතින් මේවට තරහ යන්නෙ නැත්තෙ නෑ කෙල්ලොන්ට. අපි කියන්නෙ කොල්ලෙක් එක්ක ඉන්නවනම් කෙල්ලෙක්ට මේ දේවල් ඉවසන්නම
වෙනව කියල තමා. කොල්ලො එක එක ජාතියේ උනාට මේවා නම් හැමෝටම පොදු පුරුදු. ඒකනෙ අවුල 🙁
කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ බැන්දයි කියල මේ පුරුදු අත් ඇරෙන්නෙ නෑ. මේ කියන්නෙ එහෙම බෝයි ෆ්‍රෙන්ඩ්ලගෙයි හස්බන්ඩ්ලගෙයි කෙල්ලොන්ට පෙන්නන්නම බැරි උනත් ඉවසන් ඉන්න වෙන පුරුදු ටිකක්.
1. රබර් ඇහැ
ඔන්න පළවෙනිම කාරණේ. හුඟක් වෙලාවට දෙන්න අතර වලි යන්නත් මේක හේතුවක් තමා. ඔයා එක්ක ඉද්දිත් අහල පහලින් යන කෙල්ලොන්ට රබර් ඇහැ දාන එක නම් යාළු වෙලා ඉන්නකොට විතරක් නෙවෙයි බැන්දට පස්සෙත් අත නොහරින පුරුද්දක්. ඔය ඉතින් එහෙම බලන්නෙ ඔයාට ආදරේ නැතුව නෙවෙයි. කෑම ඕඩර් කලාට පස්සෙත් මෙනූ එක බලන එක පුරුද්දට ගිහින් හින්ද. තරහ ගන්න කාරි නෑ ඕකට නම්.
2. විනාඩි පහ
මේකට නම් මල පැන්නත් කරන්න දෙයක් නෑ. කාලෙත් එක්ක පුරුදු වෙන්නම වෙනව. යාළුවො එක්ක සෙට් වෙන්න ගිහින් ගෙදර යන්නෙ කීයටද ඇහුවොත් “මං විනාඩි 5න් ගෙදර යනව ඩාලින්” තමා උත්තරේ. ඊට පැයකට පස්සෙ කෝල් කලාමත් ඕකම තමා උත්තරේට හම්බෙන්නෙ. ඇයි හම්බෙන්න එන්න කිව්වමත් ඔහොම්මයි. “මං විනාඩි 5න් ඔතන” කියන මිනිහ එන්නෙ පැය භාගෙකට පස්සෙ. හැබැයි ඉතින් එහෙම පරක්කු වෙලා ආවම අපිට පොඩි වාසියක් නැත්තෙත් නෑ. පොඩ්ඩක් තරහයි වගේ පෙන්නුවම යාළු කරගන්න ඉල්ලන ඕන දෙයක් අරන් දෙයි 😉
3. සරම නැත්නම් ශෝට
මේ ගැන නම් කතා කරල වැඩක්ම නෑ. අනාදිමත් කාලයක් තිස්සෙ එන පුරුද්දක් මේක. ඇඳුම් මාරු කරද්දි ඇඳන් ඉන්න සරම හරි ශෝට හරි එතනම බිම දමල යනව. පොඩ්ඩක් ඕක අහුලල රැක් එක උඩින් දාන්න බැරිද ඇහුවොත් ” අපෝ ඕක අහුලන්න පහත් උනොත් ශර්ට් එක පොඩි වෙනව අප්ප” වගේ මෙලෝ රහක් නැති උත්තරයක් හම්බෙයි. කිය කිය ඉන්නවට වඩා අපිම අහුලල පැත්තකින් දාන එක ඊට සනීපයි.
4. ගේම් ගැහිල්ල
එක එක කාලෙට එක එක ගේම් ගහන්න පටන් ගන්නව. නෑ නෑ එහෙම ගේම් නෙවෙයි ඔන්ලයින් ගේම් වීඩියෝ ගේම් වගේ ගේම් ගැන මේ කිව්වෙ. ඕවා ගහන්න ගත්තම ආපහු එලෝ මෙලෝ නෑ. කන්න බොන්නවත් මතක් වෙන්නෙ නෑ. කෝල් එකක් දුන්නම ආන්සර් කරන්නෙත් නෑ. ගේම් එක ගහල ඉවර වෙලා රෑ 10ටයි කෝල් කරල අහන්නෙ “පැටියො ඔයා දවල්ට කෑවද වස්තුවේ” කියල. ඕකට ඉතින් මං දැන් රෑටත් කාල ඉවරයි වගේ උත්තරයක් දෙන්න කට හදාගත්තට කියන්න එපා. කියල වැඩක් නෑ. හෙටත් වෙන්නෙ ඕකමයි. මේ ලෙඩේ නම් ගණන් ගන්නම එපා. පොඩ්ඩක් බැන්නම ඒ ගේම් එක අත ඇරල දවසක් දෙකක් ගිහින් වෙන ගේම් එකක් ගහන්න ගන්නව. ඇහුවොත් කියන්නෙ “ආආ ඒක නෙවෙයි මේ වෙන එකක්නෙ” කියල.
5. කෑම
අපි ඉතින් දන්න වැඩ කිඩ ඔක්කොම දාල මොන රස කෑම හදල දුන්නත් වැඩක් නෑ. කන්නෙ මේ ලෝකෙ සිහියකින් නෙවෙයි. ෆෝන් එක ඔබ ඔබමයි කන්නෙ. කෑම රසයිද ඇහුවොත් “ශා නියමයි හරිම රසයි” කියල නම් අනිවා කියනව. කාල ඉවර උනාම නිකමට “අද මොනාද උයල තිබ්බෙ” කියල අහල බලන්නකො මතක තියෙනවද බලන්න. ඔය වෙලාවට අනේ මූට තණකොල මැල්ලුමක් දුන්නත් කයි කියල හිතුනට තරහගන්න එපා ඕන්. මේවා ඉවසන්නම වෙනව.
6. ෆිල්ම් බැලිල්ල
ඔයාලට කාටූන් එකක් බලන්න, රොමෑන්ටික් ෆිල්ම් එකක් බලන්න වගේ ආසාවක් තියෙනව නම් තනියම බලන්න කියල තමයි ඔන්න අපි නම් උපදෙස් දෙන්නෙ. මොකද එයා බලන්නෙ ඔයාට දිරවන ෆිල්ම් නෙවෙයි. එක්කො ෆුල් ෆයිට් ෆිල්ම්ස්, නැත්නම් සම්භාව්‍ය ගණයේ ෆිල්ම්. ඒවගේ තියෙන්නෙ ෆිල්ම් එක පටන් ගද්දි මැරෙන මිනිහට අන්තිමට පණ එනව වගේ කතා. නොතේරෙන හින්ද ඒ මොකද උනේ ඇහුවොත් කියයි “ආ ඒකෙ ලොකු තේරුමක් තියෙනව ඔයාට තේරෙන්නෙ නෑ” කියල. තේරෙන්නෙ නැති උනත් ළඟින් ඉඳන් ඒ ෆිල්ම් එක එයත් එක්ක බලන්නම වෙනව හැබැයි. ඉවසපන් කෙල්ලනේ ඉවසපන්.
7. ටවල් එක
විසිල් එහෙකුත් ගහගෙන නාන්න ගියාට මලාට ටවල් එක අරන් යන්නෙ නෑ. නාල ඉවර වෙලා බාත් රූම් එකේ ඉඳන් බෙරිහන් දෙනව ටවල් එක ගෙනත් දෙන්න කියල. අපි මොන වැඩේ කර කර හිටියත් දුවන් ගිහින් එයාට ටවල් එක දෙන්න ඕනෙ. ඇයි වැරදිලාවත් ටවල් එක දෙන්න පරක්කු වෙලා පස්සෙ එයාට හචුමක් ගියත් ඒකටත් පලි අපි. ඇයි ටවල් එක දෙන්න පරක්කු උනානෙ. ඒ හින්දා ඕවා ගණන් ගන්නම එපා. පුළුවන් නම් නාන්න යද්දිම ටවල් එක ඔළුව උඩට දාන්න.
8. ඩෙනිම හේදුවද අයියෝ!
නාල ඇවිත් තුවාය නම් කවදාවත් රැක් එකට දිග ඇරල දන්නෙ නම් නෑ නෑමයි. තෙත තුවාය ඔහේ ගුලි කරල රැක් එකට දායි එහෙමත් නැත්නම් ඇඳ උඩට දායි. පිලිවෙලක් නම් පුරුදු කරන්නම බෑ. ඇයි කිළුටු ඇඳුම් සේදුවාම අනිවා ඔයාගෙන් අහයි “අයියෝ අර ඩෙනිමත් සේදුවද ඒක තව සුමාන දෙකක් අඳින්න තිබ්බ සෝදන්නෙ නැතුව” වගේ කතාවක්. මේ දේවල් ඉවසනවා මිසක් වෙන මොනා කරන්නද අප්පා.
9. කඩේ යෑම
හදිසියකට කඩේට යැව්වොත් කියන දේ ඇරුණම අනිත් සේරම ගේනව. ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි නිසා අපි කියන ඒවා ඇහෙන්නෙම නෑ. එකම දේ දෙපාර දෙපාර කියන්න පුරුදු වෙන්නම ඕනෙ. පහුගිය කාලෙ ප්‍රසිද්ධ වෙච්ච ජෝක් එකක් තිබ්බ. “කඩේට ගිහින් පාන් ගෙඩියක් ගේන්න බිත්තර තිබ්බොත් 6ක් ගේන්න” කියල කෙල්ල කියනව. මෙන්න මේ මිනිහ පාන් ගෙඩි 6ක් උස්සන් එනව “කඩේ බිත්තර තිබ්බ නෝනෙ” කියාගෙන. ඔය වගේ වැඩ ඇත්තටම වෙන්න පුළුවන් නිසා පුළුවන් තරම් ඔයාම කඩේ යන එක ඇඟට ගුණයි කියල තමා කියන්න තියෙන්නෙ.
- aniwa.lk
කෙල්ලන්ට දිරවන්නෙ නැති උනත් ඉවසන්න වෙන කොල්ලන්ගෙ පුරුදු 9ක්
2017-12-13T00:36:00-08:00
Gossip Lanka Hot News
slide|