අත්තම්මගෙ කුස්සියෙන් ගෙනා පොල් සම්බෝල රස රහස්… එකම විදියට සම්බෝල හදන අපේ ගෘහණියන්ට ඔන්න වෙනසක්…

පොල් සම්බෝලයි බතුයි, පොල් සම්බෝලයි පානුයි කියන්නෙ දුප්පතාගෙ හිතවතා කියල ඉස්සර කතාවට කිව්වට දැන් කාලෙ නම් උම්බලකඩ ටිකක් දාපු පොල් සම්බෝලයක් කියන්නෙත් සුඛෝපභෝගී කෑමක්. පොල් වලයි උම්බලකඩ වලයි ගාණ ආයෙ කියන්න ඕන නෑනෙ. ටිකෙන් ටික පොශ් වෙන මේ පොල් සම්බෝලෙ රසට හදාගන්න දන්නෙ අද කාලෙ කීයෙන් කී දෙනාද? කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් පොල්
සම්බෝලයක් හදන හැටි නම් ඉගෙන ගෙන ඉන්න එකේ පාඩුවක් නෑ. මේ කියල දෙන්න හදන්නෙ නිකම්ම පොල් සම්බෝලයක් හදන හැටිම නෙවෙයි. හැමදාම එකම විදියට කන පොල් සම්බෝලෙ රස කීපෙකට හදන හැටි ගැන. මේ එකක්වත් අළුත්ම අළුත් සොයා ගැනීම නම් නෙවෙයි. ඉස්සර අපේ අම්මල අත්තම්මලා එක එක රසට සම්බෝල හදාගත්තු රස රහස්.

සම්බෝලෙ හදන්න කලින් අපි ඕන කරන දේවල් ගැන දැනගෙන ඉමු.

1. මිරිස් ගලක් හෝ ගල් වංගෙඩියක්

නියම විදියට පොල් සම්බෝලයක් හදාගන්න නම් ඉතින් මිරිස් ගලක් හරි ගල් වංගෙඩියක් හරි  ඕන උනත් අද කාලෙ මොඩර්න් පැන්ට්‍රි වල මිරිස් ගල් නෑනෙ. එහෙම අයට පුළුවන් ඒ වෙනුවට ලී වංගෙඩියක් අරගන්න. එහෙමත් නැත්නම් ෆුඩ් ප්‍රොසෙසර් එකක් හරි බ්ලෙන්ඩර් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්.

2. ගාගත් පොල්

මෙහෙමයි, සාමාන්‍ය සම්බෝලයක් හදන්න කලටි පොල් තමා රසම. මීට අමතරව කොට්ට පොල් වලින් හදන සම්බෝලෙකුත් තියෙනව. කලටි පොල්ම හොයාගන්න බැරි නම් ගොඩක්ම වියළි නැති පැහුණු පොල් ගන්න පුළුවන්.

පිට රටවල ඉන්න අයට නම් පොල් හොයාගන්න එක සෑහෙන කරදර වැඩක්. එක්කො හොයාගන්නම නෑ නැත්නම් ගිනි ගණන්. එහෙම අයට ඩෙසිකේටඩ් කොකනට් වලට යන්තම් උණු වතුර ඉහල හරි ලා රස්නෙ වතුරේ පොල් කිරි පව්ඩර් දිය කරල ඉහලා හරි පොඩ්ඩක් තෙත ගතියට අරගෙන සම්බෝලෙ හදාගන්න බැරිකමක් නෑ.

3. වියලි මිරිස්

වඩාත්ම හොඳ වියලි මිරිස් කරල් ගන්නව නම්. ඒත් හදිස්සියට හදන්න නම් කෑලි මිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්.

4. රතු ළූණු

පොල් සම්බෝලෙ නියම රස ගන්න නම් රතු ළූණු ඕනමයි. බී ළූණු වලින් රස නැතුව නෙවෙයි, ඒත් හරි විදියට හදන සම්බෝලෙකට රතු ළූණු තමා සුදුසුම.

5. දෙහි

ඇඹුලට දෙහි නොදා කොහොමද සම්බෝල හදන්නෙ. එහෙම හිතුනට දෙහි වෙනුවට වෙන දේවලුත් දාන්න පුළුවන්. අපි ඒ ගැන පසුවට කතා කරමු.

6. ලුණු

ඉස්සර නම් තිබ්බෙ කැට ලුණු. වේලිච්ච මිරිස් කරල් එක්ක කැට ලුණු එකට දාල ගලේ අඹරල තමා සම්බෝලෙ හදන්න ගන්නෙ. කැට ලුණු භාවිතය අඩු නිසා ඒ වෙනුවට ලුණු කුඩු ගන්න බාධාවක් නෑ.

7. උම්බලකඩ

අත්‍යාවශ්‍යම නැති උනත් රස සම්බෝලෙකට උම්බලකඩ ටිකක් එකතු උනාම ඒ රසේ වැඩි වෙනව කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. උම්බලකඩ වෙනුවට තව දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ ගැනත් අපි පසුවට කතා කරමු.

8. හදමු සම්බෝලෙ


  • මුලින්ම මිරිස් කරල් ටික පොඩියට කඩාගන්න. ගලේ අඹරනව නම් මිරිස් එක්ක ලුණු දාලා ඒකටම උම්බලකඩ කෑලි ටිකත් එකතු කරන් හොඳට අඹරගන්න. නැත්නම් වංගෙඩියෙ කොටාගන්න. ඒකට රතු ළූණු ටික එකතු කර මිරිස් එක්ක හොඳට මිශ්‍ර වෙන්න අඹරගන්න.
  • ඊට පස්සෙ ඒ අඹරගත්තු මිරිස් මිශ්‍රණයටම ගා ගත්තු පොල් ටික එකතු කරල පොල් එක්ක ළූණු සහ මිරිස් මිශ්‍රණය හොඳින් මිශ්‍ර වන තුරු අඹර ගන්න. අවසානයට රස අනුව දෙහි ඇඹුල් එක් කර සම්බෝලය අතින් අනාගන්න.
  • ෆුඩ් ප්‍රොසෙසර් එකක් හරි බ්ලෙන්ඩර් එකක් හරි නම් පොල් සහ දෙහි හැර අනික් සියල්ලම එකට දමා අඹරා ඒ මිශ්‍රණය එළියට ගෙන පොල් වලට දමා දෙහි එක් කර අතින් අනාගන්න.


9. දෙහි වෙනුවට

පොල් සම්බෝලයට දෙහි වෙනුවට දාන මේ දේවල් වලින් සම්බෝලයට එක් කරන්නෙ වෙනම රසයක්.


  •  විනාකිරි – පොල් සම්බෝලයට දෙහි වෙනුවට විනාකිරි එක් කරන්න. හැමදාම කන සම්බෝලෙට වෙනම රසයක් ගේනව. විනාකිරි දාල හදන සම්බෝලෙ වැඩියෙන්ම රස රෝස්ට් පාන් කන්න.
  • තක්කලි – දෙහි වෙනුවට තක්කලි පොඩියට කපල පොල් එකතු කරන්න කලින් ළූණු එක්කම එකතු කරල අඹරගන්න. තක්කලි ඇඹුල මදි වගේ නම් දෙහි චුට්ටකුත් එකතු කරගන්න. මේ සම්බෝලෙ වැඩියෙන්ම ගැලපෙන්නෙ ඉඳි ආප්ප කන්න තමා.
  • ලුණු දෙහි – දෙහි වෙනුවට ලුණු දෙහි එකතු කරද්දි සම්බෝලෙට දාන ලුණු ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙන්න. දෙහි වගේම සම්බෝලෙ කොටල ඉවර උනාම අන්තිමටම අතින් පොඩි කරල ලුණු දෙහි සම්බෝලෙට අනාගන්න පුළුවන්. මේක රස උණු උණු කැකුළු හාලෙ බතක් එක්ක.
  • සියඹලා ඉස්ම – සියඹලා ඉස්ම එකතු කරල හදාගන්න පොල් සම්බෝලයක් වඩාම රස තෝසෙ එක්ක. එහෙම කිව්වට බත් එක්ක කන්නත් මේ සම්බෝලෙ නියමයි. දෙහි වගේම අන්තිමටම සම්බෝලෙට එකතු කරල අනාගන්න.

10. තව කොහොමද රස කරගන්නෙ?

පුංචි පුංචි දේවල් ටිකක් එහෙ මෙහෙ කරල සම්බෝලෙට වෙනස්ම රසයක් එකතු කරගන්න පුළුවන්. මේ දේවල් තම තමන්ගෙ කැමැත්ත අනුව රස අනුව අඩු වැඩි කරගන්න කිසිම බාධාවක් නෑ.


  • පුච්චපු කරවල සම්බෝලෙ– උම්බලකඩ වෙනුවට පුච්චපු කරවල පොඩි කරල සම්බෝලෙ හදල ඉවර උනාම ඒකට එකතු කරල අනාගන්න. පුච්චපු කරවල වලිනුයි තෙලේ බැදපු කරවල වලිනුයි එන්නෙ රස දෙකක්. දෙවිදියම ගොඩක් රසයි.
  • කරපිංචා පොල් සම්බෝලෙ– සම්බෝලෙට මිරිස් මිශ්‍රණේ කොටද්දිම එකට කරපිංචා කොල ටිකක් එකතු කරගන්න. රසය වැඩි වෙනව වගේම සෞඛ්‍යටත් ගුණයි.
  • කරපිංචා/ සුදු ළූණු පොල් සම්බෝලෙ– කරපිංචා වගේම සම්බෝලෙට සුදු ළූණු බිකක් එකතු කරල අඹරගන්නත් පුළුවන්. සුදු ළූණු රසට කැමති අය මේ සම්බෝලෙට හුඟක් මනාප වෙයි.
  • ගම්මිරිස් රසට පොල් සම්බෝලෙ- ගම්මිරිස් රසට ආස අයට මිරිස් අඹරන කොටම ගම්මිරිස් ඇට කීපයක් එකතු කරල අඹරගන්නත් පුළුවන්. සම්බෝලෙට ගම්මිරිසුයි, සුදු ළූණුයි, කරපිංචයි තුනම එකතු කලාමත් එන්නෙ වෙනස්ම රසයක්.
  • තෙම්පරාදු පොල් සම්බෝලෙ (කූණි/ හාල්මැස්සෝ)– බටර් හරි තෙල් පොඩ්ඩක් හරි ලිපේ රත් වෙන්න තියල ඒකට අබ ඇට ටිකක්, කරපිංචා කොල ටිකක් කැමති නම් තලාගත්තු සුදු ළූණු ටිකක්, දාල අබ පුපුරනකම් තෙම්පරාදු කරන් ඒකට සාමාන්‍ය විදියට හදාගත්තු පොල් සම්බෝලෙ දාල තෙම්පරාදු කරගන්න. පොල් සම්බෝලෙ දාන්න කලින් තෙම්පරාදුවට කූණිස්සො ටිකක් එහෙම දාල බැදෙන්න ඇරලම පොල් සම්බෝල ටික එකතු කරන් කූණි පොල් සම්බෝලයක් හදාගන්නත් පුලුවන්. ඒ විදියටම හාල් මැස්සො පොඩියට කඩල බැදෙන්න ඇරල තෙම්පරාදු පොල් සම්බෝලෙ හදාගන්නත් පුළුවන්.
  • කොච්චි පොල් සම්බෝලෙ – ගන්න නයි කොච්චි ටිකක් නැත්නම් සුදු කොච්චි ටිකක්. කැමති ඕනෙම කොච්චි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. වියලි මිරිස් හෝ කෑලි මිරිස් වෙනුවට මේ කොච්චි වලින් සැර අරගන්න සම්බෝලෙට කියන්නෙ කොච්චි සම්බෝලෙ කියල. යහමින් කොච්චි දාල කට දැවිල්ලට හදාගන්න කොච්චි සම්බෝලයක් එක්ක මඤ්ඤොක්කා මරන්න පුළුවන් කියල ඉතින් කියන්න ඕන නෑනෙ නේද 😉
  • පුච්චපු මිරිස් සම්බෝලෙ– අර සම්බෝලෙ කොටන්න ගන්න වියලි මිරිස් කරල් ටික කබලෙ බදින්න. එහෙමත් නැත්නම් ලිපට අල්ලල පුච්චල අරන් සාමාන්‍ය විදියටම සම්බෝලෙ හදාගන්න. මේකෙ තියෙන්නෙ වෙනස්ම රසයක්.


gossip lanka