කතාවට කියන්නේ පළවෙනි ආදරේ කොහොමටවත් අමතක කරන්න බෑ කියලනේ. ඒ තරමට ඉතින් පළවෙනිම ආදරේ බොක්කට වදින, ඇටමිදුළු පළාගෙන එන එකක්නේ. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ට පළවෙනි ලව් එක කසාදෙන් කෙළවර කරගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි එහෙම වාසනාවන්තයොත් නැත්තෙ නෑ. ගොඩක් වෙලාවට පළවෙනි ලව් එක කසාදේ දක්වා ගෙනියන ඩබලක් ඒ ලව් එක පටන් ගන්නේ එක්කෝ කැම්පස් එකෙන්. නැත්තං ඉස්කෝලේ යන කාලේ.
එහෙමත් නැතිනම් අඩුමගාණේ වයස විසි ගණන් වල මුල් කාලේ. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කාලෙක ලව් එක පටන් අරගෙන පළවෙනි ආදරේ කසාදෙන් කෙළවර කරගන්න වාසනාවන්ත වුණු කොල්ලන්ට කෙල්ලන්ට විතරක් තේරෙන දේවල් කීපයක් ගැන.
1. අපි දෙන්නා කැත කෙල්ලෙකුයි කොල්ලෙකුයි වෙලා හිටපු කාලේ!
ගොඩක් වෙලාවට අර අපි කියපු විදියට ෆස්ට් ලවු එක පටන් ගන්නේ කොල්ලා කැහැටු ගැහුණු, තඩි ටී ෂර්ට් ඇඳගත්තු ඩයල් එකක් වෙලා ඉන්න කාලේ. එතකොට කෙල්ල කොණ්ඩේ කරල් දෙකට ගොතලා, ඇට ගැහුණු හූනෙක් වගේ ඉන්න කාලේ. හැබැයි එහෙම පටන්ගත්තු ඩබල දැන් වෙනකොට පට්ට සෙක්සි ගෑල්ලමේකුයි, හෙන හැන්ඩි කොල්ලෙකුයි වෙලා ඉන්න පුලුවන්. සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ. ඒත් දෙන්නට දෙන්නා ලව් කරන්න පටන් ගත්තේ අර ගෝතමාලාවෙන් ගෙනැල්ලා දැම්මා වගේ හිටපු කාලේ වගේ නිසා අදටත් ලව් එක ස්ට්‍රෝන්ග්. ඒ කාලේ මතක් කරලා හිනාවෙන්න පුලුවන්.
2. වලි? අනිවා!
ඒ කාලේ ඉඳන් ලව් කරලා බැන්ද කපල් එකක් නිසා ගෙදර දොරේ ඔය සුලු සුලු කෂිලි බිෂිලි නැතුව ඇති කියලද හිතාගෙන ඉන්නේ? එහෙම නෑ. අනිවා කපල් එකක් නං ගේම්, රණ්ඩු සරුවල් ඇදෙනවා. එතකොට පරණ කෝන්තර කියල ඇදෙන්නේ ඊයේ පෙරේදා සීන් හෙම නෙවෙයි. දෙන්නා ඉස්කෝලේ ගියපු කාලේ සීන්. සමහර වෙලාවට දෙන්නගේ දහවෙනි වෙඩින් ඇනිවසරි එක අමතක වුනාට කෙල්ල ගේම ඇදගන්නේ කොල්ලා කැම්පස් එකේදී කෙල්ලට රැග් එක දෙනකොට කැන්ටිමේ මේසයක් උඩ නැගලා අභිරූපණ සන්දර්ශනයක් කරන්න කිවුව සීන් එකෙන් වෙන්න පුලුවන්. කාලා වරෙන්කෝ!
3. කොණ්ඩ ගහේ ඉඳන් දන්නවා
ෆර්ස්ට් ලව් එකෙන් කසාද බඳිනවා කියන්නේ කොච්චර කාලයක් විතර ආස්සරේ කරල තියෙන්න ඕනද? ලංකාවේ හැටියට ගත්තොත් අඩුම ගාණේ අවුරුදු හයක් හතක්වත්. එතකොට කසාද බැඳලත් තව අවුරුදු හය හතක් යනකොට ආයි දෙන්නට දෙන්නා අනිකා ගැන නොදන්න දෙයක් නෑ. ආයි ආස කෑම බීම, කැමති ඇඳුම් පැළඳුම් ගැන විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය මූඩ් අවුට් යන්න පුලුවන් අතිශයින්ම සුළු සුළු දේවල් වුනත් දැනගන්නවා. මේ දැනගැනිල්ල අවුරුද්දක් ආස්සරේ කරලා බැඳලා අවුරුද්දක් වුණු කපල් එකකට කවදාවත් තේරුම් ගන්න බෑ. මේ දෙන්නට දෙන්නා දන්න සීන් එක නිසාම වචනයෙන් නොකියන දේවල් පවා දෙන්නට දෙන්නා අතරේ දැනෙන සීන් එකක් තියෙනවා.
4. මොනා වුනත් ගත්තු හොඳම තීරණේ!
සාමාන්‍යයෙන් ඔය කසාද බැන්ද ඩබලකට වලියක් එහෙම ඇදුණු වෙලාවක හිතෙනවනේ “මොකට මේ අලිගැටපේරයව බැන්දද” වගේ ඒවා. ඒ කියන්නේ අර බත ඉදෙනකල් රණ්ඩුවක හිතෙන ඒවා නෙවෙයි, ඊට වඩා සීරීයස් පිට එහෙම හිතෙන ඒවා. හැබැයි ඉස්කෝලේ කාලේ පටන් ගත්තු ෆස්ට් ලව් එක අවුරුදු ගාණක ලව් එකකින් පස්සේ කසාද බැඳලා තව අවුරුදු ගාණකුත් ගතවෙනවා කියන්නේ එහෙම දේවල් ඇත්තටම හිතෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද තමන් ඉන්නේ හරි කෙනා එක්කද කියන ඩවුට් එක එනවානම් එන්න සෑහෙන කල්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට කටින් නොකිව්වත් මෙහෙම ෆස්ට් ලවු එක බැන්ද කපල් හිතන්නේ ඒක තමයි මොනවා වුනත් ජීවිතේ ගත්තු හොඳම තීරණේ කියලා තමා.
5. අම්බානෙක මතකයන්!
ඉස්කෝලේ කාලේ ඉඳන්, කැම්පස් කාලේ ඉඳන් ලව් එකක ඉන්නවා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ මචං. ආයි පරණ සීන් කතා කරන්න ගියහම කොත්මලේ වේල්ල ඇරියා වගේ තමයි. ආය හෙට වෙනකල් කතා කරන්න ඇහැකි. අනික සුලු පටු මෙමරීස් ගොඩක්ද තියෙන්නේ. අමාරුවෙන් යාලුවෝ අතේ ලියුං කඩදහි යවාගෙන ලව් කරන්න පටන් ගත්තු ඒවල ඉඳන්, ක්ලාස් ඉවරවෙලා හොරෙන් සරස්වතී එකට ගිහින් තෝසේ කාපු ඒවල ඉඳන්, බස් එකේ පස්සෙ සීට් එකේ අත් අල්ලගෙන යනකොට මාමා බස් එකට නැග්ග සීන් වල ඉඳන් කීයක් ජාතිද, සුහ්. ඉතින් ෆස්ට් ලව් එක ගොඩදාගත්තු කපල් ඔය පරණ සීන් මතක් කරනකොට කෙළවරක් නැත්තෙත් ඔය හින්දම තමා.
6. ඕන ගේම
සාමාන්‍යයෙන් ෆස්ට් ලව් එකට තරං කෂිලි බිෂිලි, ගල් මුල් වලට මූණ දෙන්න වෙන්නෙ නෑ වෙන කාටවත්. ඇයි ඉතින් අනිවා ෆස්ට් ලව් එක දුවන්නේ ගෙවල් වලට හොරෙන්නේ. දැන් ගෙවල් වලින් දැනගෙන, කෙල්ල කපලා මූදේ දැම්මත් ඕකට දෙන්නෙ නෑ කියන ලෙවල් එකෙන් ඉන්නකොටත් ලව් එක ඇදගෙන යන එක හරියට ගම්සබා මැතිවරණ යුද්දේ වගේ තමා. ආය කොයි වෙලේ කෙල්ලගේ අයියලාගෙන් නැව් ගුටි හම්බුවෙයිද, නැන්දම්මගෙන් කොහු මිටි පාර හම්බුවෙයිද කියන්න බෑ. හැබැයි මේ යුද්ද හැම එකකටම මූණ දීලා ලව් එක ගොඩදාගෙන බැන්දට පස්සේ ඉතින් ආයි දෙන්නට දෙන්නා ඉන්නවා නං ඕන ගේමකට ඔට්ටුයි. දෙන්නටම ජීවිතේ ප්‍රස්න වලට මූණ දෙන්න මාර පිට් එකක්, ගැම්මක් දැනෙනවා.
7. අපෙ නෑනේ ඔය ඉරිසියා සීන්
ගොඩක් වෙලාවට ෆස්ට් ලව් එකෙන් කසාදම බඳිනවා කියන්නේ තව තව මිනිස්සු එක්ක ලව් කරලා එක්ස්පීරියන්ස් නෑය කියන එකනේ. එතකොට සමහරු හිතනවා සෙට් වුණු තැන වෙන දේකට හිත යයි කියලා. නෑ, එහෙම වෙන්නෙ නෑ. ඒ වගේම තමයි තමන්ගේ මනුස්සයා තව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක ෆිට් එකේ කතා කලාට, කොහේ හරි ගියාට මේ පැත්තෙන් ඉරිසියා සීන් එන්නෙත් නෑ. මොකද ෆස්ට් ලව් එකේ ඉඳන් මේ වෙනකල් එකට ආවා කියන්නේ තමන්ගේ කොල්ලා නැත්තං කෙල්ල ආය වෙන වෙන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ කියන එක දෙන්නගේම හිත් දන්නවා.
8. අපහාසෙන් නං මල්ලි අපහාසෙං අරි!
ෆස්ට් ලව් එකෙන් බැන්ද කපල් එකක් එක්ක ඉන්නකොට අපිට දකින්න පුලුවන් දෙන්නට දෙන්නා හැම වෙලාවෙම ආදරෙන් පැටලිලා, තටු පටලගෙන, මුකුළු කර කර ඉන්නෙ නෑ කියලා. වැඩිපුර වෙන්නේ එක එකාට අපහාස කරගැනිලි තමයි. සමහර වෙලාවට අපිට හිතෙයි අර ශාන්තිවාදී තාපසතුමාට වුනත් නහුතෙට නගින කතා කියාගෙනත් මුන් දෙන්නා හිනා වෙවී ඉන්න විදිය කියලා. හැබැයි ඇත්ත සීන් එක තමයි දෙන්නා අතරේ මාර යාලුපිට් එකක් එක්ක එන ලව් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ෆස්ට් ලව් එකෙන් සෙට් වුණා නං. ඒකයි ඕන කුණු කතාවක් කියාගෙනත් දෙන්නට ෆුල් ලව් එකේ ඉන්න පුලුවන් වෙන්නේ.
9. සැප දුක සමබරවේ
ඉස්කෝලේ කාලේ ඉඳන්, කැම්පස් කාලේ ඉඳන් ලව් එක ගොඩදාගන්නවා කියන්නේ එකිනෙකා ජීවිතේ හදාගන්න කන කට්ට අනික් කෙනා දකිනවා. අම්මලාගෙන් යැපෙන කාලේ ඉඳන්, මහපොළ අරන් ජීවත් වුණු කාලේ ඉඳන්, ඉන්ටර්න්ෂිප් වල අමු කටු කාලා සොච්චම් පඩියක් අරගෙන, හොඳ ජොබකට කකුල් ගෙවෙනකල් ගාටලා හොඳ ජොබ් එකක් සෙට් කරගෙන ඒකෙත් කට්ට කාලා උඩට එන්න දඟලපු දැඟලිල්ල දෙන්නම දන්නවා. ඒ හැම අමාරු කාලෙකදීම මෙයා මගෙත් එක්ක හිටියනේ කියන ෆීලින් එක දෙන්නගෙම හිතේ තියෙනවා. ආන්න ඒ නිසා කවදාවත් ෆස්ට් ලව් එකක් කසාදෙන් ඉවරකරගත්තු දෙන්නෙක්ට තමන් එකට ආපු ගමන අමතක වෙන්නෙ නෑ..
- aniwa.lk
පළවෙනි ආදරේම කසාද බැන්ද කපල් වලට විතරක් තේරෙන දේවල් 9ක්
2017-12-13T00:25:00-08:00
Gossip Lanka Hot News
slide|