ඵලදායී දවසකට උදෙන් ම නැගිටලා මේ දේවල් කරන්න

ඇඳිරි නීති, නිවාස අඩස්සි, රැකියා විරහිත, රැකියා සහිත, ඉස්කෝලේ යන,ළමා ළපටි කොයි කාටත් තියෙන ලෝක ප්‍රශ්නයක් තමයි උදේට නැගිටින එක. ඔය නැගිටින එකෙන් තමයි අපේ මුළු දවසම තීරණය වෙන්නේ. ඇත්තටම නැගිටින එකටත් වඩා නැගිටලා කරන කියන දේවලින්. ඒක හින්දා කලින් කියපු කොයි කාටත් භේද නැතුව ඵලදායී දවසකට උදෙන් ම නැගිටලා කළ යුතු දේවල් ගැන ලයිෆි අපි ඔබට කියන්න තීරණය කරා.
1. වතුර බීම

උදෙන් ම නැගිටලා වතුර වීදුරුවක් බොන එකෙන් සෑහෙන දේවල් වෙන්න පුළුවන්. ප්‍රධානම කාරණේ තමයි පැය ගාණකට පස්සේ බඩට වැටෙන වතුර පොදෙන් විජලන තත්ත්වය මග ඇරලා ඇඟට පණක් දෙන එක. ඊට අමතරව උදෑසන ආහරයෙන් ඇඟට එන කැලරි ප්‍රමාණය අවම කිරීමට, විෂබීජ නැසීමට, මානසික සුවයට සහ විශේෂයෙන් ම පරිවෘත්තීය ක්‍රියාවට මේක හොඳම හොඳ වැඩක්.

2. දවසෙහි සැලැස්ම

උදේට නැගිට්ටම දවසේ මොනවා වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. ඒ වුණත් නිශ්චිතවම දේවල් කීපයක් කරන් ඉන්න හිතන් ඉන්නවා නම් ඒ ටික පිළිවෙළට කොලේක හෝ ෆෝන් එකේ නෝට්ස් ලියාගන්න තියන ගැජමැටික් එකේ ලියාගන්න. රිමයින්ඩර් දාගන්න. ඒ ටික කොහොම හරි කරන්න.

3. භාවනා කිරීම

භාවනා කරන එක ලංකාවට අමුතු දෙයක් නෙවේ. ඉස්කෝලේ උදේ රැස්වීම පවා පටන් ගන්නේ භාවනා කරලා ඉවර වෙලා. ඒ ඇයි ද කියලා කවදාවත් හිතන්නැතුව ඇති. නමුත් දැනගත යුතු දෙයක් තමයි මුළු දවසටම අපේ උදේ වරුවේ තියන මූඩ් එක බලපානවා කියන එක. ඒ නිසා හිතට සැහැල්ලු ගතියක් ඇති කරවාගන්න, එක අරමුණක හිත තියාගන්න උදේ කාලයේ භාවනාව වැදගත් වෙනවා. විනාඩි 10ක් පමණ ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය යොමු කරගෙන මෙය සිදු කරන්න.

4. ආසම සින්දු


අපි ආසම සින්දු ප්ලේලිස්ට් එකක් ෆෝන් එකේ තියනවා. ඒ නැත්තන් එහෙම එකක් හදාගන්න. සංගීතයට තියන මානසික සුවය ගෙනත් දෙන ගතිය දවසේ මොන කාලයටත් වඩා උදේට අවශ්‍ය වෙනවා. නිදි කිරන ගතිය නැති කරවලා දවස ෆ්‍රෙෂ් වෙන්න උදව් වෙනවා. හැබැයි ඉතින් වැලපෙන, කෑ ගහන සින්දු ලිස්ට් එකේ නැතිවෙන තරමටයි හොඳ.

5. ව්‍යායාම කිරීම

ව්‍යායාම කරන්න හොඳම වෙලාව උදේ වරුව කියන්නේ රැල්ලට පොඩි දාඩිය පාරකට පස්සේ වොෂ් එකක් දාගෙන වැඩට යන ඇඩ් එක නිසා ම නෙවේ. ව්‍යායාම කිරීමෙන් නිකුත් වෙන එන්ඩෝර්ෆින්වලින් ආතති තත්ත්වයන් පාලනය කෙරෙනවා. උදේ වරුවේ වෙන ව්‍යායාමයෙන් විශේෂයෙන් ම මොළයට ස්වාභාවයෙන් ම ශක්තියක් ලබා දෙනවා.

6. ආදරණීයයෙක් ගැන හිතන්න

ඵලදායී දවසකට මානසික සතුට අවශ්‍ය කරනවා. ඒ සතුට අපි මොනවා කිව්වත් රැඳෙන්නෙ අපේ ජීවිතයේ ඉන්න සමහර වැදගත් පුද්ගල සම්බන්ධතා නිසා. එහෙම ඔයාගේ ජීවිතේ වටිනා පුද්ගලයෙකු නැති නම් කීප දෙනෙකු ගැන හිතන්න පුංචි වෙලාවක්. එහෙම කරන අතරේ ඔබේ මුවඟට එන හිනාවයි හිතට එන සතුටයි ඇති දවසටම.

7. උදෑසන ආහාරය

කාර්‍යබහුල බව උදේ කෑම නොකා දවස ආරම්භ කරන්න නම් හේතුවක් කරගන්න එපා. මොකද එහෙම වුණොත් එක වැඩක්වත් පණ කෙන්දක් ඇතුව කරගන්න ලැබෙන්නේ නෑ. ශක්තිය, අවධානය යොමු කිරීමේ හැකියාව, පරිවෘත්තීය ක්‍රියා සඳහා උදෑසන ආහාරය ගන්න ඕනි. මේ දේවල අවසාන ප්‍රතිඵලය ඵලදායී දවසක්.
gossip lanka