ගැහැණු ළමයෙකුගේ අගය වැඩිවෙන කාරණා 7ක්

දැක්ක ගමන් ටිකක් අමුතු කතාවක් කියන්න යනව වගේ හිතෙන්නත් බැරි නැහැ. හැබැයි කාට උනත් කියවල දැනගෙන හිටියොත්නම් පාඩු නැහැ. මොකද ඕනම පිරිමි කෙනෙකුගේ ජීවිතේ උනත් සමීප ගැහැණු අය ඉන්න පුළුවන්. ඒ කිව්වේ තමන්ගේ අක්කා, නංගි, පෙම්වතිය, දුව වගේ චරිත. ඉතින් ඔය ගැහැණු ළමයින් ස්වභාවයෙන්ම අරන් එන වටිනාකම්, ඒ කිව්වේ තමන්ගේ ලස්සන රූපය, සුකුමාල බවට අමතරව ජීවත් වෙන කාලසීමාව ඇතුළත එකතු කරගන්න පුළුවන් අගය වැඩිවෙන දේවල් ගැන තමයි මේ කියන්න යන්නේ.


 1. හැදියාව

අපි කවුරුත් දන්න විදිහට ගැහැණු දරුවෙක් කියන්නෙ ලාලිත්‍ය කියන දේ උපතින්ම අරන් එන කෙනෙක්නෙ. ඒ උපතින්ම අරන් එන ලාලිත්‍ය, ලස්සන කියන කාරණා වලට හැදියාව, සංවරකම කියන දේවලුත් එකතු උණාම තමයි නියම ගැහැණුකම එළියට එන්නේ. මේ කියන්න යන්නේ අර ප්‍රසිද්ධ පුද්ගලයෙක් මෑතක කිව්ව “විප්ලවය මෙහෙයවන ගැහැණු ළමයින්ට ගවුම හදාගෙන වාඩිවෙන්න” වගේ කතාවක්නම් නෙමෙයි. ඒ කතාව බොරු කරන ලෝක ප්‍රසිද්ධ කාන්තා නායිකාවො ඕන තරම් අපි දැකල තියෙනවනේ. මේ කියන්නේ කොලු බාගයක් නොවී කෙල්ලෙක් උනහම තියෙන අගය ගැනයි. හණමිටි අදහස් බැහැර කළත් වැඩිහිටියන් කියන දේවලින් අද කාලෙට ගැලපෙන අදහස් එකතු කරගෙන සීමාවන් දැනගෙන යන ගමන හරි ලස්සනයි ගැහැණු ළමයෙකුට.

 2. අධ්‍යාපනය


මේ ගැන නොබෙල් සාම ත්‍යාගය දිනපු ලාබාලම තැනැත්තිය වෙන, පාකිස්ථානු ජාතික කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියකුත් වෙන මලාලා කියන්නේ මෙන්න මෙහෙමයි. “All I want is an Education and I am Afraid of no one” ඇය කියන විදිහට අධ්‍යාපනය තියෙන තැන කිසිම දේකට බය වෙන්න ඕන නෑ. අද කාලේ තරඟකාරී ලෝකේ ඉදිරියට යන්න කාන්තාවකට ඕනෑම දෙයක් තමයි අධ්‍යාපනය. මැරෙනකන්ම ඉගෙන ගන්න දේවල් තියෙන එකේ, ඉගෙන ගන්න එක කිසිම හේතුවක් නිසා නවත්තන්නනම් එපා අක්කේ, නංගියේ.

 3. සුහුරු බව

සුහුරු බවට අපිට තේරෙන ඉංග්‍රීසියෙන් කියන්නේ Smart කියල. Smart වීම අද කාලේ කාටත් හරිම වැදගත්. විශේෂයෙන්ම ගැහැණු දරුවෙක්ට. ඕනෑම අවස්ථාවකට සාර්ථකව මුහුණ දෙන්න, ඕනෙම ප්‍රශ්නෙකින් ගොඩ යන්න, ඕනම තැනක කැපිල පේන්න නම් සුහුරු නොවීම බැහැ. Smart කියන එක පැහැදිලි කරන්න ගියොත්නම් තව ලොකූ මාතෘකාවක්. කොහොම උනත් සරලව කිව්වොත්නම් ඕනම තැනකදී තැනේ හැටියට ඇණේ ගහගන්න පුළුවන්කම තමා ගැහැණු ළමයෙක් ස්මාර්ට් වීමේ ලොකුම වාසිය. ඒ කිව්වේ උයන්නනම් උයන්න, ලියන්නනම් ලියන්න, ඔෆිස් එකක ඇක්ටිව් වැඩ කරන්න, ගමේ වැඩට දුවල පැනල උදව් කරන්න කෝකටත් දක්ෂ කෙල්ලෙක් කියන්නේ පවුලට විතරක් නෙමේ වටපිටාවටත් වටිනාකමක්.

 4. වටපිටාවේ දැනුම

දැනුම හොයනවා කියන්නේ නොනවතින ගමනක ආරම්භයක්. දැනුම හොයාගෙන යන කෙනාට ලොකූ ගමනක් තියෙනවා කියලයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉතින් ගැහැණු දරුවෙක් උනහම තමන්ගේ අවට සීමාවේ විතරක් කොටු වෙලා නොඉඳ අළුත් අළුත් දේවල් ගැන හොයල බලන එක කරන්නම ඕනා. ආවට සිද්ධවෙන දේවල් ගැන නිරන්තරයෙන් අප්ඩේට් වෙන්න ඕනා. අද කාලේ තාක්ෂණයත් එක්ක දැනුම කියන්නේ ඉතින් ඇඟිලි තුඩේ දුරනේ. එච්චර ළඟ තිබිලත් නිතර නිතර දැනුම අප්ඩේට් කරගත්තේ නැත්තම් ඉතින් උපන්නාට ජීවත් වෙනවා වගේ තමා. විශේෂ වටිනකමක්නම් එකතු කරගන්න වෙන්නෙම නැහැ.

 5. බය නැතිකම

මේ කියන්නේ ලැජ්ජා බය නැතිකම ගැනනම් නෙමෙයි ඔන්න. ගැහැණුකම නිසාම හැම දේටම බය නොවී අවදානම් ගන්න පුළුවන් වීම. හිත හයිය වීම. එහෙම බය නැති ගැහැණු දරුවෙක්‌ කියන්නේ පවුලකට හයියක්. සැමියෙකුට වටිනා බිරිඳක්. හැම වැඩක්ම කරගන්න පිරිමි පුළුටක් එනකන් බලන් නොඉඳ තමන්ගේ වටපිටාවේ වැඩ කටයුතු කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට ගිහිල්ලා කරගන්න පුළුවන්කම තමන් විසින්ම හිත ඇතුලෙන් හදාගන්න ඕන වටිනාකමක් හැම ගැහැණු ළමයෙක්ම.


6. කථිකත්වය

ඉස්සර කතාවටනම් කිව්වේ රුව ඇති දුවෙකුත් කට ඇති පුතෙකුත් කියලා. හැබැයි අද කාලේ මේ විෂම සමාජයේ නම් කෙල්ලෙක්ට කට නැතුව ඉහ ගහල ඉන්න අමාරුයි. ඉස්සර වගේ කනට නෑහෙන්න කතා කරලා දෙපැත්තට ඇඹරෙනකොට අයියල ටික කනෙන්ම රිංගල තියෙයි. ඒ නිසා බය නැතුව ඕන තැනකදී කතා කරන්න පුළුවන් වෙන්න, අවශ්‍ය තැනදී කටින් ගහල බේරෙන්න පුළුවන් වෙන්න තමන්ගේ කතා කිරීමේ හැකියාව දියුණු කරගන්නම ඕන. මතකනේ පහුගිය දවස්වල බය නැතුව පිරිසක් ඉස්සරහ කතා කරපු දේවානි මහත්මිය. ඒ වගේ අසාධාරණකම් ඉස්සරහ කට පියන් නොඉඳ කතා කරන්න ගැහැණු ළමයි පුරුදු වෙන්නම ඕන කාලයක් මේක. එතකොට තමා අපිට ඔය ගෘහස්ත හිංසනය, බස් එකේ කෝච්චියේ වෙන අතවර වල ඉඳල ලොකු ලොකු දේවල් වෙනකන්ම අසාධාරණකම් ගැන කතා කරන සමාජයක් බිහි කරන්න පුළුවන්.


7. අත්දැකීම්

ජිවිතයට පන්නරයක් එකතු කරන්නේ අත්දැකීම් වලින්. ඒ නිසා අත්දැකීම් එකතු කරගන්න බය වෙන්න එපා. වටපිටාව එක්ක, යාළුවො එක්ක ගැටිලා, ඇවිදලා, පොත පත කියවලා, පොදු වැඩ වලට සම්බන්ධ වෙලා ඔය කියන ඕනෑම විදිහකට ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න තරමට ඉස්සරහට යන ගමනට එක ලොකු හයියක්. තමන් ආශ්‍රය කරන මිනිස්සු ගැන තේරුම් ගන්න, රැකියාවක් කරද්දී හැසිරෙන්න ඕන විදිහ තේරුම් ගන්න වගේ හුඟක් දේවල් කරන්න පුළුවන් වෙන්නේ අත්දැකීම් එකතු වෙන තරමටයි. පොත පතින් කියවලා, කාගෙන් හරි අහගෙන තිබ්බට ඒ දේවල් හැම වෙලාවේම ප්‍රායෝගික නැහැ වගේම තමා තමන් ඒ අත්දැකීම ලබනකන්ම ඒක මතකයේ හිටින්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අභියෝග බාර අරගෙන ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න නම් කිසිම වෙලාවක පැකිලෙන්න එපා.
gossip lanka