විටමින් A දවසකට කන්හැන්දක් ගත්තත් ලෙඩ ගොඩක් ගොඩ

ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගෙන ඇතත්, මන්දපෝෂණය සහ ක්‍ෂුද්‍ර පෝෂක ඌනතා රෝගවලින් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක්‌ පෙළීම රටක්‌ වශයෙන් අප මුහුණ දෙන බරපතළ අභාග්‍යයකි. පෝෂණ ඌනතාවයන් පිළිබඳව කතා කිරීමේ දී දිළිඳුකම ප්‍රධාන සාධකයක්‌ වන බව සැබවි.
එහෙත් දිළින්දන් පමණක්‌ නොව ආර්ථික අතින් සමෘද්ධිමත් ඇතැම් උදවිය ද පෝෂණීය, සමබල ආහාර වේලක්‌ ලබා නොගන්නා බව සමීක්‌ෂණවලින් අනාවරණය වී ඇත, මෙරට පොහොසත් පවුල්වල දරුවන් අතර පවා මන්දපෝෂණය සියයට 12 ක්‌ පමණ වන බව හෙළි වී ඇත්තේ එහෙයිනි. විටමින් ඒ ඌනතාවය ඒ අතර ප්‍රධාන තැනක් ගනී අමෙරිකාවේ කැලිෆෝනියාවේ සිදු කර ඇති සමීක්‌ෂණයක දී අනාවරණය වී ඇත්තේ ද එරට පොහොසත් පවුල්වල සැලකිය යුතු ප්‍රතිශතයක්‌ විටමින් ඒ ඌනතාවයෙන් පෙළෙන බවය. එබැවින්, විටමින් ඒ ඌනතාවය ඇතුළු පෝෂණ ඌනතාවයන් යනු සමස්‌ත සමාජයම වෙලාගත් බරපතළ සෞඛ්‍ය අර්බුදයකි.‌

විටමින් ඒ ඌනතාවයේ බරපතළකම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, ලෝක ළමා ජනගහනයෙන් තුනෙන් එක්‌ පංගුවක්‌ විටමින් ඒ ඌණතාවයෙන් පෙළෙන අතර, වසරකදී සංවර්ධනය වන රටවල්වල (විශේෂයෙන් දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ මෙම තත්ත්වය සුලභය.) ළමයින් ලක්‌ෂ 5 ක්‌ පමණ විටමින් ඒ ඌණතාවය නිසා සදාකාලික අන්ධභාවය හිමිකර ගනිති. තවත් විශාල ප්‍රමාණයකට රාත්‍රී අන්ධභාවය, ඇස්‌ වියළීම, චර්මාබාධ, පාචනය, අස්‌ථි දුර්වලතාවය සහ වෙනත් විටමින් ඒ ඌණතා රෝග වැළඳෙන බව සොයාගෙන තිබේ. අපේ රටේ පාසල් දරුවන්ගෙන් සියයට 35 ක්‌ පමණ විටමින් ඒ ඌණතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. මෙය දකුණු ආසියාවේ අන් රටවලට සාපේක්‌ෂව සැලකිය යුතු වැඩි අගයකි. අවාසනාවන්ත තත්ත්වය වන්නේ මාස 6 ත් අවුරැදු 6 ත් අතර වයසේදී කිසිදු අඩුවක්‌ නොමැතිව අඛණ්‌ඩව විටමින් ඒ සිරුරට අවශ්‍ය වන කාලයේ දී එය නොලැබී යාමය. ගර්භනී මව්වරුන්ගෙන් සියයට 23 දෙනෙකු පමණ විටමින් ඒ ඌණතාවයෙන් පෙළෙන අතර, මෙය ද බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. ඉතාමත් කනගාටුදායකම තත්ත්වය වන්නේ එවන් ගර්භනී මව්වරුන් බිහි කරන දරුවන් බරපතළ ලෙස රෝගාබාධවලට ලක්‌ වීමට වැඩි නැඹුරුවක්‌ තිබීමය. කොටින්ම මෙම තත්ත්වය නොමේරූ දරු උපත් සඳහාත්, සංජානනීය (උපත් ආබාධ) රෝගාබාධ සහිත දරුවන් බිහිවීම සඳහාත් බලපායි. මෙයට අමතරව මෙරට සියලුම වයස්‌ කාණ්‌ඩවල උදවිය අතර ද සැලකිය යුතු ප්‍රතිශතයකට විටමින් ඒ ඌණතාවය බලපා තිබෙන බව පෙනී යයි.

විටමින් ඒ වල ප්‍රයෝජන
විටමින් වනාහි අපගේ සිරුරේ විවිධ ජෛව ක්‍රියාවන් රාශියකටම ඉවහල් වන ඉතා වටිනා ක්‌ෂුද්‍ර පෝෂකයකි.‌ ඇතැම් විටමින් වර්ග ජලයේ දියවන අතර ඇතැම් ඒවා මේදය නොහොත් තෙල්වල දිය වී සිරුරට උරා ගැනේ. විටමින් ඒ, වනාහි එසේ තෙල්වල දියවන විටමින් වර්ගයකි. එමෙන්ම අපගේ සිරුර තුළ නිෂ්පාදනය කර ගන්නට නොහැකි, බාහිරින් ශරීරයට (ආහාර මගින්) ලබා දිය යුතු විටමිනයකි. විටමින් ඒ, ප්‍රමුඛ වශයෙන් අපගේ ඇස්‌වල පෙනීම සඳහාත්, සමෙහි, අස්‌ථි පද්ධතියේ, දත් වල, ලේ වල, මාංශපේශී සහ පටකවල නීරෝගී සුව පැවැත්ම ආරක්‌ෂා කර දීම උදෙසාත් අත්‍යවශ්‍ය සහ ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරන විටමිනයකි. සෛලවල මනා වර්ධනයක්‌ සඳහාත්, හෘදය, පෙනහලු, වකුගඩු සහ අනෙකුත් වැදගත් ඉන්ද්‍රියයන්වල වර්ධනය සහ මනා ක්‍රියාකාරීත්වය උදෙසා ද විටමින් ඒ අත්‍යවශ්‍ය වන බැවින් ළදරුවන්ට, ළමයින්ට සහ ගර්භනී මව්වරුන්ට විශේෂයෙන් වැදගත් වෙයි. විටමින් ඒ ඌණතාවය මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ද නරක අයුරින් බලපාන බව සොයාගෙන ඇත. විශේෂයෙන් මතක ශක්‌තිය අඩුවීම, ඉගෙන ගැනීමේ දුර්වලතා, හැසිරීමේ ආබාධ සහ ඇතැම් මානසික ආබාධ සඳහා විටමින් ඒ ඌණතාවය බලපෑ හැකි බව සොයාගෙන තිබේ.

පිළිකා ඇතුළු බෝ නොවන සහ බෝවන රෝග මර්දන හැකියාව
පිළිකාවක්‌ කියන්නේ අකුණක්‌ ගැසුවාක්‌ සේ හදිසියේ ඇතිවන තත්ත්වයක්‌ නොවෙයි, ලොව ජීවත් වන සෑම මිනිසකුගේම ශරීර තුළ විවිධ හේතු නිසාවෙන් ක්‍ෂුද්‍ර පිළිකා සෛල වර්ධනය වන බවත්, ඒවා දරුණු පිළිකා බවට පත්වීම මැඩපැවැත්වීම සඳහා අපගේ ප්‍රතිශක්‌තීකරණ පද්ධතියට අසිරිමත් හැකියාවක්‌ තිබෙන බවත් අවබෝධ කර ගැනීම වැදගත්ය. එක්‌ අතකට විටමින් ඒ, අපගේ ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය ශක්‌තිමත් කරන අතර, අනෙක්‌ අතට ඉන්ද්‍රියයන් දුර්වල වීම වළක්‌වන සහ අකලට වයසට යාම පාලනය කරන්නට ඉවහල් වන ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ ද වෙයි. එය සතු මෙකී ප්‍රතිඔක්‌සිකාරක ගුණය පිළිකා වැළැක්‌වීම සහ මර්දනය කිරීමෙහිලා ද බෙහෙවින්ම ඉවහල් වෙයි. පිරිමින් අතර සුලභ පිළිකා තත්ත්වයක්‌ වන පුරස්‌ථි ග්‍රන්ථියේ පිළිකා තත්ත්වය, ලේ වල විටමින් ඒ යහමින් තිබෙන උදවියට වැළඳීමේ ප්‍රවණතාවය ඉතා අඩු බව විද්‍යාඥයන් කලක සිට දැන සිටි තත්ත්වයකි. දරුණු සමේ පිළිකා විශේෂයක්‌ වන “මෙලනොමා” නැමති පිළිකා අවදානම විටමින් ඒ වලින් සරු ආහාර ලබා ගන්නා අය හට සියයට 60කින් පමණ අඩුකර ගන්නට හැකි බව මෑතකදී සිදුකෙරී ඇති පර්ඩයේෂණයකට අනුව තහවුරු වී ඇත. මෙයට අමතරව පෙනහලු පිළිකා, පියයුරු පිළිකා, මහා බඩවැලේ සහ පිත්තාශයේ හටගන්නා පිළිකා වැළැක්‌වීමට සහ සුව කිරීම සඳහා විටමින් ඒ ඉවහල් විය හැකි බව විද්‍යාඥයෝ අවධාරණය කරති.

විටමින් ඒ, සතු පෙර කී ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කිරීමේ ගුණය විශේෂයෙන් බෝවන රෝගවලින් ආරක්‌ෂා වී සිටීමට ද බෙහෙවින්ම ඉවහල් වෙයි. කොටින්ම ලේවල විටමින් ඒ ඌණතාවය සහිත උදවිය එසේ නොමැති අයට සාපේක්‌ෂව දරුණු වෛරස්‌ ආසාදනවලට ගොදුරු වීමේ අවදානම 21 ක්‌ වාරයකින් පමණ වැඩි බව සොයාගෙන තිබේ. විටමින් ඒ අතිරේකයක්‌ ලබා දීමෙන් පාචන රෝගයෙන් දරුවන් මිය යාම සියයට 39කින් සහ ඇදුම, නිව්මෝනියාව වැනි ශ්‌වසන ආබාධවලින් සිදුවන මරණ සංඛ්‍යාව සියයට 70කින් අඩුකර ගන්නට පිළිවන් වන බව සොයාගෙන ඇත.

ලස්‌සන වෙන්නට විටමින් ඒ
විටමින් ඒ වනාහි සමෙහි නිරෝගි පැවැත්ම සඳහා ද බොහෝ සෙයින් වැදගත් වන විටමිනයකි. සමෙහි සෛල වර්ධනය වේගවත් කිරීමත්, සම සෞඛ්‍ය සම්පන්න බව  නඩත්තු කිරීමටත්, නැවුම් සහ තරුණ පෙනුමක්‌ සමට අත්පත් කර දීමටත් විටමින් ඒ අත්‍යවශ්‍ය වෙයි. එබැවින් බොහොමයක්‌ රූපලාවන්‍ය නිෂ්පාදනවල අත්‍යවශ්‍ය සංඝටකයක්‌ ලෙස විටමින් ඒ අන්තර්ගත කර තිබේ.

විටමින් ඒ වල වැදගත්කම සුළුපටු නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. මේ සා වටිනාකමක්‌ සහිත මෙම විටමිනය දවසකටම ඔබට අවශ්‍ය වන්නේ කන් හැන්දකටත් වඩා අඩු ප්‍රමාණයකි. මේ ප්‍රමාණය පෝෂණීය ආහාරවලින් ලබා ගන්නට ඔබට වැය වන්නේ ඉතාමත් අඩු සොච්චම් මුදලකි. එය දිනකට කෙනෙකු දුම්වැටියකට දෙකකට හෝ මත්පැන් වීදුරුවකට වියදම් කරන මුදලටත් වඩා අඩු මුදලකි. මේ මුදල වියදම් කරන්න ඔබ නිර්ලෝභී නොවුණහොත්, උනන්දු නොවුණහොත් ඇතිවිය හැකි බරපතළ තත්ත්වයෙන් ගොඩ එන්නට ඔබට ඉඩ කඩම් පවා විකුණන්නට සිදුවිය හැකිය.

විටමින් ඒ බහුල ආහාර
මෙරට සුලභම විටමින් ඒ අඩංගු ආහාරය වන්නේ බතලය. අඟල් 5 ක පමණ බතල අලයක විටමින් ඒ, ජාත්‍යන්තර ඒකක 20,000 ක්‌ පමණ තිබෙන අතර එය අපගේ දෛනික විටමින් ඒ අවශ්‍යතාවය (RDA) මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි. අවාසනාවකට මෙරට වැසියන්ගේ ජාතික ආහාරයක්‌ව තිබෙන සුද්දාගේ අලයේ (අර්තාපල් අල) විටමින් ඒ නොමැති තරම්ය.

මීට අමතරව, වට්‌ටක්‌කාවල ග්‍රෑම් 100ක විටමින් ඒ ජාත්‍යන්තර ඒකක 15,000 ක්‌ පමණ ද, (දෛනික අවශ්‍යතාවයෙන් සියයට 200 ක්‌ පමණ) කුරුන්ඥං කොළ (සිංගප්පූරු කොළ/ තවුසි කොළ) වල ජාත්‍යන්තර ඒකක 10,200ක්‌ද, කතුරුමුරුංගාවල 9,000ක්ද, දඹල කොළ (රසවත් මැල්ලුමකි.) 8.090ක්ද, කිරිඅල 8,000ක්ද වැනි බොහොම ලාබෙට සොයාගත හැකි එළවළු වර්ග රාශියක විටමින් ඒ සුලභව අන්තර්ගත වෙයි.

මෙයට අමතරව අඹ, පැපොල්, වැල වරකා, දොඩම්, පැෂන් ෆෘට්‌, කැරට්‌, මුරුංගා කොළ, නිවිති, කොළ ගෝවා, මඤ්ඤොක්‌කා කොළ, මුකුණුවැන්න, මෑ, ලීමෑ වැනි ආහාර වර්ග සහ කාබනික කිරි, බිත්තර, මස්‌, මාළු, පීගුතු වැනි ආහාර වර්ග රාශියක්‌ විටමින් ඒ සුලභ ආහාරවලට අයත් වෙයි.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක
gossip lanka