ශරීරයේ ඉන්ද්‍රියන් සිහිගන්වන එළවළු සහ පලතුරු

ස්වභාවධර්මය සෑම විටම හරි අපූරු නිර්මාණ බිහි කරන බව අප කවුරුත් දන්නා කරුණකි. ඇතැම් එළවළු සහ පලතුරුවලට අපගේ ශරීරයේ ඉන්ද්‍රියන් සිහිගන්වනසුලු ස්වරූපයක් ලැබී තිබෙන බව ඔබ හොඳින් නිරීක්ෂණය කරන කල ඔබට වටහා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


ස්වභාවධර්මය පවා ඇඟිල්ලෙන් ඇන අපට පවසන්නේ මෙම ආහාර සුලබව ආහාරයට එක් කරගත යුතු බව යැයි අපට සිතිය හැකිය. අපගේ සිරුරේ ඉන්ද්‍රියන් සිහිගන්වන එළවළු, පලතුරු සහ පලා වර්ග කිහිපයක් මෙම ලිපියේ සඳහන් වනවා. එම එළවළු සහ පලතුරු සමාන වන ඉන්ද්‍රියට ඒවා විශේෂයෙන් ගුණදායක වීම තවත් එක් සුවිශේෂී කරුණක් ලෙස සඳහන් කළ යුතුයි.

අලිගැටපේර

පැසුණු අලිගැටපේර ගෙඩියක ස්වරූපය කාන්තාවගේ ඩිම්බ කෝෂයක හැඩය ගැනේ. එමෙන්ම එය දික් අතට කැපූ විට ගර්භණී මවකගේ උදරය සහ උකුල ප්‍රදේශය මෙන් හැඩයක් ගනී. අලිගැටපේර ගැබිනි මවකට සහ කලලයේ වර්ධනයට ඇවැසි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් අනූන වේ. විශේෂයෙන් ගැබිනි මවකට අත්‍යවශ්‍ය ඔමේගා 3 බහුල ලෙස අලිගැටපේරවල අන්තර්ගත වේ. එයට අමතරව ප්‍රෝටීන්, විටමින් E, K, A, C, B  සහ සින්ක්, පොටෑසියම් යන ගැබිනි මවකට අත්‍යවශ්‍ය ඛනිජ ලවන රාශියක්ද අලිගැටපේර තුළ අන්තර්ගත වේ. අලිගැටපේර ගර්භණී මවුවරුන්, කිරිදෙන මවුවරුන් වගේම බාල මහලු සියලුදෙනා නිතර ආහාරයට එක් කරගත යුතුම පලතුරකි.

මෑ, බෝංචි, ලීම ඇට

මෙම ඇට වර්ග දුටු විගස අපට සිහිවන්නේ වකුගඩුවක හැඩයයි. මේවායේ අන්තර්ගත පෝෂණ සංඝටක වකුගඩුවල නිරෝගීභාවයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. වකුගඩු රෝග, හදවත් රෝග සහ පිළිකා රෝගවලින් ආරක්ෂා වීමටද මෙම ඇට වර්ග ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් වේ. මෑ, බෝංචි, ලීමවල අඩංගු ෆෝලික් අම්ලය ආසනික් නමැති අධික විස සහිත බැරලෝහය 40%ක් මුත්‍රා මඟින් ඉවත් කරන බව වෛද්‍ය පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.

තක්කාලි

තක්කාලි ගෙඩියක් දෙකට කපා බැලූ විට අපගේ හදවතේ අභ්‍යන්තරය සිහියට නැඟෙනවා. තක්කාලි හදවතේ නිරෝගීකම රකින ලයිකොපින්  (Lycopene) නැමැති ශාක රසායනිකයෙන් පොහොසත් බව දැක්විය යුතුය.

නමුත් ලයිකොපින් සියයට අසූවක් පමණ අන්තර්ගත වන්නේ කාබනිකව වගා කළ සාම්ප්‍රදායික තක්කාලි ප්‍රභේදවල බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

කැරට්

කැරට් අලයක් හරස් ලෙස එනම් රවුම් පෙත්තක් ලෙස කපා බැලූවිට ඇසේ කුණීතයේ ස්වභාවය දරන බව ඔබට පෙනී යයි. කැරට්වලින් අපට විටමින් A හොඳින් ලබාගත හැකිය. එය ඇස්වල පෙනීමට සහ විශේෂයෙන් වියපත් වීමේදී ඇසට සිදුවන හානි වැළැක්වීමට අත්‍යවශ්‍ය වන විටමිනයකි.

ගොටුකොළ

ගොටුකොළ පත්‍ර සමාන වන්නේ මොළයටයි. මොළයද ගොටුකොළ පත්‍ර මෙන්ම රැලි සහිත ස්වභාවයක් ගැනේ. මොළයේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ටටර්පීන්ස් සැපොනින් (Triterpenes Saponin)  සංඝටකයෙන් පොහොසත් ගොටුකොළ සමේ සහ කෙස්වල නිරෝගීභාවය වැඩි කිරීමටද ඉවහල් වේ. විටමින් හා ඛනිජ ලවණ රාශියක් අන්තර්ගත ගොටුකොළ පිළිකා නිවාරණය කිරීමේ ගුණ සහිත බවද සොයාගෙන තිබෙනවා.

මුකුණුවැන්න

මුකුණුවැන්න පත්‍රය ගන්නේ අපගේ ඇසේ ස්වභාවයයි. ඇසේ පෙනීම වැඩි දියුණු කිරීමට හේතු වන විටමින් A ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසක් මුකුණුවැන්න තුළ අන්තර්ගතයි.

ජම්බෝල

ස්ත්‍රියකගේ පියයුරේ හැඩය ගන්නා ජම්බෝල තුළ පිළිකා පැරදීමට අත්‍යවශ්‍යම විටමිනයක් වන විටමින් B යහමින් අන්තර්ගත වනවා. ජම්බෝල ගෙඩියේ අති ස්පොන්ජිමය කොටස තුළින් පියයුරු පිළිකා මර්දනයට සමත් ෆ්ලැවනොයිඩ් වර්ග කිහිපයක් නිස්සාරණය කරගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. හදවත් රෝගීන්ට සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ටද ජම්බෝල දිව ඔසුවකි. නමුත් වකුගඩු රෝගීන්ට ජම්බෝල එතරම් හිතකර නැති බවද සඳහන් කළ යුතුයි.

සොබාදහම අපට ලබාදෙන මෙම පණිවුඩ තේරුම් ගැනීමට තරම් සංවේදී වන්නේ නම් සෞඛ්‍යවත් නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට අප සියල්ලන්ටම හැකි වනු ඇතැයි සිතිය හැකිය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
gossip lanka