විභාග නිසා පීඩාවට පත්වූ දරුවාගේ මනස සුවපත් කරමු

පහ ශේ්‍රණියේ දරුවන් පසුගිය දා  ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. ඒවගේම අ.පො.ස. උසස් පෙළ විභාගය ආරම්භ වූවා. එය අගෝස්තු මස 31 වන දින නිමවීමට නියමිතයි. විභාග සඳහා පෙනී සිටින විට ඒ වෙනුවෙන් දැඩි ලෙස මනස වෙහෙසීමට දරුවන්ට සිදු වෙනවා. එනිසාවෙන් විභාගයෙන් පසුව විභාග මානසිකත්වයෙන් දරුවා අෑත්කිරීමට කළ යුතු දේ පිළිබඳවයි අපි දැන් විමසා බලන්නේ.
බොහෝ දරුවන් විශාල වෙහෙසක් කැපවීමක් සිදුකොට විභාගවලට මුහුණ දෙනවා. මේ නිසා බාහිර කටයුතුවලට නිරත වන්නට ඔවුන්ට ලැබෙන්නේ ඉතා අඩු කාලයක්.

එනිසාවෙන් විභාගයෙන් පසුව දරුවන්ගේ මානසිකත්වය වගේම ශාරීරික අවශ්‍යතා සහ නිදහස පිළිබඳව මවුපියන් ඉතාම සැලකිලිමත් විය යුතුයි. නමුත් ඔවුන් ලබන නිදහස පාලනයකින් තොරව ලබා දීමට ඉඩ දිය යුතු වන්නේ නැහැ. උසස් පෙළ විභාගයෙන් පසුව තරුණ දූ දරුවන් බරපතළ වගකීමකින් නිදහස් වෙනවා. විභාගයෙන් පසුව පෙර පරිද්දෙන්ම මවුපිය ඔබ ඔවුනට බලපෑම් නොකළත් ඔවුන් පිළිබඳව සොයා බලන්නට අමතක කරන්නට එපා.

ඒ වගේම නැදෑ හිතමිත්‍රයන් සමඟ දරුවාට පීඩනයක් එල්ල වන ලෙස දරුවාගේ විභාගය පිළිබඳව නිතරම කතා කරන්නට උත්සාහ ගැනීම නොකළ යුතුය. ඔබට දරුවන් හා එකතුව විනෝද වන්නට, විනෝද ගමන් යන්නට අවස්ථාව ලබා ගැනීම වඩාත් උචිතය. එතුළින් දරුවන්ගේ මනස සැහැල්ලු වේවි.

අද සමාජය බොහෝ විට අහිතකර දේවලිනුයි පිරී පවතින්නේ. ඒ නිසාවෙන්ම ඔබේ දරුවන්ට අනවශ්‍ය ලෙස නිදහස ලබාදී සමාජයට මුදා හරින්නට එපා. ඔවුන්ගේ විවේකී මනස නුසුදුසු දේවල් කරා ඉතා ඉක්මනින් යොමු වන්නට පුළුවන්. ඒ නිසාම දරුවන්ගේ විවේකී නිදහස් මනස ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් උචිත ක්‍රියාකාරකමක යෙදවීම සුදුසුයි.

වෘත්තීය අධ්‍යාපනය, ඉංගී්‍රසි භාෂාව, පරිගණක සාක්ෂරතාව වැනි විවිධ ප්‍රවේශයන් ඔස්සේ වැඩිදුර අධ්‍යාපනයක් ලබාගැනීමට ඔවුනට අවස්ථාව ලබාදිය හැකියි. දරුවන්ගේ අනාගත අපේක්ෂා විවිධයි. ඔවුන් ප්‍රිය කරන ක්ෂේත්‍ර විවිධයි. මේවාට සරිලන අන්දමේ පෙර පුහුණුවක්, අත්දැකීමක් ලබාගැනීමට අවශ්‍ය ආයතන, අවස්ථා අද ඕනෑ තරම් තිබෙනවා. මේවාට ඔබේ දරුවන් යොමු කරවීමට උනන්දු කිරීමත් වැදගත්.

ඔබේ දරුවන් නිර්මාණශීලීිත්වයෙන් හෙබි අයකු නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම දරුවන්ට සකසාදීම කළ හැකියි. විභාගවලින්ම පමණක් ජීවිතය ජයගැනීමේ හැකියව ලැබෙන්නෙ නැහැ. එනිසා ඔවුන් වැඩ ලෝකයට සූදානම් කළ යුතුයි. ඒ වගේම පෞරුෂත්ව ගුණාංග වැඩිදියුණු කිරීම කළ යුතුයි. විවිධ සමාජ තල පිළිබඳ අත්දැකීම් දරුවාට තිබීමත් අවශ්‍යයි. එනිසාවෙන් ඔබේ මඟපෙන්වීම යටතේ දරුවන්ට මෙවැනි අත්දැකීම් ලබාගන්නට ඉඩ සැලසීම ඉතා වැදගත්.

ඇතැම් දරුවන් මෙවර උසස් පෙළ විභාගයෙන් පසුව නැවතත් විභාගයට මුහුණදිය යුතුයි යන අදහසින් පසුවේ නම් ඊට බාධා නොකර ඔවුන්ට ඒ සඳහා ඉඩ සලසන්න. උසස් පෙළ විභාගයට මුහුණදුන් දරුවන් වෙනුවෙන් මෙසේ ක්‍රියා කිරීම වැදගත් සේම පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය නිමාකළ දරුවන්ගේ මවුපියනුත් සැලකිලිමත් වියයුතු කරුණු බොහෝමයක් තිබෙනවා.

ඔබ 1-5 ශේ්‍රණි දක්වා දරුවන්ගේ පසුපස සිටිමින් විශාල කැපකිරීමක් කරන්නට ඇති. නමුත් පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ තීරණාත්මක කඩයිම නොවන බව සිහි තබාගන්න. මෙතැනින් පසුව ඔබ ඔබේ දරුවන්ට දක්වන සැලකිල්ල අඩු කරන්ට එපා. දරුවන් පිළිබඳව ඉදිරියේදීත් සොයාබැලිය යුතු බව අධ්‍යාපන කටයුතුවලට උනන්දු කරවිය යුතු බව මතක තබා ගන්න.

දරුවන්ගේ නිදහස ඔවුන්ට ලබා දෙමින් ඒ සතුට දරුවන් හා භුක්ති විඳීමට ඔබත් එක්වන්න. සාහිත්‍ය සෞන්දර්ය රසවිඳීමට අවස්ථාව සලසන්න. බාහිර ලෝකය ගැන තොරතුරු සොයාබැලීමට ඉඩ දෙන්න. නැදෑ හිතමිතුරන් සමඟ කතා බහ කිරීමට විනෝද වීමට ඉඩ දෙන්න. ගෙවූ කාලයේ අත්විඳි වෙහෙසකර බව, පීඩාකාරී බව නැවත දැනෙන්නට ඉඩ දෙමින් අනවශ්‍ය පරිදි තහංචි නොදැමීමටත් අනවශ්‍ය ලෙස නිදහස භුක්ති විඳීමටත් ඉඩ නොතැබීමට වගබලා ගන්න.

ඉරේෂා කල්හාරි සේනාධීර
gossip lanka