නැතිවම බැරි සබන් කෑල්ල හැදුණේ මෙන්න මෙහෙමයි

අෑත අතීතයේ සිටම මිනිසා විවිධ පිරිසුදු කිරීම් සඳහා සබන් භාවිත කර තිබේ. ලෝකයේ හැම තැනකම හැමදාම, හැමදෙනාම සබන් භාවිත කරනවා. සබන්වල ඉතිහාසය අවුරුදු 6,000ක් පමණ අතීතයට දිව යන එකක්. පුරාවිද්‍යා කැණීම්වලදී ආදි බැබිලෝනියානුවන් සබන් නිෂ්පාදනය කළ බවට සාක්ෂි ලැබී තිබෙනවා. එමෙන්ම ඊජිප්තුවාසීන්ද ශාක හා සත්ත්ව තෙල්, ඇල කඨින ලුණු (ක්ෂාර ලුණු) සමඟ මිශ්‍ර කර මුලින් සබන් නිපදවා තිබේ.

රෝමානු පුරාවෘත්තවලට අනුව සබන්වලට Soap යන නම ලැබුණේ රෝමයේ පිහිටි “සපෝ කන්ද” නිසා යැයිද කියැවේ.

බැබිලෝනියානු ඉතිහාසයට අනුව සබන් සෑදීම සඳහා අළුහුනු හා තෙල් මිශ්‍රණ භාවිත කර තිබේ. කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ මතයට අනුව නම් සබන් යනු දෛනිකව සම පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වූවකටත් වඩා සබන් යනු මිනිසාගේ එදිනෙදා ජීවිතයේදී සේදුම් කාරකයක් ලෙස භාවිත කළ දෙයකි. එමෙන්ම අතීතයේදී සබන් ගත සුවඳවත් කිරීමේ ද්‍රව්‍යයක් ලෙස භාවිත කළ ද්‍රව්‍ය නම් නොවේ. 1878දී පාර්ලි ප්‍රොක්ටර් සහ ජේම්ස් ගැම්බල් විසින් ලෝකයේ මුල්වරට “අයිවරි” නමින් රුව වඩවන සුවඳ සබන් වර්ගය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

අතීතයේදී යුරෝපීය වැසියන් ඉතා සරල ආකාරයෙන් එළුකිරි වැනි කිරි වර්ගවලින්ද නිවෙසේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සබන් නිෂ්පාදනය කර භාවිතයට ගෙන තිබේ.

14 වැනි සියවසේදී ප්‍රංශ ජාතිකයන් විසින් ඔලිව් තෙල් සමඟ මුහුදු ජලය මිශ්‍ර කර නිපදවූ සබන් විශේෂයක් ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. එලෙස නිපද වූ සබන් අමිහිරි, අප්‍රසන්න ගන්ධයකින් යුක්ත වූ ඒවා විය. නමුත් 18 වැනි සියවසේ කාර්මික විප්ලවයෙන් පසුව සබන් නිෂ්පාදනය ඉහළ ගිය අතර ඒවාට මිහිරි සුවඳ වර්ග කැවීමේ කලාවද සොයා ගැනුණි. ඇමෙරිකානුවන් ද 19 වැනි සියවසේදී සබන් නිෂ්පාදන ක්‍රියාවලියට අවතීරණ විය.

මුල් කාලයේදී රෙදි සේදීමට, මුළුතැන්ගෙයි භාජන වැනිදේ සේදීමට පමණක් සබන් භාවිත කළ නමුත් පසුව ශරීරය පිරිසුදු කිරීමටද සබන් යොදාගනු ලැබිණි. නමුත් සබන් මඟින් ශරීරයේ සම වියළි ස්වභාවයකට පත්වන්නට පටන් ගත් අතර එයට හේතුව ලෙස සබන්වල අඩංගු PH  අගය ඉතා ඉහළ අගයක් ගැනීම බව සොයා ගන්නා ලදී.

සබන් යනු තෙලක් හා භස්මයක් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයකි. එය ජලයේ හා තෙල් වර්ගවලත් දියවීම එහි විශේෂ ලක්ෂණයකි. සබන් නිෂ්පාදනයේදී පොල්තෙල් ආදී තෙල් වර්ගයක්, කෝස්ටික් සෝඩා (NaOH),  සුවඳ කාරක (එසන්ස් වර්ග) වැනි ද්‍රව්‍ය භාවිත වේ.

නූතන යුරෝපීයන් ද සබන් නිෂ්පාදනය ආරම්භ කළ අතර ඔවුන් නිෂ්පාදනය කළ සබන් “කැස්ටියල්” යනුවෙන් නම් කර තිබේ.

1948 දී නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා සමාජය වෙතටද සබන් පැමිණ තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ සුවඳ සබන්වල ඉතිහාසය 1920 තරම් අෑත කාලයට දිව යයි. අද වනවිට ශ්‍රී ලංකාවේ සබන් සඳහා තිබියුතු අවම TFM (Total Fatty Matter)  අගය 76.5%ක් වේ.

අද වනවිට සබන් වෙනුවට සේදුම් කාරක වර්ග බොහොමයක් වෙළෙඳපොළට පැමිණ තිබේ. එනම් සිරුරේ සම සේදීම සඳහා“Baby Wash”   වර්ගද මුහුණේ සම සඳහා face wash, face gel, face scrub, face cleanser   ආදිය දක්නට ලැබේ. එමෙන්ම රෙදි සේදීම සඳහා කුඩු වර්ග, දියර වර්ගද ඒ අතර ඉතා ජනප්‍රිය වී තිබේ.

මෙලෙස පරිවර්තනය වී පැමිණි සබන් කැටය අද වන විට විවිධ මිල ගණන් යටතේ, විවිධ හැඩයන්වලින් (මල් හා පලතුරු වර්ග) විවිධ වෙළෙඳ නාමවලින්, ලෝක ප්‍රසිද්ධ සුවඳ විලවුන් කැවූ සබන් වර්ගද වෙළෙඳපොළ තුළ ඔබට මිලදී ගැනීමේ හැකියාව ලැබී තිබේ.

දිනූෂා මනෝරි නිශ්ශංක
gossip lanka