ඕනෑවට වඩා පිරිසුදු වෙන්න ගිහින් හදා ගන්න බැක්ටීරියල් වැජිනෝසිස්

(Bacterial Vaginosis)

ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට සුලබව වැලඳෙන රෝගී තත්ත්වයක්. මෙම තත්ත්වයට ලිංගාශි්‍රත පෙදෙස නිතර පිරිසුදු කිරීමට අමතරව බලපාන තවත් හේතු සාධක කිහිපයක්ම තිබෙනවා. කාන්තාවන්ගේ සිතට කරදර දෙන මානසිකව පීඩා ඇති කරන මෙම තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුමයි.

අපගේ ශරීරයේ විවිධ ස්ථානවල ශරීරයට හිතකර සිරුරට ආරක්‍ෂාව සපයන ක්‍ෂුද්‍රජීවීන් ජීවත් වෙනවා. එම ක්‍ෂුද්‍රජීවීන් සහ සිරුර අතර ඉතා හොඳ සහජීවනයක් පවතිනවා. යෝනි මාර්ගයේද මෙම හිතකර බැක්ටීරියා ජීවත් වෙනවා. යෝනි මාර්ගයේ ජීවත්වන බහුලම ක්‍ෂුද්‍රජීවීන් වර්ගය වන්නේ Lactobacillus බැක්ටීරියාවයි. Lactobacillus ක්‍ෂුද්‍රජීවීන් යෝනි මාර්ගයේ ජීවත් වන අතර ඔවුන්ගේ සිරුරෙන් ඇසිඩ් වර්ගයක් ස්‍රාවය කරනවා. එම ඇසිඩ් නිසා යෝනියේ ph  අගය ශරීරයේ ph  අගයට වඩා මඳක් අඩු වෙනවා. එමඟින් සිරුරට ආරක්‍ෂාවක් සැපයෙනවා. අහිතකර රෝග කාරක ක්‍ෂුද්‍රජීවීන් ඇතිවීම වළක්වා සිරුර ආරක්‍ෂා කරන මෙම බැක්ටීරියාව විනාශ වූ විට අහිතකර බැක්ටීරියා ක්‍රියාත්මක වී බැක්ටීරියල් වැජිනොසිස් නම් රෝගී තත්ත්වය ඇති වෙනවා. Lactobacillus  බැක්ටීරියාව විනාශ වීමට බලපාන හේතුන් කිහිපයක් ඇත.

 විවිධ සේදුම්කාරක යොදමින් නිතර නිතර යෝනිය සහ යෝනි මාර්ගය සේදීම විශේෂයෙන් යෝනි මාර්ගය අභ්‍යන්තරය සේදීම මේ සඳහා හේතු වෙනවා.

1    මාසික ඔසප් දිනවලදී යෝනි මාර්ගය අභ්‍යන්තරයට යොදන සනීපාරක්‍ෂක ක්‍රමවේද භාවිතය

(Menstruation Cups, Tampons)



2    එක් ලිංගික සහකරුවකුට වඩා ඇසුරු කිරීම

3    ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීම

බැක්ටීරියල් වැජිනෝසිස් රෝගයේ රෝග ලක්‍ෂණ පිළිබඳව අපි දැන් විමසා බලමු

1   යෝනි මාර්ගයෙන් නිතරම වර්ණයක් නොමැති ස්‍රාවයක් ස්‍රාවය වීම. මෙය පෙණ ස්වභාවයකින් ද දැකගත හැකිය.

2    එම ස්‍රාවයෙන් පිළී ගඳක් මෙන් අධික දුර්ගන්ධයක් හැමීම

අධික දුර්ගන්ධයකින් යුත් මෙම ස්‍රාවය නිසා කාන්තාවන් දැඩි මානසික පීඩනයකටත් අපහසුතාවයකටත් ලක් වෙනවා.

 එමෙන්ම රෝග තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවකට HIV, ගොනෝරියා, හර්පීස්, වැනි ලිංගික වයිරස් බෝවීමේ වැඩි අවදානමක් තිබෙනවා. එමෙන්ම ගැබිනි මවකට මෙම තත්ත්වය නිසා අඩු මාසයෙන් නොමේරූ දරු උපත්වලට මුහුණ දීමට සිදුවීම ද තවත් අයහපත් ප්‍රතිඵලයක්.

ශරීරයට අහිතකර සේදුම්කාරක වෙනුවට ප්‍රමිතිගත සිරුරට සෞම්‍ය සේදුම්කාරකයක් යොදා දිනකට දෙවරක් පමණක් ලිංගාශි්‍රත පෙදෙස පිරිසුදු කළ යුතුයි. යෝනි මාර්ගය එනම් යෝනි අභ්‍යන්තරය පිරිසුදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

ලිංගික එක්වීම්වලදී සහකරු කොණ්ඩම් භාවිත කිරීමත් මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට උපකාරි වේ. මෙම තත්ත්වය ස්ථීර වශයෙන්ම සුව කළ හැකි අතර ඉහත රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වෙනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
gossip lanka