දරුවන්ට කතන්දර කියන විට මේ දේවල් ගැනත් හිතන්න

කුඩා දරුවන් කතන්දර අසන්නට දක්වන්නේ මහත් රුචිකත්වයක්. බොහෝ දුරට ආච්චි, සීයා ඇසුරෙහි හැදී වැඩෙන දරුවන් තුළ අනෙක් දරුවනට සාපේක්‍ෂව මෙම පුරුද්ද වැඩි වශයෙන් තිබෙනවා. මෙසේ දරුවන්ට කතන්දර කියන විට බියමුසු සිදුවීම් සහ අසාමාන්‍ය සිදුවීම්වලින් පිරුණු කතන්දර පැවසීමටත් මන--කල්පිත ලොවක් දරුවාගේ මනසේ නිර්මාණය කිරීමටත් ඇතැම් වැඩිහිටියන් උත්සාහ දරනවා. එහිදී වැඩිහිටියන් උත්සාහ කරන්නේ දරුවනට රසබර කතාවක් පැවැසීමට වුවත් ඉන් දරුවාගේ මනසට ඍණාත්මක බලපෑමක් එල්ලවනවා. මේ කතාබහ ඒ පිළිබඳවයි.


විවිධ කතාන්දර අසන විට දරුවන්ගේ රස වින්දනය මෙන්ම බුද්ධිය සහ චින්තනය වර්ධනය වනවා. නිර්මාණාත්මකව සිතන්නටත් සාහිත්‍ය රස විඳින්නටත් ඔවුන් මේ තුළ යම් හුරුවක් ලබනවා. එමනිසා කතන්දරයක් කියාදීම දරුවනට හොඳ ඉගෙනුම් අත්දැකීමක්.

නමුත් යථාර්ථවාදී ලෝකයෙන් බැහැරවන කතන්දර දරුවනට කියාදීම සුදුසු වන්නේ නැහැ. මන-- කල්පිත සිදුවීම් ඔස්සේ කතාන්දරය දිගහැරෙන විට දරුවන් එවැනි අත්දැකීම් ලබා ගන්නට උත්සාහ ගන්නවා. එය දරුවන් තුළ මානසික ව්‍යාකූලතා ඇතිවන්නට මෙන්ම චින්තනය අක්‍රමවත් ලෙස මෙහෙයවන්නටත් බලපෑම් ඇති කරනවා.

අත්භූත සිදුවීම්, භයානක දේවල් දරුවනට ඇසීමෙන් ඒවා දරුවන්ගේ මනසේ තැන්පත් වන්නට පුළුවන්. එවිට දරුවා තුළ හටගන්නේ අනියත බියක් සහ කුතුහලයක්. සැබෑ ලෝකයේ සිදු නොවන දේවල් කතාන්දර තුළ ඇතුළත් වුවහොත් දරුවන් එවැනි දෑ අත්හදා බලන්නට උත්සාහ කළ හැකියි.

අතීත පරම්පරාවට වඩා වත්මන් දරු පරම්පරාව බුද්ධිමය හා චින්තන හැකියාව තුළින් ඉතා ඉහළ තලයක පසුවනවා. එනිසාම ඔවුන් ඇසෙන සහ පෙනෙන දේ සැබෑ ලෙස අත්දකින්නට උත්සාහ කරනවා. එනිසා ඔබ දරුවනට කියාදෙන කතන්දරවල අන්තර්ගතය පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි.

දරුවන්ගේ ජීවිතයට යම් ආදර්ශයක් ලබාගත හැකි, වැරැදි නිවැරැදි කරගත හැකි දේවල් දරුවනට කතන්දර ඔස්සේ කියාදීම  ඉතා වැදගත්.

දරුවනට නොපෙනෙන නොදැනෙන දේවල් පිළිබඳ කියාදීමේදීත් සැලකිලිමත්වීම  ඉතාම වැදගත්. අන් අය පිළිබඳව වයිරය, කේ‍රා්ධය සිත් තුළ ඇතිවන අන්දමේ කතන්දර කියා දෙන්නට උත්සාහ ගන්නට එපා.

බොහෝ විට කුඩා දරුවන් කතන්දර ඇසීමට එකතු වන්නේ ආච්චිඅම්මා, සීයා සමීපයටයි. මවුපිය ඔබත් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටීම මඟින් ඔබේ මවට පියාට ඔවුන්ගේ කතන්දර කියාදීමේ රටාව වෙනස් කර ගැනීමට උදවු කළ හැකියි.

ඇතැම් දරුවන් නින්දට යන්නේත් කන්දරයක් අසමින්. ඔවුන්ගේ නින්ද සුව නින්දක් වගේම සුන්දර සිහිනයක් සමඟ අත්විඳින්නට නම් ඔබ දරුවාට කියාදෙන කතන්දරය කෙතරම් අර්ථවත් සහ වැදගත් එකක් විය යුතුදැයි සිතා බලන්න.

ඉරේෂා කල්හාරි සේනාධීර
gossip lanka