පෝෂණ ඌනතාවයේ මාරක අවදාන‍මෙන් මිදෙන්න

ශරීර වර්ධනයට පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය ය. මෙම පෝෂක ද්‍රව්‍ය මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක ලෙස බෙදා වෙන් කළ හැකිය. මහා පෝෂක යනු කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ සහ ප්‍රෝටීන ය. ක්ෂුද්‍ර පෝෂක යනු විටමින් සහ ඛනිජලවණ ය. මේවා අඩු වීමෙන් පෝෂණ ඌනතා ඇති වේ.

මන්දපෝෂණය යනු ශරීරයේ වර්ධනයට අවශ්‍ය වන මෙම පෝෂණ සංඝටකවල ඇති වන ඌනතාවයි.
මන්දපෝෂණය කුඩා දරුවන් තුළ මෙන් ම වැඩිහිටියන් තුළ ද දක්නට ලැබේ. ආහාරවල අඩංගු ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩවල ඌනතා නිසා මන්දපෝෂණ තත්ත්වය ඇති වේ.

ආහාරවල ප්‍රධාන ශක්ති දායකයන් වන්නේ. කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ ය. කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ ඌනතාව ශක්ති ඌනතාව ලෙස අර්ථ දැක්වෙන්නේ එබැවිනි. විටමින් සහ ඛනිජ ලවණ ඌනතාව ක්ෂුද්‍ර පෝෂක ඌනතාව ලෙස හැඳින්වේ. මේ නිසා මන්දපෝෂණ තත්ත්වයන් තුළ සියලු පෝෂණ ඌනතා දක්නට ලැබේ. මෙම මන්දපෝෂණ තත්ත්වයන් විවිධාකාර ය. කුඩා දරුවන් තුළ ප්‍රෝටීන සහ ශක්ති ඌනතාව සු‍ළුවෙන් ඇති විට‍ එය බාහිරව පෙන්නුම් නොකෙරේ. නමුත් ප්‍රෝටීන සහ ශක්ති ඌනතාව උග්‍ර වූ විට එය ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරේ.

ප්‍රෝටීන සහ ශක්ති ඌතතාව ළමුන් තුළ ප්‍රධාන ආකාර තුනකින් දක්නට ලැබේ. එනම්,

1.වයසට සරිලන උස නොමැති වීම(Stunting)

2.උසට සරිලන බර නොමැති වීම(wasting)

3.වයසට සරිලන බර නොමැති වීම(underweight)

ප්‍රෝටින් ඌනතාවේ බරපතළ රෝගි අවස්ථා 2ක් දක්නට ලැබේ. එනම් “මැරස්මස්” තත්ත්වය සහ “ක්වෝෂියෝකෝර්” තත්ත්වයයි. කුඩා දරුවන් තුළ ප්‍රෝටීන් සහ ශක්තිය උග්‍ර ලෙස හීන වූ විට “මැරස්මස්” තත්ත්වය ඇති වේ. මෙහිදී සිරුරේ මාංශපේශීන් ඉතා දුර්වල වේ.

ශරීරයේ මේදය තැන්පත් වීම ඉතා පහත් තත්ත්වයක පවතී. ශරීරයේ බර සම්මත අගයට වඩා (60%කට වඩා) අඩුය. දරුවන්ගේ ශරීරය වයසක පුද්ගලයකුගේ මෙන් දිස් වේ. මානසික වර්ධනය ඉතා අඩුය. ශරීරය තුළ ඉදිමීමේ තත්ත්වයක් නැත. මැරස්මස් තත්ත්වය සුව වීමට දිගු කාලයක් ගතවේ. බොහෝ විට මෙම තත්ත්වය ඇති වනුයේ නියමිත පෝෂණ සංඝටක අඩංගු ආහාර නිසි පරිදි නොලැබීම නිසා ය. විශේෂයෙන් ශරීර වර්ධනයට අවශ්‍ය ශක්තිය සහ පෝෂණ ‍කොටස් නොලැබීමෙන් මෙම තත්ත්වය ඇති වේ.

මන්දපෝෂණයේ බරපතළ ලෙස සැලකිය හැක්කේ ක්වෝෂියෝකෝර් තත්ත්වයයි. මෙහිදී ශරීරයේ සැම තැනම ඉදිමී ඇත. ශරීරයේ බර සාපේක්ෂව වැඩි වේ. මෙයට හේතු වී තිබෙන්නේ ප්‍රෝටීන් ඌනතාව යි. මොවුන්ගේ කැලරි අවශ්‍යතාව යම් දුරකට ප්‍රමාණවත් ය. මෙම දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අඩුය. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ඉතා අඩුය. ක්වෝෂියෝකෝර් තත්ත්වය සුව වීම කෙටි කලකින් සිදු වේ. මෙම රෝග අවස්ථා දෙකට අතරමැදි අවස්ථාවේ පසු වන දරුවන් බොහෝමයක් ලෝකය පුරා දැක ගත හැකිය.

මීට අමතරව ක්ෂුද්‍ර පෝෂක ඌනතා ද බහුලව දක්නට ලැබේ. එනම් විටමින් ඒ, බී, හා ඩී. ඌනතා ඇති අය මෙන් ම යකඩ, කැල්සියම් සහ අයඩින් ඌනතා ඇති රෝගීන් අද විරල නොවේ. මෙම ක්ෂුද්‍ර පෝෂක ඌනතාවන්ට හේතු වන්නේ අද ආහාරවල පවතින පෝෂණ විෂමතාවයි. එනම් ධාන්‍ය, සහල්, එළවළු සහ පලතුරු වැනි ආහාර ස්වාභාවික ආකාරයට ආහාර ලෙස නොගැනීමයි. එබැවින් ශරීරයට එකතු වන පෝෂණ සහ ඖෂධීය සංඝටක ප්‍රමාණය අඩු වේ. විශේෂයෙන් පාන්පිටි ඇසුරෙන් සකස් කළ ආහාර, කෘත්‍රීම ආහාර සහ වෙනත් කෘත්‍රිම රසකාරක ඇසුරෙන් සකස් කළ ආහාර පරිභෝජනය මීට හේතු‍ වේ. නූතන ආහාර හරහා සකස් කිරීමේදී පෝෂක ද්‍රව්‍ය රැසක් විනාශ වේ. එනම් කෘත්‍රිම ආහාරවල විටමින්, ක්ෂුද්‍ර පෝෂක ඌනතා බහුල වීමෙන් මන්දපෝෂණ තත්ත්ය හට ගනී.

එහෙත් ආහාරමය සාධක නිසා ඇති වන පෝෂණ ඌනතාවන් නිවැරදි කළ හැකිය. පාන් පිටිවලින් සැකසු ආහාරවලින් දුරස් වී සහල්, ධාන්‍ය, එළවළු සහ පලතුරුවලින් පරිපූර්ණ ආහාර ලබා ගැනීමෙන් කිසිදු අපහසුතාවකින් තොරව පෝෂණ ඌනතා වළක්වා ගත හැකිය.

විෂම ආහාර පරිභෝජනය නිසා මන්දපෝෂණය මෙන් ම ස්ථුලතාව ද ඇති වන බව සිහි තබා ගත යුතුය. මෙහිදී දක්නට ලැබෙන්නේ ස්ථූල (තරබාරු) ශරීරයකි. වර්තමානයේ අධික තෙල් සහිත ආහාර සහ අධික සීනි සහිත ආහාර පරිභෝජනයෙන් ඒ හා සම්බන්ධ හෝමෝන අසමතුලිතතා ඇති වීමෙන් තරබාරුව ඇති වේ.

විශේෂයෙන් ප්‍රමිතියෙන් තොර එළවඵ තෙල් වර්ග, මාගරින් තෙල් වර්ග, ෆාම්තෙල් වර්ගවලින් බදින ලද ආහාරවලට අමතරව මස් මාංශ පරි‍භෝජනය, සොසේජස්, සෝස් වර්ග, පැණි බීම සහ පාන්පිටිවලින් සැකසූ ආහාර භාවිතය ද වර්තමානයේ ස්ථූලතාව ඇති වීමට හේතු වේ. මෙම ආහාර හරහා එක් වන මේද අම්ල අධශ්චර්මීය පටකවල තැන්පත් වීම නිසා ස්ථූලතාව ඇති වේ. ස්ථූලතාව සඳහා ප්‍රධාන වශයෙන් ජානමය සාධක බලපානු ලැබුවත් විෂම ආහාර රටාව නිසා ඇති වන ස්ථූතලතාව පාලනය කර ගත හැකිය.

ස්ථූතුලතාව මනිනු ලබන්නේ බර සහ උස ඇසුරෙන් ගත් B0dy Mass Index (BMI) අගය මගිනි. එනම් පුද්ගලයකුගේ උස මීටරවලින් සහ බර කිලෝග්‍රෑම් වලින් ලබා ගෙන BMI අගය ලබා ගත හැකිය.

බර (කිලෝ ග්‍රෑම් ) =kg/m2

උස (මීටර්)x උස (මීටර්)

BMI අගය 18.5ට වඩා අඩු නම් මෙහි උසට අනුව බර ප්‍රමාණවත් නැත. පෝෂණ තත්ත්වය වර්ධනය කර ගත යුතුය.

18.5- 24.9 අතර ‍නම් උසට සරිලන බර ඇත. මෙය සාමාන්‍ය පුද්ගලයකුගේ තිබිය යුතු අගයයි. BMI අගය 25-30 අතර නම් උසට අනුව බර වැඩිය. මෙහිදි බර පාලනය කර ගත යුතුය. 30ට වැඩි නම් ස්ථූලතාවෙන් පෙළෙන අතර මෙහි දී ද නියත වශයෙන් ම බර අඩු කර ගත යුතුය. ආහාර පාලනය සහ ව්‍යායාමය පිළිබඳව අධිකව අවධානය යොමු කළ යුතුය. 40 ට වැඩි නම් අධික ස්ථූලතාවෙන් පෙළෙන අතර එය භයානක රෝගි තත්ත්වයකි. බොහෝ රෝග සංකූලතා ඇති වීමේ ප්‍රවණතාව ඇත. එසේම මෙය ඉතා බරපතළ අසාමාන්‍ය පෝෂණ තත්ත්වයකි. දැඩි අවධානයක් යොමු කළ යුතුය. ඇතැම් විට රෝහල්ගත කිරීමට පවා සිදුවේ.

ස්ථූලතාව සමග මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්ත්වය ඇති වේ. එනම් ස්ථූලතාව, රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම, රුධිර පීඩනය වැඩිවීම, HDL කො‍ලෙස්ටරෝල් අඩු වීම සහ Triglyceride කොලෙස්ටරෝල් වැඩි වීම යන ප්‍රධාන රෝග 5හට ගනී. මෙයට හේතු වනුයේ මූලිකවම වැරදි ආහාර පරිභෝජනයයි. එනම් අධික තෙල් සහිත ආහාර, මස්, සොසේජස් වැනි ආහාර පරිභෝජනයයි. ජානමය සාධක ද ස්ථූලතාවට හේතු වන අතර සීනි අධික ආහාර ගැනීම සහ ව්‍යායාම මඳකම ද මෙම රෝග තත්ත්වයන්ට බලපානු ලැබේ.

ස්ථූලතාව නිසා හෘදයාබාධ, දියවැඩියාව, හෝමෝන අසාමාන්‍ය තත්ත්වයන්, වකුගඩු ගල්, පිත්තාශයේ ගල්, හර්නියා, පෙණහලු රෝග, ආතරයිටිස්, චර්ම රෝග, ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා, ස්නායු රෝග, පිළිකා රෝග වැළදීමේ අවදානම ඉතා ඉහළය. මොවුන්ගේ ශරීරයේ ලෙප්ටින්, යූරික් අම්මලය, ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් - TNF වැනි සංයෝග ප්‍රමාණය ඉහළ යන අතර මේවා අධික වූ විට රෝගී තත්ත්වයන් උග්‍රවේ. එවිට ශරීරයේ සියලුම හෝමෝන අසාමාන්‍යතා ද්විතීයිකව දක්නට ලැබේ. එනම් වර්ධන හෝමෝන, කෝටිසෝල්, තයිරෝකිසින්, ඉන්සියුලින්, ප්‍රජනක හෝමෝනවල අසාමාන්‍යතා ඇති වේ. මානසික රෝගි තත්ත්වයන් ද මෙම සින්ඩ්‍රෝමය හා බැඳී පවතී. මානසික පීඩන තත්ත්වයන් ඇති වේ.

මේ නිසා ස්ථූලතාව ඇති අය ඉතා ප්‍රවේසම් විය යුතු අතර බර අඩු කර ගැනීමට මූලිකත්ව දිය යුතුය. එයින් බොහෝ රෝගාබාධ සහ සංකූලතා අවම කර ගත හැකි වේ.
gossip lanka