දියවැඩියාව පාලනය කරන්නේ කොහොමද?

ලොව පුරා සිදුවන මරණවලින් සියයට 70ක් සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ. අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව බෝ නොවන රෝගවලට අයත් වන අතර ඉන් පළමු ස්ථානයේ පවතින්නේ දියවැඩියාවයි. සරලව කිවහොත් දියවැඩියාව යනු රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමයි. දියවැඩියාව යනු නිට්ටාවටම සුව කළ නොහැකි රෝගයක් වන බැවින් වැලඳීම වළක්වා ගැනීම සඳහා රෝගය පිළිබඳ නිසි දැනුවත්වීමක් ලබා තිබීම සෑම අයකුටම වැදගත් වේ.
දියවැඩියා රෝගය වැලඳෙන්නේ ඇයි?

ජානමය බලපෑම්, අධික ලෙස කෘත්‍රිම සහ ක්ෂණික ආහාර පරිභෝජනය, අධික තරබාරුව, මානසික ආතතිය ආදී හේතු නිසා දියවැඩියාව වැලඳිය හැකිය.

දියවැඩියාව නිසා සිදුවන අහිතකර බලපෑම් මොනවාද?

දියවැඩියාව වැලඳීම නිසා සිරුරේ ඉන්ද්‍රියයන් කිහිපයකම හානිකර තත්ත්වයක් ඇතිවනවා. ඒ ඇතැම් තත්ත්වයන් ඉතා බරපතළ විය හැකිය. හදවත් රෝග ඇතිවීම, වකුගඩු අකර්මණ්‍යතාව, අංශභාගය, ස්නායු දුර්වලතා, ඇස් පෙනීමේ දුර්වලතා, තරුණ වියේ පසුවන අයට ලිංගික බෙලහීනතාව ඇතිවීම වගේම රුධිර සංසරණය ඇණ හිටීමෙන් දෙපාවල ඇතිවන තුවාල වැඩි වීමෙන් ඇඟිලි සහ දෙපා ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

දියවැඩියාව හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද?

නිතරම පිපාසය දැනීම, වෙහෙස දැනීම සහ නිදිමත ගතිය, නිතර කුසගිනි ඇති වීම, නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව, මුත්‍රා ආසාදන, අත් පා හිරි වැටීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

රෝගය හඳුනා ගන්නේ කොහොමද?

රාත්‍රී ආහාරයෙන් පසු නිරාහාරව සිට පසුදා උදෑසන සිදුකරනු ලබන රුධිරයේ ග්ලූකෝස් මට්ටම බලන (Fasting Blood Sugar - FBS) පරීක්ෂාව තුළින් රෝගය හඳුනා ගත හැකියි. එහි සාමාන්‍ය අගය 70 - 110 වන අතර, 110- 126 මට්ටම පූර්ව දියවැඩියා අවස්‌ථාව ලෙස සැලකිය හැකි වුවත් එවැනි අය සඳහා ඒ අවස්ථාවේදීම ඖෂධ නිර්දේශ කරන්නේ නැහැ. තවත් එවැනි පරීක්ෂණ දෙකකින් පසුවයි ඖෂධ නියම කරන්නේ. නමුත් ඉහත කී ග්ලූකෝස් මට්ටම සමඟ මුලින් කී රෝග ලක්ෂණත් තිබෙනවා නම් ඖෂධ මඟින් එම තත්ත්වය පාලනය කිරීම ඉක්මනින් පටන්ගත යුතුයි. දියවැඩියාව තිබෙන බවට සැක කරන අයකුට වෛද්‍යවරයා විසින් Random Blood Sugar නම් පරීක්ෂණයක් සිදුකරන අතර එහි අගය මි. ග්‍රෑම් 200ට වැඩි නම් නිරාහාර රුධිර පරීක්ෂාවක් සිදුකරනු ලබනවා. මීට අමතරව තවත් පරීක්ෂණ කිහිපයක්ම සිදුකරනු ලබනවා. ඉන් එකක් ලෙස පාද පරීක්ෂාව හැඳින්විය හැකියි.

පාද පරීක්ෂාවේ තිබෙන වැදගත්කම කුමක්ද?

දියවැඩියා රෝගියකුගේ ස්නායු පහසුවෙන් දුර්වල වන අතර එම හේතුවෙන් පාදවල රුධිර ගමනාගමනය දුර්වල විය හැකිය. පාදයේ තුවාලයක් සිදු වුණොත් එය සුව කිරීම පහසු නොවන අතර ඒ ආසන්නයට රුධිර ගමනාගමනය නොමැතිව පටක මැරී යාමද සිදුවිය හැකිය. අවසානයේ එය නතර වන්නේ ඇඟිල්ලක්, සමහර විට පාදයේ කොටසක්ම කපා ඉවත් කිරීමෙන් විය හැකියි. එම නිසා දියවැඩියා රෝගියකු නිතරම තම පාද තුවාල, සීරීම්, ආසාදනවලින් ආරක්ෂා කරගත යුතුය.

දියවැඩියාව පාලනය කරන්නේ කොහොමද?

අහිතකර ආහාරපානවලින් වැළකීම අත්‍යවශ්‍ය වන අතර ක්ෂණික ආහාර, සිසිල් බීම, තෙල් අධික රතු පැහැති මස් වර්ග, කාබෝහයිඩ්‍රේට් සහ පිෂ්ටය අඩංගු ආහාර, සම්බා හාල්වලින් පිසූ බත් නිතර ආහාරයට ගැනීම සුදුසු නොවන අතර නිවුඩු සහල්, කුරක්කන්වලින් සෑදූ ආහාර, ධාන්‍ය වර්ග, අලිගැටපේර, කුරුඳු තේ, ඕට්ස්, එළවළු, සීනි රහිත කෝපි, සීනි රහිත ඩාර්ක් චොකලට්, බිත්තර සුදුමද, මේද රහිත කිරි සහ පලා වර්ග හිතකරයි.

ඒ වගේම දියවැඩියා රෝගියෙක් වැඩිපුර ආහාර ප්‍රමාණයක් ගැනීම සුදුසු නොවන අතර ආහාර ප්‍රමාණය අඩු කිරීම සුදුසුය. ප්‍රධාන ආහාරවේල් තුන සුළු ප්‍රමාණවලින් ගත යුතු අතර ඊට අමතරව කෙටි ආහාරවේලක් දෙකක් ගැනීම සුදුසුයි. එයින් සිරුරේ බර පාලනය කර ගත හැකි අතර එය දියවැඩියාව පාලනය කිරීමට උදවු වෙනවා.

ඒ වගේම සතියකට දින හතරක්වත් පැය භාගයක්වත් වේගයෙන් ඇවිදීම, දිවීම වැනි ව්‍යායාමවල නිරත වීම අවශ්‍ය වෙනවා.

ඊට අමතරව මධ්‍යසාරවලින් සහ දුම් පානයෙන් වැළකීම, උදෑසන අවදි වූ පසු උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම, මානසික ආතතිය පාලනය කරගැනීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ආදී යහපත් පුරුදු තුළින් දියවැඩියාව පාලනය කළ හැකියි වගේම රෝගය වැලඳීමෙන් වැළකී සිටින්නත් පුළුවන්. එවැනි පිළිවෙත් අනුගමනය කරන අතරම දියවැඩියා රෝගීන් වෛද්‍ය උපදසේ මත තමාගේ රෝගයේ ස්වභාවයට ගැළපෙන ඖෂධ නියමිත වර්ගයෙන්, නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ගැනීමත් ඉතා වැදගත්.

දියවැඩියා රෝගීන් මෙන්ම එවැනි අවදානමක් ඇති සෑම අයකුම මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ දියවැඩියාව වැලඳුණොත් එය නිට්‌ටාවට සුවකළ නොහැකි බවයි. එම නිසා දියවැඩියාව යනු හොඳින් පාලනය කළ යුතු රෝගයකි. ඊට හේතුව දියවැඩියාව සහ එයින් ඇතිකරන්නා වූ රෝග ලක්‌ෂණ නිසා රෝගියා විශාල පීඩාවකට ලක්වන අතරෙ අධික ලෙස උත්සන්න වීමේදී ඇතැම් විට මරණය පවා සිදුවිය හැකිය. එමෙන්ම දියවැඩියාව භයානක රෝගයක්‌ වන්නේ එය තවත් මාරාන්තික ලෙඩරෝග රැසකටම මඟ පාදන නිසාය.

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

තුෂාර ද සිල්වා මහතා ලේක්හවුස් ආයතනයේදී පසුගියදා (29දා) පවත්වන ලද බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය ඇසුරින් සකස් කළ ලිපියකි.