කැපකිරීම් කරන්න බැරිනම් විවාහවන්න එපා

විවාහය කියන්නෙම එක්තරා ආකාරයක කැපවීමක්. නමුත් විවාහයත් සමග කලින් තිබුණ ජීවන රටාව වෙනස් වෙනවා. සමහර කැපකිරීම් කරන්නම වෙනවා. මොකද එහෙම නොවුනොත් කිසිම විදියකට විවාහ ජිවිතය කියන දෙය සාර්ථක වන්නේ නැහැ.
කාලය
විවාහය කියන්නේ තමන්ගේ ගමනට තවත් සහකරුවෙක්/කාරියෙක් එකතුකරගැනීම. ඔහු හෝ ඇය පමණක් නෙවෙයි තව ඥාති පරම්පරාවක් ඔබ සමග එකතුවෙනවා. මේ හැමෝම වෙනුවෙන් විටින් විට ඔබට කාලය කැපකරන්න සිදුවෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සහකරුවා/සහකාරිය සම්බන්ධයෙන් කාලය වෙන් කරන්න ලෝභ වෙන්න එපා. ඒකක කාලය අපතේ යැවීමක් කියලා හිතලා පසුතැවෙන්නත් එපා.

මුදල්
විවාහ ජීවිතයක සතුට තියෙන්නේ මුදල කියන සාධකය උඩ නෙවෙයි. ඒත් මුදල් නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. බිරියට දරුවන්ට නෑයන්ට යුතුකම් ඉටු කරන්න සල්ලි අවශ්‍යම වෙනවා. පමණට වඩා ලෝබ හිතුනොත් ඒක පවුල් ජීවිතයේ සාර්ථකත්වයට ගැටළුවක්. සකසුරුවමින් මුදල් හදල පරිහරණය කිරීම වගේම අවශ්‍ය දේට ප්‍රමාණවත් පරිදි මුදල් වියදම් කිරීමටද ඔබට සිදු වන බව මතක තබා ගත යුතුයි.

ආශාවන්
සාමාන්‍යයෙන් විවාහ වෙනවා කියන්නේ අදහස් සියයට සියයක්ම ගැලපෙනවා කියන එක නෙමෙයි. අදහස් බොහෝ සෙයින් ගැලපෙනවා කියලා හිතන කෙනාව ජීවිතයට ළං කරගන්නවා කියන එක. එතනදි මේ දෙදෙනාගේ රුචිකත්වයන් එකිනෙකට වෙනස්. විනෝදාංශ එකිනෙකට වෙනස්. අවශ්‍යතාද එකිනෙකට වෙනස්. මෙවැනි බොහෝ සෙයින් වෙනස් ගතිගුණ ඇති දෙදෙනෙක් එකතුවෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ ආශාවන් යම් පමණකට කැපකරන්න සිදුවනවා කියන එක. හැම වෙලාවෙම අනෙකාගේ අවශ්‍යතා වලට ගරු කරනවා නම් මේ කැපකිරීම බොහොම සුහදව තෝරා බේරාගෙන කරන්න පුළුවන්.  අනෙකාගේ සතුටට හානි නොවන ලෙස තමන්ගේ සතුට භුක්තිවිඳීමට විවාහය බාධාවක් නෙමෙයි. දෙදෙනා අතර ගොඩනැගෙන අවබෝධය මත මේ දේවල් වෙනස් වෙනවා. නමුත් යම් ප්‍රමාණයකට අපිට අපේ පුරුදු, ආශාවන් සීමා කරගන්නම සිදුවෙනවා.

ප්‍රතිපත්ති කෙරෙහි නම්‍යශීලී වීම.
විවාහයෙන් පසු ඔබ දෙදෙනාටම ඔබ දෙදෙනා දැඩිව පිළිපදින  ප්‍රතිපත්ති වේ නම් අනිවාර්යයෙන්ම ඒවා කෙරෙහි යම් පමණකට නම්‍යශීලී වීමට සිදු වනවා. විවාහයෙන් පසු කිසිවිටෙකත් ‘ඔබ’ නම් පුද්ගලයා අහිමි කරගත යුතු නැහැ. නමුත් අනෙකාගේ අවශ්‍යතා සහ සතුට වෙනුවෙන් යම් තරමකට නම්‍යශීලී වූවා කියා ඔබට අහිමි වන දෙයක් ඇත්තේත් නැහැ.
gossip lanka