ගෙදර එක්කෙනාව පුදුම කරවන්න ප්‍රංශ තාලෙට ඩිනර් එකක් දෙන්න… මෙන්න අපෙන් ඊසි ෆ්‍රෙන්ච් රෙසිපි 6ක්

කලින් හැදුවනෙ අපි ඉන්දියන් විදියටයි තායි විදියටයි රස කෑම ටිකක්. අපි මේ හදන්නෙ ඔයාලගෙ ගෙදර එක්කෙනාව පුදුම කරවන්න පුළුවන් විදියෙ දිව පැටලෙන අමුතු නම් ටිකක් තියෙන ලේසිම ලේසි ප්‍රංශ රෙසිපි ටිකක් කියල දෙන්න. සේරටම කලින් කියන්න ඕනෙ මේ සාම්ප්‍රදායිකම ඩිශස් නෙවෙයි. සමහර ඒවට පුංචි පුංචි ට්විස්ට් දීල තියෙනව අපිට
ගැලපෙන්න. ප්‍රංශ කෑම වල ඉතින් චීස් භාවිතය ටිකක් වැඩියි. ලංකාවෙන් පහසුවෙන් හොයාගන්න තියෙන චීස් වර්ග විතරයි අපි මේ රෙසිපි වලට අරන් තියෙන්නෙ.

මේ රෙසිපි හදන්න ඔයා හස්බන්ඩ්ද වයිෆ්ද කියන එක අදාලම නෑ. කුස්සියේ තියෙන බඩු වලට අත චුට්ටක් හුරු නම් මේ රෙසිපි ටික ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ප්‍රංශය කියන්නෙ ආදරවන්තයන්ගේ රටක්. පැරිස් කියන්නෙ ප්‍රේමණීය නගරයක්. පැරිස් වලට ගිහින් ෆ්‍රෙන්ච් ඩිනර් ගන්න ඉතින් අපි හැමෝටම බෑනෙ. ඉතින් ගෙදර ඉඳන්ම රොමෑන්ටික් ෆ්‍රෙන්ච් ඩිනර් එකක් ලේසියට හදල වැඩ්ඩ වගේ වැඩ දාලා මේ ෆ්‍රෙන්ච් නම් ටික කිව්ව නම් අනිවා බිරින්දෑගෙ හරි හස්බන්ඩගෙ හරි ඇස් උඩ යනවා. හදමුද එහෙනම් ෆ්‍රෙන්ච් ඩිනර් එකක්?

1. Gougères (ගුජේයාහ්)

ස්ටාටර් එකකට මේක ගන්න පුළුවන්. සම්ප්‍රදායික ප්‍රංශ ගුජේයාහ් වලින් ඉන්ස්පයර් වෙලා ඊට වඩා පහසුවෙන් හදාගන්න ට්විස්ට් කරපු රෙසිපි එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය
  1. වතුර කප් 1
  2. ලුණු රහිත බටර් කප් 1/2
  3. ලුණු තේ හැඳි 1/2
  4. පාන් පිටි කප් 1
  5. ලොකු බිත්තර 5
  6. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කප් 1 1/2
  7. චොප් කරගත් පාස්ලි කොළ හෝ උළුහාල් කොළ (ඩිල් ලීව්ස්) මේස හැඳි 2 (සුපර්මාකට් වලින් ගන්න පුළුවන්
  • ඉඩකඩ තියෙන භාජනේකට වතුර, බටර් සහ ලුණු එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියල උතුරුවාගන්න. මේකට පිටි ටික එකවර එකතු කරගෙන ලී හැන්දකින් හොඳින් කලවම් කරගන්න. විනාඩි දෙකක් විතර වෙද්දි මේ මිශ්‍රණය ගුලියක් වගේ වෙලා භාජනයේ වටේ නොඇලෙන ගාණට එනව. ඒ පදමට ආවම ලිපෙන් ඉවත් කරල විනාඩි 3ක් 4ක් නිවෙන්න තියාගන්න.
  • ඊට පස්සෙ එකින් එක බිත්තර එකතු කරන ගමන් හොඳින් ලී හැන්දකින් ගසාගන්න. මුලින් මිශ්‍රණය එකතු වෙන බවක් නොපෙනුනාට දිගටම බීට් කරද්දි ඒ ගතිය හරි යනව. මේක මෘදු බැටර් එකක් ගානට බීට් වෙන්න ඕන. මේ මිශ්‍රණයට චීස් ටිකයි ඩිල් හෝ පාස්ලි කොල ටිකයි එකතු කරන් හොඳින් කලවම් කරගන්න.
  • බටර් ටිකක් තවරගත්ත බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාල, හදාගත්ත මිශ්‍රණය හැන්දකින් හෝ ස්කූප් එකකින් අඟලක පරතරයක් හිටින්න පොඩි පොඩි බෝල හැඩේට ඔයිල් පේපර් එක උඩින් තියාගන්න.
  • සෙල්සියස් 180ට පෙර රත් කරගත්ත උඳුනක විනාඩි 25ක් හෝ උඩ රන්වන් පාට වෙන තුරු බේක් කරගන්න.
2. Soupe à l’oignon (සූපා ලොනිඔන්)

ස්ටාටර් එකෙන් පස්සෙ සුප් එකක්. කියවන කොට දිව හැපෙන තාලෙ නමක් උනාට මේ අනියන් සුප් එකක්. ඒ කියන්නෙ ළූණු වලින් හදන සුප් එකක්. හරි ලේසියි හදන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ලුණු රහිත බටර් කප් 1/2
  2. ඔලිව් තෙල් මේස හැඳි 2 (නියම රස ගන්න ඔලිව් තෙල්ම ඕන උනාට එළවළු තෙල් උනත් ගන්න පුළුවන්)
  3. කපාගත් ළූණු කප් 4
  4. කැමති මස් වර්ගයක් තම්බා ගත් වතුර 300ml (හරක් මස් තැම්බූ වතුර තමා සුදුසුම)
  5. වියලි තයිම් තේ හැඳි 1 (සුපර්මාකට් වලින් ගන්න පුළුවන්)
  6. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු
  7. ගා ගත් මොසරැල්ලා චීස් කප් 3/4
  8. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් හෝ සාමාන්‍ය පාන් පෙති  4
  • ඔලිව් ඔයිල් ටිකයි බටර් ටිකයි පතුල ඝණකම භාජනේකට දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියල බටර් ටික දියකරගන්න. මේකට ළූණු ටික එකතු කරන් ළූණු ටික යන්තමින් රන්වන් පාට වෙනකම් විටින් විට කලවම් කරමින් ලිපේ තියාගන්න.
  • ළූණු රන්වන් පාට උනාම මස් තම්බාගත් වතුර, තයිම් සහ රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරන් අඩු ගින්දරේ විනාඩි 30ක් විතර ලිපේ තියෙන්න හරින්න.
  • ඊට පස්සෙ මේ සුප් එක අවන් කරන්න පුළුවන් සුප් බෝල් හතරකට දාගෙන ඒ එක සුප් බෝල් එකකට පාන් පෙත්ත බැගින් සුප් එක උඩින් තියාගෙන ඒකට උඩින් මොසරැල්ලා චීස් ඉසගන්න. කැමති නම් පාන් කැබලි කරල සුප් එකට උඩින් එකතු කරගන්නත් පුළුවන්.
  • චීස් ටික මෙල්ට් වෙනකම් සෙල්සියස් 120ට රත් කරගත්තු අවන් එකක තියල උණුවෙන්ම පිළිගන්වන්න.
  • අවන් කරන්න පුළුවන් සුප් බෝල් ගෙදර නැත්නම් පාන් පෙති වලට බටර් පොඩ්ඩක් ගාල ඊට උඩින් මොසරැල්ලා චීස් දාල අවන් එකේ රෝස්ට් කරන් සුප් එකත් එක්ක වෙනම පිළිගන්වන්නත් පුළුවන්.

3. Flaky Champignon and Cheddar Tartelette (ෆ්ලේකි ශාපිඥො ඇන්ඩ් චෙඩර් ටාටලෙට්)

මේක සයිඩ් එකක් හැටියට හෝ ස්ටාටර් එකක් හැටියටත් ගන්න පුළුවන් පේස්ට්‍රි එකක්. සැලඩ් එකක් එක්ක තමා සාමාන්‍යයෙන් පිළිගන්වන්නෙ. හරිම ලේසියි හදන්න නම්.

අවශ්‍ය ද්‍රව්‍ය
  1. පෆ් පේස්ට්‍රි ශීට් එකක් (සුපර් මාකට් එකකින් අඩු මිලකට ගන්න පුළුවන්)
  2. ඔලිව් තෙල් මේස හැඳි 2
  3. සිහින්ව ලියාගත් හතු 250g (කැමති හතු වර්ගයක් ගන්න පුළුවන්)
  4. කපාගත් ළූණු ගෙඩියක්
  5. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු
  6. වයිට් වයින් කප් 1/4
  7. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කප් 1
සැලඩ් එක සඳහා
  1. අබ ක්‍රීම් තේ හැන්දක්
  2. විනාකිරි තේ හැන්දක්
  3. ඔලිව් තෙල් මේස හැඳි 2
  4. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු
  5. ඉතා සිහින්ව කපාගත් රාබු/ ළූණු
  6. අතින් කැබලි කඩාගත් සලාද කොළ/ ලපටි බීට් කොළ
(සලාදයක් ලෙස කන්න ඔබ කැමති ඕනෙම එළවළුවක් සහ කොළ වර්ගයක් මේකට ගන්න පුළුවන්)

  • ඔලිව් ඔයිල් ටික භාජනේකට දාල සාමාන්‍ය ගින්දරේ රත් කරගන්න. ඒකට හතු සහ ළූණු එකතු කරගෙන, රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගෙන හතු ටික රන්වන් පැහැයට එනකම් විනාඩි 4ක් 5ක් තෙම්පරාදු කරගන්න.
  • එයටම වයින් ටික එකතු කරන් තවත් විනාඩියක් දෙකක් පමණ පිසගෙන ලිපෙන් ඉවත් කරගන්න. මේ මිශ්‍රණය සමාන කොටස් හතරකට බෙදාගන්න.
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි තුනී කරගෙන අඟල් 4×4 කොටු 4ක් කපාගන්න. ඒ පේස්ට්‍රි කොටු 4 මත චීස් වලින් භාගයක් ඉස ගන්න. එයට උඩින් සාදාගත් හතු මිශ්‍රණය දමා එයට උඩින් ඉතිරි චීස් ටික දමාගන්න.
  • බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක් මත ඔයිල් පේපර් එකක් දමා ඒ මත සාදාගත් පේස්ට්‍රි තබා සෙල්සියස් 200ට විනාඩි 20ක් බේක් කරගන්න.
  • සැලඩ් එක සඳහා එළවළු, කොළ හැර අනෙක් සියල්ල එකට හොඳින් මිශ්‍ර කරගන්න. එයට එළවළු සහ කොළ මිශ්‍ර කර පේස්ට්‍රි එක්ක පිළිගන්වන්න.
4. Ratatouille (රැටටුඊ)

මේන් ඩිශස් දෙකක්ම කියල දෙන්න හිතුව. මේ පළවෙනි එක රෑටාටුයි. මේ ඩිශ් එක, එක එක්කෙනාගෙ කැමැත්ත අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන ඩිශ් එකක්. මේ නමින් ආපු ඇනිමේශන් ෆිල්ම් එකක් සෑහෙන ජනප්‍රිය උනා මතකත් ඇති කට්ටියට. මේක වෙජිටේරියන් කෙනෙක්ට උනත් කන්න පුළුවන්. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්, පාස්ටා හෝ ස්පැගටි වගේ දේවල් වලින් එකක් එක්ක පිළිගන්වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
  1. ඔලිව් තෙල් මේස හැඳි 3
  2. සිහින්ව කපාගත් ළූණු ගෙඩියක්
  3. සිහින්ව පෙති කපාගත් සුදු ළූණු බික් 4
  4. අඟල් 1/2 පමණ කොටු කපාගත් වම්බටු කප් 3
  5. දික් අතට සිහින් පෙති කපාගත් කුඩා සුකිනි ගෙඩියක්
  6. තීරු කපාගත් රතු බෙල් පෙපර් 1
  7. චොප් කරගත් තක්කලි ගෙඩි 2
  8. බේ ලීව්ස් එකක්
  9. ලුණු තේ හැන්දක්
  10. නැවුම්ව කුඩු කරගත් ගම්මිරිස් රස අනුව
  • ඔලිව් තෙල් ටික භාජනයකට දමා රත් වෙන්න හැර එයට සුදු ළූණු, ළූණු සහ බේ ලීව් එක දමා ළූණු ටික මෘදු වන තුරු තෙම්පරාදු කරගන්න.
  • එයට වම්බටු ටික එක් කර වම්බටු පිසෙන තුරු විනාඩි 8ක් පමණ විටින් විට කලවම් කරමින් පිසගන්න. ගම්මිරිස් හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම ඉන්පසු එකතු කරගෙන තවත් විනාඩි 5ක් 6ක් පමණ කලවම් කරමින් ලිපේ තියාගන්න.
  • අවසානයට ගම්මිරිස් එක් කර ලිපෙන් ඉවත් කරගන්න. බුල්සයි කරගත් බිත්තරයක් සමඟ පාස්ටා හෝ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් සමඟ පිළිගන්වන්න.

5. Eggs en Cocotte with a Basque Pipérade (එග්ස් ඔන් කොකට් විත් අ බාස්ක් පායිපරේඩ්)

උඩින් තියෙන නමට අයිති රෙසිපි එකේ හැම් එන්නෙ නෑ. හැබැයි මේ ක්‍රමේටම බිත්තර වෙනුවට හැම් දාල හදන Basque Pipérade රෙසිපි එකකුත් තියෙනව. මේ කියන්නෙ හැම් සහ බිත්තර දෙකම දාල හදන රෙසිපි එකක්. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්, පාස්ටා හෝ ස්පැගටි වගේ දේවල් වලින් එකක් එක්ක පිළිගන්වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
  1. උණු වතුරේ දමා පොතු ඉවත් කරගත් තක්කලි 350g
  2. තක්කලි පියුරේ කප් 2
  3. රතු බෙල් පෙපර් 4ක්
  4. කපාගත් ළූණු ගෙඩියක්
  5. සිහින්ව පෙති කපා ගත් සුදුළූණු බික් 10ක්
  6. පැප්රිකා හෝ මිරිස් කුඩු තේ හැඳි 2 1/2
  7. බේ ලීව්ස් 2
  8. ලුණු තේ හැන්දයි
  9. ගම්මිරිස් කුඩු තේ හැන්දයි
  10. සීනි තේ හැන්දයි
  11. ඔලිව් තෙල් කප් 3/4
  12. බිත්තර 4
  13. කුඩා තීරු කපා බැදගත් හැම් කප් 1
  • ඔලිව් තෙල් ටික භාජනයකට දමා රත් වෙන්න හැර එයට බෙල් පෙපර්, සුදු ළූණු සහ ළූණු එක් කර ළූණු විනිවිද පෙනෙන ගාණට එන තුරු විනාඩි 6ක් පමණ තෙම්පරාදු කරගන්න.
  • එයට බේ ලීව්ස්, පැප්රිකා, මිරිස්, ලුණු සහ ගම්මිරිස් එක් කර කලවම් කර සුවඳ හමන තුරු තෙම්පරාදු කරගන්න.
  • එයට පොඩි කරගත් තක්කලි සහ තක්කලි පියුරේ එක් කර එයටම සීනි එක් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසු අඩුම ගින්දරේ විනාඩි 20ක් 25ක් පමණ පිසගන්න.
  • විනාඩි 20කට පමණ පසු මෙයට හැම් එකතු කර කලවම් කර තැන් හතරකින් හිඩැස් හතරක් සාදා ඒවාට බිත්තර කඩා දමාගන්න. පියනකින් වසා බිත්තර භාගෙට තැම්බෙන තුරු තබා ලිපෙන් ඉවත් කරගන්න.
6. Vanilla Crème Brûlée (වැනිලා ක්‍රෙම් බෘලෙ)

මේ සේරම කෑවට පස්සෙ ඉතින් කට පැණි රහ කරගන්න ඩෙසර්ට් එකක් නැතුවම බෑනෙ. ඊටත් ඩිනර් එක සම්පූර්ණ වෙන්න නම් ඩෙසර්ට් එකක් ඕනමයි. මේ ඊසි ඩෙසර්ට් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය
  1. මිල්ක් මේඩ් කප් 1
  2. බටර් කප් 1/3
  3. ෆ්‍රෙශ් මිල්ක් කප් 3/4
  4. බිත්තර 5
  5. වැනිලා තේ හැඳි 1 1/2
  6. සුදු සීනි මේස හැන්දයි
  7. දුඹුරු සීනි මේස හැඳි 2
  • භාජනයක් ලිප තබා එයට බටර් ටික එකතු කරගන්න. බටර් දියවේගෙන එන විටම ලිපෙන් ඉවත් කර එයට කිරි එකතු කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබාගන්න.
  • සුදු සීනි ටික බිත්තර සමඟ සීනි දියවන තුරු හොඳින් බ්ලෙන්ඩ් හෝ බීට් කරගන්න.
  • මිල්ක්මේඩ් ටික කලින් සාදාගත් කිරි මිශ්‍රණයට එක් කර හොඳින් විස්ක් කරගෙන එයට සීනි එක්කර ගත් බිත්තර සහ වැනිලා එක් කර කලවම් කරගන්න.
  • පුඩින් මිශ්‍රණය බේක් කරගන්න පුළුවන් භාජනයකට දමා එය වතුර දමාගත් තැටියක් ඇතුලෙන් තබා සෙල්සියස් 160ට පෙර රත් කල උඳුනක විනාඩි 30ක් බේක් කරගන්න. හොඳින් නිවෙන්නට හැර එයට උඩින් දුඹුරු සීනි ඉස නැවත විනාඩි 15ක් බේක් කරගන්න. හොඳින් නිවුනු පසු ශීතකරණයේ තබා කූල් කර පිළිගන්වන්න.



gossip lanka