පුංචි වෙලාවකින් නැවුම් පෙනුමක් ලබා ගැනීමට රූපලාවන්‍ය ඉඟි

යුවතියකට හදිසියේ හැඩ වෙන්න අවශ්‍ය වෙන මොහොතවල් උදා වෙන අවස්ථා තිබෙනවා. කලින් යොදා ගත් උත්සවයක් වැනි අවස්ථාවකදී නම් ඔබට පුළුවන් හොඳින් ලෑස්ති වෙලා යන්න. නමුත් එදිනෙදා ජීවිතයේදී අපිට හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට වෙනවා. මේ ලිපිය මඟින් අප එවැනි අවස්ථාවකට මුහුණ දෙන ඕනෑම යුවතියකට
ගැලපෙන පුංචි ටිප්ස් කීපයක් ඉදිරිපත් කරනවා.



හිස කෙස් වලින් කොටසක් පිරිසිඳු කර ගැනීම

තෙල් සහිත කෙස් කළඹකට පුළුවන් ක්ෂණිකව ඔබේ පෙනුම වෙනස් කර දමන්න. ඔබට ස්නානය කිරීමට හැකියාවක් ඒ මොහොතේ නැති වෙන්න පුළුවන්. එවැනි මොහොතකදී හිස කෙස් නළල පෙදෙසින් වෙන් කරගෙන පහතට කර පොනිටේලයක් දමා කොටසක් සෝදන්න. හිසේ වියළි හිස කෙස් තිබෙන නිසා සියල්ල වියළීමට වැඩි වෙලාවක් ගත වන්නේ නැහැ. ඉන්පසු හිස කෙස් ඉහලට කර පොනිටේලයක් දමන්න.

නියපොතු පිරිසිඳු කර ගැනීමට ක්ෂණික ක්‍රමයක්

ඔබට හදිසියේ නියපොතු පිරිසිඳු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඔබ වත්තේ වැඩක් කරමින් සිටින විට හදිසි රැස්වීමක් සඳහා කැඳවීමක් ලැබුනා යැයි සිතන්න. ඔබට තිබෙන විසඳුම උණු වතුර භාජනයක් සහ දත් බුරුසුවකුයි. උණු වතුර බඳුනට දෑත් බහා විනාඩි 5 – 10ත් අතර සිටින්න. ඉන්පසුව දත් බුරුසුව යොදා නියපොතු සහ සම මත අතුල්ලා ගන්න. එවිට අපද්‍රව්‍ය සහ මැරුණු සම පහසුවෙන් ඉවත් වෙනවා.

ඔබේ අවපැහැ ගැන්වුණු අඩි උස සෙරප්පු යුගලට අලුත්ම පෙනුමක්

නොසැලකිලිමත් සහ අනාරක්ෂිත ලෙස පාරේ ඇවිදීම නිසා ඔබේ සෙරප්පු වල පෙනුම විනාශ වෙලාද? මේ දේ වුණේ හදිසි අවස්ථාවකදී නම් සහ ඔබට නව සෙරප්පු යුගලක් මිලදී ගැනීමටත් වෙලාවක් නැති නම්, මේ වගේ වෙලාවක ඔබේ උදව්වට එන්නේ හෑන්ඩ් ක්‍රීම්. ඔබට පුළුවන් සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් ස්වල්පයක් සෙරප්පු යුගලේ ගල්වා අවපැහැ ගැන්වීම ඉවත් කර ගෙන පැය කීපයකට නැවුම් පෙනුමක් ලබා ගන්න.

විනාඩි දහයකින් බඩ අඩු කර ගන්න

රෑ වැඩියෙන් කාපුවම සමහර වෙලාවට උදේට බඩ වැඩි වෙන අවස්ථා තිබෙනවා. ඩෙනිමේ සිප් එක දමා ගැනීමට නොහැකි වීම තමයි උදේට ගොඩක් යුවතියන්ට මුහුණ දෙන්න වෙන ගැටළුව. මේ වගේ වෙලාවක ඔබට කළ හැකි පුංචි ව්‍යායාමයක් තිබෙනවා. උරහිස් පළල් කරගෙන කෙලින් සිට ගන්න. ඉදිරිය දෙස බලාගෙනම සෙමින් දණහිස් නැවෙන සේ බිමට පාත් වෙන්න. මෙසේ වාඩි වීම, නැඟිටීම එක දිගට විනාඩි 10ක් පමණ සිදු කළ විට බඩ අඩු වෙනවා. මෙම ව්‍යායාමය දිනපතා කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකියි.

අවුල් වුණු කොණ්ඩය සිත් ඇද ගන්නා සුළු ලෙස පීරා ගන්න

සමහර වෙලාවට කොණ්ඩය අවුල් වෙලා, කෙස් අග වියළි ස්වභාවයක් පෙනෙන්නට තිබෙන අවස්ථා ඇති වෙනවා. බොහෝ විට මෙය සිදු වන්නේ දවස පුරා අව්වට හෝ දුවිළි වලට නිරාවරණය වී සිටීම වැනි හේතූන් නිසායි. හවසට ඔෆිස් එකෙන් එලියට බහිද්දී සිත් ඇද ගන්නා සුළු ලෙස සැරසිලා එලියට බහින්න ගොඩක් යුවතියන් උනන්දු වෙනවා. මෙවැනි අවස්ථා වල ඔබේ උපකාරයට පැමිණෙන්නේ පනාවක් සහ තෙල් ස්වල්පයක්. ඔබට කරන්නට තිබෙන්නේ ඔබේ පනාවේ දත් අතරට තෙල් ගැල්වීමයි. ස්ප්‍රේ කළ හැකි තෙල් බෝතලයක් ඔබ සතු නම් පනාවේ දැති අතරට තෙල් ස්ප්‍රේ කිරීම ඉතා පහසු වෙනවා. ඉන්පසු තෙල් සහිත පනාවෙන් ඔබේ හිස කෙස් පීරන්න. ඔබේ හිස කෙස් වල තිබුණු වියළි පෙනුම නැති වී, සිත් ඇද ගන්නා සුළු පෙනුමක් ලැබේවි.

මුහුණ මත ඇති වී තිබෙන විශාල කුරුලෑවක් බස්සවා ගැනීමට

හිටපු ගමන් ඔබේ මුහුණ මත විශාල කුරුලෑ ඇති වෙන අවස්ථා ඇති. නාසය මත, ඇස යට වගේ ලොකු කුරුලෑවක් ඇති වුණාම අන් අයගේ ඇස් වලට එය පහසුවෙන් හසු වෙනවා. මේ වෙලාවේදී ඔබට අවශ්‍ය වන්නේ පුළුන් කැබැල්ලක් හා ඇසට දමන බෙහෙත් බෝතලයක් (eye drop). මේ බෝතලය ශීතකරණයේ මඳ වේලාවක් තබන්න. ඉන් පසුව පුළුන් කැබැල්ලකින් එයින් බින්දුවක් ගෙන කුරුලෑව මත තබන්න. මේ ප්‍රතිකර්මය ඔබේ රුධිර නාල පටු කර කුරුලෑවේ ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරනවා.

අතේ ඉඳුල් ගඳ යවා ගැනීමට

ඔබ මාළු, සැමන් වැනි දෙයක් ආහාරයට ගත් විට ඔබේ අතට පිලී ගඳක් එක් වෙනවා. එමන්ම ළුණු, සුදු ළුණු වැනි යමක් කැපු විටත් අත් ගඳ ගසනවා. සමහර වෙලාවට කිහිප වරක් සබන් යෙදුවත් මේ ගඳ නැති වෙන්නේ නැහැ. මේ ගඳ එකවරම යවා ගැනීමට ඔබට උපකාර වන්නේ ටූත් පේස්ට්. ටූත් පේස්ට් ස්වල්පයක් යොදා සබන් ගානවා වගේ ඔබේ අත් දෙක අතුල්ලමින් සෝදා ගන්න. ගඳ ඉක්මනින් නැති වෙනවා.

- tharunaya.com



gossip lanka