දරුවා ලෙඩ කළ අම්මාගේ ආතතිය

විවාහය තුළ ඇතිවන ආදරය සහ ලෙන්ගතුකම වැදගත් වන්නේ ඔබට ජීවිතය විඳීමට පමණක් නොවන අතර ඉන් ඔබ ළඟ වැඩෙන දරුවාට යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍යයත් ද ලැබෙනවා. දරුවා පිළිබඳ ඔබට අපූරු චමත්කාරජනක සිහින තිබෙන බව අපි කවුරුත් දන්නවා. දරුවා වෛද්‍යවරයෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් කරන්න. මේවා තමයි ඔබේ සිහින. ඔබ බොහෝවිට සිතන්නේ මේ
සිහිනවලට දරුවා රැගෙන යන්න අවශ්‍ය එකම මාධ්‍යය අධ්‍යාපනය පමණක් කියලා. නමුත් පූර්ව ළමා වියේ මානසික වර්ධනය ශක්තිමත් පෞරුෂයක් ඇති දරුවකු හදන්න ඉතාම වැදගත් සාධකයක් බව ඔබ නොදන්නවා ඇති. මෙම මානසික වර්ධනයට දෙමාපියන්ගේ හැසිරීම් රටා කොතරම් දුරට බලපානවද කියලා අපි සොයා බලමු.

මවගේ සතුට හෝ දුක පුංචි දරුවාගේ මානසික වර්ධනයට කෙසේ බලපාන්නේ දැයි බොහෝ සමීක්ෂණවලින් අද සොයාගෙන ඇත. මෙහිදී මානසික අවපීඩනය යන රෝගී තත්ත්වය ඉතාම වැදගත් තැනක් ගනී. මානසික අවපීඩනය සියලුම මානසික රෝග අතරින් බහුලව දක්නට ලැබෙන මානසික රෝගයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි සෑම පස්දෙනකුගෙන් එක්කෙනකුට මෙම රෝගී තත්ත්වය වැළඳීය හැකි බව අවධාරණය කරයි. වසර 2020 වන විට සියලුම රෝග අතරින් මානසික අවපීඩනය දෙවන ස්ථානයට පැමිණෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. මවක් මෙම පීඩනයට ගොදුරු වීමට හේතු රාශියකි. සැමියා සමඟ නිතර රණ්ඩු දබර ඇතිවීම, කුඩා කල අපයෝජනයට ලක් වීම සහ ජානමය හේතුය. මෙසේ අවපීනඩයට ගොදුරු වන මවකට සිටින කුඩා දරුවකුට ඇති වන මානසික දුර්වලකම ගැන කරන ලද සමීක්ෂණවලින් ඩැනියල් ස්ටර්න් (Daniel Stern) නම් මනෝ විද්‍යාඥයා ඉතා ඉහළ පිළිගැනීමකට ලක්වී ඇත. ඩැනියල් ස්ටර්න්ගේ මනෝ විද්‍යාත්මක සොයාගැනීම් පාවිච්චි කරමින් මානසික අවපීඩනයට ගොදුරු වූ මව්වරු සහ ඔවුන්ගේ කුඩා දරුවන් අතර සිදුවන සන්නිවේදනය වීඩියෝ කර එහි ස්වභාවය අධ්‍යයනය කර ඇත. මෙහිදී සොයාගත් වැදගත්ම කරුණ වූයේ එම දරුවන් නිසි ලෙස මානසික උත්තේජනයකට පත් නොවන බවයි. මෙහිදී දරුවන්ට ඇතිවන දිගු කාලීන ප්‍රතිඵල වනුයේ

¤ ප්‍රචණ්ඩ සහ ආවේගශීලී හැසිරීම් රටාවන්ට ගොදුරු වීම.

¤ නිතරම බියෙන් සහ ආතතියෙන් පෙළීම.

¤ පහසුවෙන් ජීවිතය එපා වීම සහ කලකිරීමට ගොදුරු වීම.

¤ කතාව සහ ලිවීමේ දුබලතා ඇති වීම.

¤ බුද්ධිමය සහ අධ්‍යාපනික හැකියාවන් අඩු වීම.

ඉහත කරුණුවලින් පෙනී යන්නේ කුඩා දරුවකු සිටින මවක් සතුටින් තැබීම දරුවාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට ඉතාම වැදගත් බවයි. මෙය පුංචි කතාවක් ඇසුරෙන් බලමු.

සුපුන් අපි ළඟට යොමු වූ අවු. 3 2/1ක් වයසැති පුංචි දරුවෙක්. සුපුන්ට තිබූ ගැටලුව ඔහුගේ මව මෙසේ විස්තර කළාය.

“සුපුන් ඉපදුනේ සාමාන්‍ය විදිහට. බර 3kg ක් තිබුණා. ඉපදුනාට පස්සේ හොඳට ඇඬුවා. වෙලාවකට හිනා වුණා. ඇවිදීම, කතාව නිසි පරිදි සිදු වුණා. නමුත් දැන්මාස 6ක සිට දරුවාගේ හැසිරීම හොඳටම වෙනස් වුණා. හරිම ආවේගශීලීයි. අධික ලෙස කේන්ති යනවා. තරහා ගියාම තමන්ගේ අත තමන් විසින්ම හපාගන්නවා. රෑට නින්දෙන් ඇඳේ චූ දානවා. අඬනකොට නවත්තගන්න බෑ. එක දිගට අඬනවා. නිතර ගොත ගහනවා. කෑම කන්නෙම නැති තරම්. දැන් බරත් අඩු වෙලා.”

සුපුන්ට මෙහෙම වුණේ ඇයි? දැන් අපි ගෙදර පරිසරය දෙසට හැරෙමු. ගෙදර පරිසරය ගැන සුපුන්ගේ මව තවදුරටත් මෙහෙම පැවසුවා.

“අපි බැඳලා අවු.6ක් වෙනවා. මගේ ස්වාමියා හොඳ කාර්මිකයෙක්. ඔහුට හොඳ ආදායමකුත් තිබෙනවා. අපි දෙන්නා බැන්ද දවසේ ඉඳලා නිතරම ප්‍රශ්න. Husband ට ගොඩක් කේන්ති යනවා. මහත්තයා කැමති නෑ කිසි කෙනකුට උදව් කරනවට. මම මගේ අම්මලාට අපේ පවුලට කෑම හදලා දෙනවට එයා අකමැතියි. මම අම්මලාගේ ගෙදර යනවටවත් කැමති නෑ. එයා නිතරම කියන්නේ එයා හම්බ කරන දේවල් මම මහ ගෙදරට දෙනවා කියලා. එයා හරිම ගුප්තයි. හරිම ආත්මාර්තකාමියි. බබා හදාගත්තෙත් මගේ කැමැත්තට. ඔහු මුලින් කීවේ බබෙක් අවශ්‍ය නෑ කියලා. මගේ පෙරැත්තයට තමයි බබා හදාගත්තේ. ඔහුට යාළුවොත් නෑ. තනියම  හුදෙකලාව ඉන්න තමයි ආස. අපි දෙන්නා අතර ඇතිවන රණ්ඩු නිතරම දරුවා දකිනවා. දරුවා හුඟක් වෙලාවට බය වෙනවා.”

අපි ඇයගෙන් තවදුරටත් කරුණු විමසුවා. ඇගේ පීඩනය ඇය මෙසේ පැවසුවා.

“මම බයෙන් ඉන්නේ කොයි වෙලාවෙ මෙයා ඇවිලෙයිද කියලා. මට මගේ අම්මා තාත්තාට සලකන්න බැරිනම් ඔවුන් ආශ්‍රය කරන්න බැරි නම් මොකද්ද මේ ජීවිතේ කියලා මට නිතරම හිතෙනවා. මට දැන් ඇඟට පණ නෑ. කිසිම දෙයක් ආසාවෙන් කරන්න හිතෙන්නෑ. සැමියා සමඟ ලිංගිකව එකතු වෙන්නවත් හිතෙන්නෑ. මැරිලා ගියානම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. ඒත් බබා නිසා මම එහෙම කරගන්නෑ.”

මව සහ පියාගේ රණ්ඩු දබර සහ මවගේ මානසික අවපීඩනය දරුවාගේ ජීවිතයට බලපෑ අයුරු මෙම කතා දෙකෙන් පැහැදිලි වේ. ශක්තිමත් නිරෝගී දරුවකු ඇතිදැඩි කිරීමට මව සතුටින් තැබීමේ ඇති වැදගත්කම ද ඔබට පැහැදිලිය.
මෙහි එන මව පියා සහ දරුවා මෙම මානසික පීඩනයන්ගෙන් එළියට ගැනීමට භාවිතා කළ මනෝ විද්‍යාත්මක ක්‍රියාදාමයන් පහත විස්තර වේ.

මව සහ පියාට මනෝ අධ්‍යාපනය (Psychoeducation) ලබා දීම.

මෙහිදී පියාගේ ඊර්ෂ්‍යාසහගත ආත්මාර්ථකාමී සිතුවිලි ක්‍රමානුකූලව ඔහුට අවබෝධ කර ගැනීමට සැලැස්වීම. නිතර රණ්ඩු දබර වීම නිසා දෙදෙනාම ජීවිතය විඳවන අකාරය අවබෝධ කරගැනීමට ඔවුන් දෙදෙනාටම හැකි වීම. මව මානසික පීඩනයට ගොදුරු වී ඇත්තේ පියාගේ හැසිරීම නිසාය. අසතුටින් සහ දුකෙන් සිටින මවගේ පීඩනය නිසා දරුවාගේ හැසිරීම වෙනස් වී දැඩි ආතතියකට ගොදුරු වී ඇති අයුරු දෙදෙනාටම අවබෝධ කරදීම.

මානසික අවපීඩනයට ගොදුරු වී සිටින මවට ඖෂධ ප්‍රතිකාර ලබා දෙ ලදී. සති දෙකක් යාමටත් පෙර මවගේ දුක කලකිරීම සහ එපාවීම 70%කින් පමණ අඩුවීය. දෙදෙනා අතර සම්බන්ධතාවය ද දියුණු විය.

දරුවාට ලබාදුන් මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම

මෙම දරුවා දැඩි ආතතියකට ගොදුරු වී ඇත. එම ආතතිය අවම කිරීමට පහත ආකාරයට හැසිරීම් ප්‍රතිකාර ක්‍රමවලට දෙමාපියන් පුරුදු කරවීය.

ප්‍රසංශා කිරීම 
(Give Praise)

මෙය දරුවාගේ ආතතිය අවම කිරීමට ඉතා හොඳ ප්‍රතිකාර ක්‍රමයකි. දරුවා යම් හොඳ දෙයක් කළ විට එවලේම එම ක්‍රියාවට ප්‍රසංශා කළ යුතුය.

Ex- දරුවා ඔබට වීදුරුවකට වතුර එකක් ගෙනාවා යැයි සිතමු. එවලේම දරුවා සිපගැනීම සහ වාචිකව ඇගයීම කළ හැකිය.

සිනහව
(Smiles)

දරුවාගේ හොඳ හැසිරීමකට ඔබගේ සිනහව එම හැසිරීම තවත් ශක්තිමත් කරයි. නමුත් යම් නරක හැසිරීමකදී ඔබගේ සිනහව හෝ අවධානය එම නරක හැසිරීම තවත් වැඩිදියුණු කරයි. මේ ගැන ප්‍රවේසම් වන්න.

දරුවා සමඟ සෙල්ලම් කිරීම
(Ask to play)

දරුවා ආශා කරන සෙල්ලමක යෙදෙන විට ඔබද එයට සහභාගී වෙන්න. ඔබද දරුවාගේ වයසේ යැයි මොහොතකට සිතන්න. මෙය ඔබ සහ දරුවා අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ඉතාම වැදගත් මනෝ විද්‍යාත්මක ක්‍රමයකි.

ස්පර්ශ කිරීම
(Positive Touch)

ස්පර්ශ කිරීම හා වැළඳගැනීම ඉතාම හොඳ සන්නිවේදන ක්‍රමයක්. දරුවාගේ හොඳ හැසිරීමකට පසු දරුවා ළගට ගෙන සිපගැනීම හෝ වැළඳගැනීම තුළින් එම හැසිරීම තවදුරටත් ශක්තිමත් වන අතර එය තවදුරටත් කිරීමට දරුවා පෙළඹේ.

අනුකරණය
(Imitation)

දරුවාගේ සමහර හැසිරීම් දෙමාපියන් විදිහට ඔබට නැවත කර එය දරුවාට පෙන්වීමට පුළුවන. ඉන්පසු එය නැවත නැවත කිරීමට දරුවා පෙළඹේ.

වැරදි හැසිරීමට අවධානය නොදීම
(Ignoring)

වැරදි හැසිරීමට අවධානය දීම බොහෝ දෙමාපියන් අතින් සිදුවන වරදකි. දරුවාගේ වැරැද්දකට ඔහු සමඟ තරහා ගැනීම, නිතර “එපා” හෝ “නෑ” කීම තුළින් එම වැරදි හැසිරීම තවදුරටත් වැඩි වේ. ඔබ කළ යුත්තේ දරැවාගේ වැරදි හැසිරීමකදී ඒ දෙස නොබැලීම, ඉන් ඉවත්ව යාම හෝ වෙනත් අවධානයකට දරුවා යොමු කිරීම.

මව පියා සහ දරුවා ප්‍රතිකාර සහ උපදේශනයට යොමු කිරීම තුළින් ටිකෙන් ටික සියලුම ගැටලු අඩුවී යථා තත්ත්වයට පැමිණියේය. දරුවාගේ ආවේගශීලී හැසිරීම අවම වී ගොත ගැසීම ද නැති වී හුරතල් දරුවෙක් බවට පත්විය. මවගේ මානසික අවපීඩන තත්ත්වය නැති වී ජීවිතයට ආශාව ඇති වී පවුල් ජීවිතය සතුටින් ගෙවන තත්ත්වයට පත්විය. පියාගේ ආත්මාර්ථකාමී බව අවම වී මවට තම දෙමාපියන් ඇසුරට හා උදව් කිරීමට අවස්ථාව ලබා දුනි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

gossip lanka