බය නැතුව “නැහැ”, “බැහැ” කියන්න ඵලදායී ක්‍රම 04 ක්

ගොඩක් දෙනා “නැහැ”, “බැහැ” කියන වචන දෙක කියන්න හරිම බයයි. අනිත් කෙනා අමනාප වෙයි කියලා බයට සමහරු හැම දේටම “හා” කියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඔබ ඔබේ ජීවිතය ඒ හරහා නාස්ති කර ගන්නා බව ඔබ දන්නවාද? ඔබ ඔබේ ජීවිතය තුල ඔබ කැමති දේ කිරීමට ඇති හැකියාව අවහිර කර ගනිමින්, ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට ඇති අවස්ථාව නැති කර ගන්නවා. අන් අය කැමති, ඔබ අකමැති දේවල් කිරීමට ඔබ
පෙළඹෙන්නේ ඇයි? ඉතින් අද අපි තීරණය කළා අපේ වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

01. ඔබේ ප්‍රමුඛතාවයන් හඳුනා ගන්න
ඔබ යමක් ප්‍රතික්ෂේප කිරීමට සිතෙනවා නම්, ඔබට එසේ සිතෙන්නේ වෙනත් යමක් ඔබේ ජිවිතයේ ප්‍රමුඛතාවක් ගන්නා නිසායි. මේ නිසා ඔබ ප්‍රථමයෙන්ම ඔබේ ජිවිතයේ ප්‍රමුඛතා හඳුනා ගත යුතුයි.

උදා : මිතුරන් සමඟ විනෝද චාරිකාවක් යාමට වඩා ඔබ නිවසට වී පොතක් බැලීමට ප්‍රිය කරනවා නම්, එතැනදී ඔබේ ප්‍රමුඛතාවය ඔබේ නිදහස විය හැකියි. නමුත් නිවසට වී පොත් කියවනවාට වඩා ඔබ ඔබේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් බැලීමට යාමට ප්‍රිය කරනවා නම්, එතැනදී ඔබේ ප්‍රමුඛතාවය හිමි වන්නේ ඔබේ පෙම්වතා සමඟ ගත කරන කාලයටයි.

ඔබ ඔබේ ප්‍රමුඛතාවයන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එවිට ඔබ ප්‍රතික්ෂේප කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද යන්න තීරණය කර ගැනීමට ඔබට මනා හැකියාවක් ලැබෙනවා. නැතිනම් ඔබ සිතේ දෙගිඩියාවෙන් යුතුව හැම දෙනාගේම ඉල්ලීම් වලට කැමති වීම වළක්වා ගත නොහැකියි.

02. සැනසිලිදායක තීරණයක් ලබා දෙන්න
යමක් ප්‍රතික්ෂේප කිරීමේ පහසුම මාර්ගය ප්‍රතික්ෂේප කරන ගමන්ම වෙනත් පොරොන්දුවක් ලබා දෙන්න.

උදා : ඔබව හමු වීමට ඔබේ මිතුරියකට අවශ්‍ය නම්, ඔබට ඊට වඩා වැදගත් යමක් කිරීමට ඒ මොහොතේ තිබෙනවා නම් මෙසේ කියන්න.

“මේ සතියේ නම් බැහැ, ඊළඟ සතියේ අනිවාර්යයෙන්ම හමු වෙමු.”
එවිට ඔබට පුළුවන් ඊළඟ සතියේ පහසු වේලාවක් කල් තියාම සූදානම් කරගෙන ඇයව හමු වන්න.

03. උපකාර ඉල්ලන්නාට අනුකම්පා කරන්න
ඔබෙන් උපකාරයක් යමෙක් අපේක්ෂා කළත්, ඔබ කාර්යබහුල යැයි සිතන්න. ඔබ අනෙකාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යුත්තේ සිත රිදෙන ආකාරයෙන් නෙවෙයි. සිත රිදෙන සේ ප්‍රතික්ෂේප කිරීම නිසා මිතුදම් පළුදු වෙනවා. අනෙකා සිටින තත්වය තේරුම් ගන්න. එමෙන්ම ඔබ අනෙකාව තේරුම් ගත බව අඟවන්න.

උදා : ඔබේ ජිවිතයේ ඉතා කාර්යබහුල අවධියකදී ඔබේ මිතුරියක් ඇගේ විවාහයට උදව් කිරීමට ඔබට ආරාධනා කළා යැයි සිතන්න. එවැනි අවස්ථාවකදී මෙසේ පවසන්න.

“මට ඔයා ඉන්න තත්වය තේරෙනවා. ඒත් මට ඒ දේ කරන්න අමාරුයි.”
එමෙන්ම ඔබේ මිතුරා සිටින්නේ කිසියම් ගැටලුවකට මුහුණ දී නම්, එයින් ඉක්මනින් සහනය ලැබෙන සේ ඔබ ප්‍රාර්ථනා කරන බව පවසන්න. එමඟින් ඔබේ මිතුරාගේ සිතේ සහනදායි හැඟීමක් ඇති කරන අතර, ඔබේ ප්‍රතික්ෂේප කිරීම සතුටු සිතින් භාර ගැනීමට ඔහුට හැකි වෙනවා.

04. පුද්ගලයා නොව, ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න
යමෙකුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන විට ඔබ ප්‍රතික්ෂේප කලේ තමාව නොව, තමාගේ ඉල්ලීම බව අනෙකාට දැනෙන්නට ඉඩ දෙන්න. ඔබ යමක් ප්‍රතික්ෂේප කරන්නේ එය ඔබට කිරීමට නොහැකි නිසා මිස, ඔබ ඉල්ලීම කරන්නා සමඟ ඇති ගැටළුවක් නිසා නොවන බව ඔබේ ප්‍රතික්ෂේප කිරීමේ වචන වලින් හෙළි විය යුතුයි.

උදා : යමෙකු ඔබට විනෝද චාරිකාවක් යෑමට ආරාධනා කරනවා නම් මෙසේ පවසන්න.

“ශා. හොඳ අදහසක්. ඒත් මට එන්න අපහසුයි.”
විනෝද චාරිකාවක් යෑම කියන්නේ ඔබේ දැක්ම අනුව හොඳ අදහසක් වුවත්, ඔබ ඒ සඳහා සහභාගී වීමට අකමැති බව එයින් හෙළි වෙනවා

- tharunaya.com




gossip lanka