අසන්නන් දොයිය බබා කරන්නේ නැතුව Presentation එකක් කරන්නේ මෙහෙමයි

විධායක තියා මොන ශ්‍රේණියේ රැකියාවක් කලත් ඉස්සර වගේ තමන්ට අයිති මෙන්න මෙච්චරයි, මෙතනින් එහාට මට අයිති නැහැ කියලා ඉන්න බැහැ. අද කාලේ සුදුසුකම් මොනවා උනත් වැඩකාරයාට තමා තැන තියෙන්නේ. ඉතින් නිකම්ම විෂයානුබද්ධ ටෙක්නිකල් මොලයක් දැනුමක් තිබ්බට මදි. ඒවා තමන්ගේ සේවකයින්ට වෘත්තීය මිතුරන්ට ඉදිරිපත් කරද්දී ඒ අයට දැනෙන්න කියන්න පුළුවන් වෙන්නත් ඕනේ.
නිකමට හිතන්න ඔයා ඉන්නේ සේවකයින්ගෙන් පිරුණු විශාල ශාලාවක ලොකු තිරයක් ඉස්සරහ. ඔයා කොහොමද ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නේ? ප්‍රොජෙක්ටරයක්, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන්
එකක් තිබ්බට මදි ඉදිරිපත් කිරීමක් සාර්ථකව කරන්න. එතනින් එහා හිතන්නොනේ දාහක් දේවල් තියෙනවා. අද අපි කියන්න යන්නේ අන්න ඒවා ගැන.

01. වැඩේ කොතනින්ද හිරවෙන්නේ කියල දැනුවත් ද?

සමහර අය නම් කියන්නේ පිරිසක් ඉස්සරහ කතා කරනවට වඩා මැරෙන එක ලේසියි කියලයි. ඒ තරමට සමහර අය නොසන්සුන් බවට පත් වෙනවා. මේ නොසන්සුන් වීම අඩු වැඩි විදියට හැම ඉදිරිපත් කරන්නා තුලම තියෙනවා. ඒක නැහැ කිව්වොත් බොරුවක්. සමහර විට ඒ නොසන්සුන් බව කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්.


  • තමන්ට කතා කරන්න තියෙන මාතෘකාවේ ස්වභාවය.
  • තමන් කතා කලයුතු අසන්නන් පිරිසේ ප්‍රමාණය.


මොනම වෙලාවක වත් ඒ නොසන්සුන් වීම, ඒ හිරවීම ඔබව අක්‍රිය කරන්නට ඉඩ දෙන්නට එපා. ඒ නොසන්සුවිම ඔබව අක්‍රීය කරවනවා වෙනුවට මේ ඉදිරිපත් කිරීම කරන්නට දිරියක් වෙන තැනට පත් කරගන්න.

02.ඉදිරිපත් කිරීමට අදාළ විෂය ගැන දැනගන්න

මේ නොසන්සුන් වීම අඩු කරගන්න හොඳම ක්‍රමය තමා තමන් පිරිස ඉස්සරහ කතා කරන්න යන්නේ මොන විෂය ගැනද කියලා දැනුවත් වෙන එක. ඔයා ඉදිරිපත් කරන තොරතුරු සහ කාරණා සම්බන්ධයෙන් ඔයා දැනුවත් නැති නම් නොසන්සුන් වීම ගැන ආපහු කියන්න කියලා දෙයක් නැහැ. ඇනගන්න එක ඇනගන්නවා ම තමා. ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් වල මොනවා තිබුනත් ඔයා ඉදිරිපත් කරන්න උවමනා තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් නම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

03.මිල්ටන් වගේ එපා.

මතකද අපේ අසහාය ගායකයෙන් වෙන මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ගීත ගායනා කරන විදිය? සමහර වෙලාවට හිතෙන්නේ නිකම්ම නිශ්චල රුපයක් දිහා බලා ඉන්නවා කියලයි කටේ තොල්පට විතරයි සෙලවෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉද්ද ගැහුවා වගේ එකම තැන හිටගෙන තමන්ගේ කතාව කරන්න එහෙම එපා. එතකොටත් ප්‍රේක්ෂකයාට හරිම බොරින් වේවි කතාව. මේ නිසා පුළුවන් තරම් ඇක්ටිව් වෙලා වේදිකාව මත එහා මෙහා යමින් තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න පුලුවන්නම් නියමයි.

ඒ වගේම අලස විදිහට හිමින් කතා කරන්නෙ නැතිව හඬ උස්පහත් කරමින් පැහැදිලි ලෙස සභාව අමතන්න අමතක කරන්නෙපා. අවශ්‍ය දේවල් විස්තර කරනකොට දෑත් චලනයන් භාවිත කරන්න පුලුවන්නම් නියමයි. එහෙම දෑත් හරි ආකාරව භාවිතා කරන්නේ කොහොමද කියලා මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා.

04.ගිරවා දානවා එහෙම නෙවෙයි ඔන්න

තොරතුරු දැනගන්නවා කියන්නේ ගිරවා වගේ කටපාඩම් කරලා ගිහින් එතන අත හරින එකට එහෙම නෙවෙයි මහත්තයෝ. මොකද ඔයාගේ අසන්නෝ ටික දැනගත්තොත් මේ කරන්නේ “බොනිකර තරුව” කියලා ඔයාගේ මහන්සිය එතැන් සිට ම වතුරේ.

මෙතන තියෙන රහස මෙන්න මේකයි. ඔයා තොරතුරු හරියට දන්නවා කියන්නේ වෙනත් විදියකින් ඔයා සියලු තොරතුරු ගැන අවධානය යොමු කරලා, සොයා බැලීම් කරපු කෙනෙක් කියලා ඔයාගෙම හිතේ විශ්වාසයක් ඇති වෙන එක.

ඒ බව ඔයාගේ ඉදිරිපත් කිරීම හරහා එලියට දානවා කියන්නේ ඔයා සාර්ථකයි කියන එකයි.

05.කතා කරන දේ සංවිධානය කරගමු, ආරම්භය ගොඩදාගමු

ගොඩක් ඉදිරිපත් කරන්නන්ට තියෙන අවුල තමා මේක. එක්දින ක්‍රිකට් තරඟයක මුල් ඕවර් 15 ඇතුලත සාමාන්යෙන් ඉතිරි ඕවර 35 ඇතුලේ වෙන්න පුළුවන් දේ අනුමාන කරන්න පුළුවන් වගේ, ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳද නරකද කියලා කියලා ඔයාටම තීරණයක් ගන්න පුළුවන් ඔයා කතා කරන පළවෙනි විනාඩි 5 ඇතුලත.

මොකද මේ ආරම්භය ගන්න එකෙන් තමා අසන්නෝ ටික නියමෙටම ඔබ වෙතට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ.

06.දැනෙන්න කියන්න, එකතු කරගන්න

එක දිගට ධර්ම දේශනාවක්  අහගෙන ඉන්නවා වගේ ඉන්නේ නැතුව, ඔයාට පුළුවන් අසන්නොත් ඔයාගේ ඉදිරිපත් කිරීමට යොදාගන්න.
මෙහෙම හිතන්නකෝ,
ඔයා කතා කරන්නේ එදිනෙදා අවශ්‍ය වෙන යමක් ගැන නම් ඔයාට පුළුවන් ඒ අවශ්‍යතාව මෙයට කලින් ඇතිවුන එක්කෙනෙක් දෙදෙනෙක් ගෙන් ඒ ගැන අදහස් විමසලා ඉන්න. මෙතැනදී ඔයාට පොඩි විවේකයක් ලැබෙනවා කතා කරන්න බලා පොරොත්තු වෙන ඊළඟ කාරණාවට ලැහැස්ති වෙන්න.

07.තාක්ෂනය භාවිතා කරන්න.

ඉස්සර වගේ එක ස්ලයිඩ් එකක තියෙන දේ කතා කරලා ඉවරවුනාම ලැප් එක ගාවට දුවලා, ඊළඟ ස්ලයිඩ් එක දාන්න කරන්න අවශ්‍ය නැහැ. දැන් තියෙනවා පොයින්ටර්ස්. එහෙම එකක් භාවිතා කරන එක හරි වාසියි.

මොකද  නොම්මර පහේ කොටුව කියලා කිව්වම අසන්නන්ට උවමනා නැහැ නොම්මර පහේ කොටුව හොයන්න ඔයාට ලෙහෙසියෙන්ම පොයින්ටර් එක භාවිතා කරලා අසන්නන්ගේ අවධානය යොමු කරන්න ඕනේ තැනට පොයින්ට් කරන්න පුළුවන් බොහොම ලේසියෙන් ම.

ඒ වගේම පහුගිය දා ඇපල් ආයතනයෙන් තමන්ගේ අලුත්ම නිෂ්පාදන එළිදක්වනකොට ඔවුන් මේ වගේ ඉදිරිපත් කිරීම වලටත් හොඳ විසඳුමක් ලබා දුන්නා. ඒ තමයි Apple Keynote යෙදුම.

08.සාක්කු හිස් කර(ග)න්න

ඉදිරිපත් කිරීමකට පෙර කැමති නම් තමන්ගේ සාක්කු වල තිබෙන යතුරු, මාරුකාසි, කී ටැග් වගේ දේවල් තියෙනවා නම් එපිටින් කොහෙන් හරි තියලා එන්න. ඔයා වේදිකාවේ ඇවිදිමින් තමන්ගේ අදහස් ස්ලයිඩ්, උදාහරණ හරහා ඉදිරිපත් කරනකොට සාක්කු දෙකේ කාසි කීටැග් එහෙම “ජින්ගල්” ප්ලේ කරන්න ගත්තාම ඔයාටත් නොදනිම ඔයාගේ අවධානය අහකට යන්න පුළුවන්.

09.ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න

හොඳ ඉදිරිපත් කරන්නෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ඉදිරිපත් කිරීම හොඳින් අසන්නන් ග්‍රහණය කරගත්තා නම් ඔවුන්, ඔයාගෙන් ප්‍රශ්න අසන්න ඉඩ තිබෙනවා. සමහර විටෙක ඔවුන් අසන්නේ ඔයා බොහොම වැදගත් පැහැදිලි කිරීමක් කරන අතරමග වෙන්න පුළුවන්. එහෙම නැති නම් මේ විෂයට පරිබාහිර දෙයක් වෙන්නට පුළුවන්.  ඔවුන්ගෙන් කතාව අවසානයෙදී ඒ පැහැදිලි කිරීම කරන බවට පොරොන්දු වෙලා කතාව කරගෙන යන්නට ඔබට පුළුවන්.

එහෙමත් නැති නම් ඔයාගේ කතාවට අදාලම නැති දෙයක් නම්, කිසිම ගැටළුවක් නැතිව එවැනි දේට තමන් උත්තර දෙන්න බැඳී නැති බව පවසා සිටින්නටත් ඔයාට පුළුවන්.

10.අසන්නන්ට මුහුණ දෙන්න

අසන්නන් තිරයේ මොන දෙයක් තිබුනත් ඔයාගේ මුහුණ දෙස බලාසිටිමින් කතාව අසන්නට බොහොම කැමැත්තක් දක්වනවා. ඉතින් එහෙම වෙලාවක ඔයා වෙනත් පැත්තකට හරවලා තියෙන තිරයක් දිහා බලාගෙන නම් ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නේ, ඊට වඩා හොඳයි ඔයාගේ ඉදිරිපත් කිරීම නවත්වල දමනවා.

දැන් ඔයා අපෙන් අසාවි මම ස්ලයිඩ් ටික දිහා බලන්නේ නැතුව මම කොහොමද ඉදිරිපත් කිරීම කරන්නේ කියලා.

මෙතන ක්‍රම දෙකක් තියෙනවා.

එකක් තමා හරි හැටි අධ්‍යයනය කරලා ඉදිරිපත්කිරීමේ පිටපත හැදුවේ ඔබ නම් ආපහු බලන්න දෙයක් නැහැ ඒ ගැන. ඔබට එය මතකයි. එතකොට මොකටද තිරය දිහා බලන්නේ?

අනෙක් කාරනාව තමා ඔයාට පුළුවන් ඔයාගේ ලැප්ටොප් එක සහ ප්‍රොජෙක්ටරේට පෙනෙන විදියට ස්ක්‍රීන් එක dual share කරන්න.

11.එකම දේ නැවත නැවත කියවන්න “එපා”

මෙතැනදී වරදවා හිතන්නෙපා එකම කාරණය ආපහු ආපහු කියවීමක් ගැනයි මේ කියන්නේ කියලා. නැහැ. එහෙම දෙයක් නෙවෙයි. මේ කියන්නේ ස්ලයිඩ් එකේ තියෙන තොරතුරු ආපහු සැරයක් අසන්නන්ට ඇසෙන්නට කියවන්න එපා කියන එකයි.

ඔයාගේ අසන්නන්ට හොඳට තිරය පේනවා. ඒ නිසා ඒ අය තිරයේ ඇතිදේ කියවාවි. ඔයාට තියෙන්නේ තිරයේ තියන මාතෘකා වලට අමතරව ඔවුන් දැනගන්න උවමනා කාරණා ගැන විස්තර කරන එකයි.

12.සිනහව ආභරණයක් කරගන්න

මේ කියන්නේ මෙලෝ රහක් නැතුව දෙපිට කැපෙන වචන තමන්ගේ ඉදිරිපත් කිරීම මැද්දෙන් දාන්න කියල නෙවෙයි. අවස්ථාවට අනුකුලව ඔයාට හිතෙන යම් හිතේ බර අඩු කරලා මනස සැහැල්ලු කරන පොඩි කතන්දර දෙකක් තුනක් කිව්වට කමක් නැහැ. හැබැයි, ඒ කතන්දර කියන්න ගිහින් ඔයාට ඉදිරිපත් කිරීම කරන්න තියෙන වෙලාව අපතේ යවාගන්නවා එහෙම නෙවෙයි ඔන්න.

- aniwa.lk




gossip lanka