දැන් කාලේ හැමෝම මැසිවිලි කියන්නේ වැඩ හිරවෙලා, වැඩ කරගන්න වෙලාව මදි, වැඩ ඉවර කලත් අනික් පැත්තට වැඩ පටන් ගන්න වෙනවා, පුද්ගලික ජීවිතේටවත් කාලයක් නෑ කියලනේ. ඒ කතාවේ වැරැද්දක් කියන්නත් බෑ දැන් කාලේ හැටියට. මොකද හැමෝටම වැඩ වැඩියි, රස්සාවල තරඟකාරිත්වය වැඩියි. සමහරු සයිඩ් එකෙන් තව පොඩි ජොබකුත් කරනවා බජට් එක බැලන්ස් එකේ තියාගන්න. හැබැයි ඉතින් මෙහෙම ඩබල් එකේ වැඩ
කරලා, වැඩ ඉවර කරගන්නත් බැරි වෙලා, අහල පහල එවුන් එක්කත් මරාගෙන, හිත කලකිරවගන්නවට වඩා හොඳයි මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් බලන එක. ආන්න ඒකට තමයි ඔය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, ටයිම් මැනේජ්මන්ට් වගේ විෂයයන් තියෙන්නේ. ඉතින් අපි කරන්න හදන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුලුවන් ටිප්ස් ටිකක් සරලව දෙන එක තමයි. කරලා බලමු මෙහෙමවත්, නැද්ද!
1. වැඩ ලැයිස්තු හදන එක
වැඩ ලැයිස්තු හදන එක දවස ගාණේ කරන්න යන්න එපා. ඊට වඩා හොඳයි සතියකට එක ලැයිස්තුවක් හදන එක. දැන් සතියේ කරන්න තියෙන වැඩ ටික සතියේ දිනවලට බෙදාගන්න ඕන. හැබැයි ඇලඩින්ගේ පහනේ බූතයට හරියන විදියට ලිස්ට් හදන්න එපා. කොහොම කළත් දවසකට තියෙන්නේ පැය විසිහතරයිනේ. ඔය කාලේ ඇතුළත නිදාගන්න, කන බොන අරවා මේවා ඔක්කොමත් කරන්න ඕනනේ. ඒ නිසා තමන්ට ඇත්තටම කරන්න පුලුවන් වැඩ විතරක් එක දවසකට දාගන්න.
හැබැයි තව දෙයක්. ලිස්ට් එක හදනකොට එක එක දවසට පොඩ්ඩක් වැඩි ඉඩක් තියාගන්න. මොකද හදිසි වැඩ සෙට් වෙනවා. ඒවත් කරන්න වෙනවා. මෙහෙම සතියේ වැඩ සතිය පටන් ගන්නකොටම හිතලා සැලසුම් කරන්න පුලුවන් නම් වැඩ ගොඩක් ලේසි වෙයි.
2. ප්‍රමුඛතාවය දෙන්න ඕන තැන්
වැඩ ලැයිස්තු හදනකොට පුලුවන් තරම් කරන්න ඕන අනුපිළිවෙලට, ඒ කියන්නේ දවසේ ටයිම් ෆ්‍රේම් එකක් ඇතුළේ ලිස්ට් කරගන්න එක වාසියි. ඒ කියන්නේ ප්‍රමුඛතාවය දීලා කරන්න ඕන වැඩ මුලින් ලියන්න. හැබැයි ඔය විනාඩි පහේ දහයේ වැඩ තියෙනවනේ. ඒවා ප්‍රයෝරිටි නෑ කියලා පස්සට තියන්න එපා. පොඩි වැඩ ටික ඉස්සර වෙලා ලිස්ට් එකට දාගන්න මුලින්ම ඉවරයක් කරන්න. ඉන් පස්සේ ප්‍රයෝරිටි අනුපිළිවෙලට වැඩ කරගෙන යන්නයි තියෙන්නේ. කොහොමත් සතිය මැද්දේ ප්‍රයෝරිටි වැඩ සෙට් වෙන්න පුලුවන්. ආන්න ඒකටත් පොඩි නිදහසක් තියාගෙන ලිස්ට් එක හදන්න.
3. නීට් එකට හැමදේම ඕගනයිස් කරලා තියාගන්න
සමහරු ඉන්නවා වැඩ කරන මේසේ හරියට පොත් අට්ටි පිරිලා, කොළ කෑලි පිරිලා මකුළුදැලුත් බැඳිලා. මේ අය කියන්නේ තමන්ට ඕන දෙයක් පටස් ගාලා හොයාගන්න පුලුවන් කියලා. හැබැයි ඊට වඩා බොහොම සාර්ථකයි පොඩ්ඩක් මේසේ තියෙන බඩුමුට්‍ටු වල ඉඳන් අනික් හැමදේම පිළිවෙලකට තියාගන්න පුලුවන් නම්. පිළිවෙල වෙනුවෙන් ඔය ස්ටිකී නෝට්, නෝට්පෑඩ්, ෆයිල් වගේ දේවල් ගෙනත් තියාගත්තට කමක් නෑ. හැමදේම විවිධ විෂයයන් යටතේ ෆයිල් කරලා නීට් එකට තියාගන්න.
අනික ඔය භෞතික මට්ටමෙන් තියෙන කළමනාකරණය තියෙන්න ඕන කරන වැඩ වලත්. ඒ කියන්නේ අර උඩින් කිව්ව දේවල් වගේම වැඩ වල පිළිවෙල පවත්වගන්න ඕන. ටයිම් මැනේජ්මන්ට් කියන එකත් මේ ඕගනයිස් කිරිල්ලටම තමයි අයිති වෙන්නේ.
4. කලින් වැඩ පටන් ගන්න
මේ කියන්නේ දවසේ වැඩ උදැහැනැක්කෙන්ම පටන් ගන්න කියන එක. ඒ කිව්වේ උදේ හය වෙනකොටවත් අඩුම ගාණේ නැගිටලා, දවසේ වැඩ කරලා වැඩ පටන් ගන්න එක ගැන. මෙතනදී තියෙන ලොකු වාසියක් තමයි දවසේ වැඩ වලින් සෑහෙන්න දැනෙන කොටසක් දවල් වෙන්න කලින් ඉවර කරගන්න පුලුවන් වීම. කොහොමත් දවල් වරුවේ කාර්යක්ෂමතාවය පොඩ්ඩක් බහිනවනේ. ඉතින් ඒ අඩුව උදේ අල්ලන්න පුලුවන්. ඒ වගේම තමයි රෑ බෝ වෙනකල් වැඩ නොකර කලින් වැඩ ඉවර කරලා තමන්ගේ පුද්ගලික ජීවිතේට ඉතුරු කාලය යොදවන්නත් එතකොට පුලුවන්.
5. තොරතුරු ගලා ඒම පාලනයක් ඇතුව තියාගන්න
අපි හිතමු දැන් අපි කරමින් ඉන්න ප්‍රොජෙක්ට් එකට අදාළව අපි අන්තර්ජාලෙන් කරුණු හොයනවා කියලා. එතකොට ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි දන්නෙම නැතුව අදාළ නොවෙන තොරතුරුත් අතරේ අපිව අතරමං වීම. ඇත්තටම අන්තර්ජාලය කියන්නේ කොයි තරම් තොරතුරු කන්දරාවක් තියෙන විශ්වයක් වගේ තැනක්ද. ඉතින් එතකොට දන්නෙම නැතුව අපි අදාළ දෙයින් පිටතට ගිහින් අර තෙරක් නෑ කියලා පේන තොරතුරු අවකාශයේ පාවී පාවී දවස ගතවෙන්න සෑහෙන්න ඉඩක් තියෙනවා. ආන්න ඒ නිසා අවශ්‍ය තොරතුරු ටාගට් කරලා අන්තර්ජාලයට යන්න. ඕන දේ කරගෙන පිටවෙන්න.
6. කොටස් වශයෙන් වැඩ කරන්න
අපි වැඩ කරන්නෙ කොහොමද? ඉඳගත්තට පස්සේ කරගෙන කරගෙන කරගෙන යනවා. ආයි දවල්ට කන තමයි පුටුවෙන් නැගිටින්නේ. අන්න ඒක හොඳ නෑ මා පුතා. ඒකෙන් වෙන්නේ කාර්යක්ෂමතාවය බහින එක. එහෙම නෙවෙයි. පැය බාගයක් වැඩ කරන්න. ඒ කියන්නේ ෆේස්බුක් අනං මනං නෙවෙයි, තනිකරම වැඩ. අන්න ඊට පස්සේ විනාඩි පහක පොඩි බ්‍රේක් එකක් ගන්න. ඕන නං ඉස්සරහ කියුබිකල් එකක ඉන්න නංකියෙක් එක්ක පොඩි චැට් එකක් දාලා එන්න. නැගිටලා අත පය හිරි ඇරගන්න. දැන් ආයෙමත් පැය බාගයක් අනං මනං නැතුව, අවධානේ වෙන වෙන තැන්වලට යන්න දෙන්නේ නැතුව වැඩ කරන්න. ආයෙ බ්‍රේක් එකක් ගන්න. මෙහෙම කරල බලන්න කාර්යක්ෂමතාවය කොහොමද නගින්නේ කියලා.
7. බැරි දේට බැහැ කියන ආට් එක පුරුදු වෙන්න
මෙන්න මේක ටිකක් සෙන්සිටිව් කාරණාවක්. දැන් අපි කියමු අපේ ජොබ් එකට අදාළ වැඩ කොටසක් තියෙනවා කියලා. ඒකට නැහ් බැහ් ගාන්න බෑ. මොකද අපිට ගෙවන්නේ ඒ අදාළ වැඩ රාජකාරි ටික ප්‍රශස්ත මට්ටමෙන් ඉටු කරන්නනේ. හැබැයි එතනින් එහාට කරන්න වෙන අමතර වැඩ තියෙනවනේ. උදාහරණයක් විදියට බොස් වැඩ හිරවෙලා ඉන්න වෙලාවක කියන්න පුලුවන් මෙන්න මේ අහවලාගේ වැඩේ පොඩ්ඩක් බලන්න, මිනිහා අද නැති නිසා කියලා. දැන් දවසේ වැඩ කටයුතු අතර ඕක කරන්න පුලුවන් නං බාරගත්තට කමක් නෑ. එහෙම නැතුව තමන්ගේ වැඩත් හිරවෙලා ඉන්න වෙලාවක නං දෙයියන්ගේ නාමෙට බැහැයි කියන්න පුරුදු වෙන්න. ඒක බොස්ට පැහැදිලි කරලා දෙන්න වෙනවා හැබැයි. ඒ වගේම තමයි ඔය යාලු පිට් වලට කරන්න වෙන ෆේවර්ස් එහෙමත් වැඩ වැඩි අස්සේ කරන්න යන්න එපා. තමන්ට ගෙවන ගාණට පොරොන්දු වුණු රාජකාරිය දේවකාරියම තමා. වෙන ඕන දෙයක් ඒ වැඩ ටික කරල ඉවර වෙලා.
8. විසඳෙන්නෙ නැති ප්‍රශ්න වලට විසඳුම් හදන්න බලන්න
දැන් අපි කියමු අපිට තියෙන සිස්ටම් එකකින් වෙන්නේ වැඩ වැඩි වෙන එක කියලා. ඒ නිසා හැමදාම වැඩ වැඩ ඉවරෙකුත් නෑ, හිතේ ස්ට්‍රෙස් එක ඉවරෙකුත් නෑ. මේක කවුරුත් තේරුම් ගන්නෙත් නෑ, සිස්ටම් එක වෙනස් කරන්න හිතන්නෙත් නෑ. උදාහරණයක් විදියට අපි කියමු ප්‍රොජෙක්ට් එකක කමියුනිකේෂන් වලට පාවිච්චි කරන ඇනලොග් මෙතඩ් එකෙන් වැඩ වැඩි වෙනවා කියලා. එහෙමනම් බොස් ඇවිත් විසඳුම් දෙනකල් ඉන්නෙ නැතුව තමන්ම විසඳුමක් හොයන්න. තමන්ගේ වැඩ ප්‍රමාණේ ගොඩදාගන්නනේ මේ බලන්නේ. ඒ හින්දා කමියුනිකේෂන් වලට සාර්ථක ඩිජිටල් ක්‍රමයක් හොයලා බලන්න. දැන් මේක ප්‍රොපෝසල් එකක් විදියට බොස්ට ඉදිරිපත් කරන්න. දැන් සිස්ටම් එක එහෙම අප්ඩේට් වුනහම තමන්ගේ වැඩ වලටම තමයි ලේසිය.
9. ආකල්පේ දියුණු කරගන්න
සමහරු ඉන්නවා කොයි වෙලේත් බෑ කියාගත්තු ගමන්. සමහරු ඉන්නවා හැම වෙලේම සිස්ටම් එකට බැණගත්තු ගමන්. හැබැයි උන්ගේ කීම් අහගෙන ඉඳලා හිත කළකිරිලා අපි ජොබ් එකෙන් අයින් වෙලා ගියත් උන් ජොබ් එකට බැණ බැණ හරි එතන ඉඳීවි. අන්න ඒ නිසා අනුන්ගේ වදන් අහන්නේ නැතුව තමන්ගේ ආකල්පේ හදාගන්න. ඒ කියන්නේ සුබවාදී වෙන එක තමයි. මැරෙන්න හිතෙන තරම් වැඩ පැටවිලා තියෙන කොට සුබවාදී වෙන්න බෑ තමයි. හැබැයි උඩ කියලා තියෙන විදියට වැඩ කොට උඩ නොයන්න වැඩ කරගෙන යන ගමන් ජොබ් එක ගැන සුබවාදීව හිතන්න. අන්න එතකොට කම්මැලි කමට හොර වැඩ නොකර ජොබ් එකට සාධාරණේ ඉෂ්ට කරන්න හිත හැදෙනවා. නෙගටිව් දේවල් හිතන්න යන කාලෙත් ඉතුරු වෙනවා.
- aniwa.lk
වැඩ ඔක්කොම කොට උඩද? එහෙමනම් එහෙම නොවෙන්න වැඩ සැලසුම් කරගන්න ටිප්ස් 7ක්
2018-06-05T02:19:00-07:00
Gossip Lanka Hot News
slide|