අපි කීදෙනෙක් අපේ බාල පරම්පරාවට ඉතුරුකරන හැටි කියලා දීලා තියෙනවද? එහෙමත් නැතිනම් ඉතිරි කිරීමේ වටිනාකම ගැන? ගොඩක් අය තමන්ගේ පාසල් අධ්‍යාපනයෙන් පසුව කරන රැකියාවකදී තමන් උපයන මුදල හරි හැටි කළමනාකරණය කරන්න සහ ඉතුරු කරන්න නොදන්නා කම නිසා ගැටළු වලට මුහුණ පානවා, එහෙමත් නැතිනම් මාසය මුලදී ම තමන්ගේ මාසික වේතනයට මොනවා උනාද කියලා කිසිදු අදහසක් නැතිව යනවා.
මෙන්න මේ හේතුව නිසා තමයි ඔබ ඔබේ දරුවාට
ඉතුරු කරන විදිය ගැන කියලා දිය යුතු වන්නේ. ඔහු අනාගතයේ කුමනාකාරයේ පුද්ගලයෙක් වුනත් ඔහු සතුව තමා උපයන හෝ අතට ලැබෙන මුදල නිසි පරිදි කළමනාකරණය කරගන්නට හැකියාවක් තිබුනොත්, ඔහු කිසි දවසක වැරදි පුද්ගලයෙක් වෙන එකක් නැහැ.
1. පොඩි කැටයක් ආරම්භයට හොඳටම ඇති
කඩවල් වල තියෙනවා පුංචි ප්ලාස්ටික් සල්ලි කැට, එහෙම එකක් අරන් දෙන්න, ගොඩක් දරුවෝ ඔවුන් ඉතිරි කරන මුදල නිතර දෙවේලේ දකින්නට ප්‍රිය කරනවා, එහෙනම් ඔබ ඔවුන්ට මදක් විශාල ප්ලාස්ටික් බෝතලයක් දුන්නත් වරදක් නැහැ. ටිකෙන් ටික සල්ලි කාසි එහෙම එකතුවෙනකොට ඔවුන්ගේ හිතත් සතුටට පත්වේවි.
2. පොඩ්ඩන්ගේ විමසිල්ල සැනසිල්ලක් කරගමු
කුඩා දරුවන් කියන්නේ නිතරම විමසිල්ලෙන් සිටින අය. ඒ අය වැඩිහිටියන් විදිහට අපි දෙස නෙත් යොමාගෙන සිටින බව අපි මොහොතකට වත් අමතක කල යුතු නැහැ. මේ නිසා වැඩිහිටියන් විදියට අපි කොතනකට ගියත් ඒ යන හැම තැනකට ම දරුවන් රැගෙන නම් යන්නේ, ඔබ මුදල් පරිහරණය කරන ආකාරය ගැන ඔවුන්ට නිරුත්සාහකව ම අදහසක් එනවා. ඔබ මුදලින් ගෙවනවා හෝ ඔබේ බැංකු කාඩ් පතින් ගෙව්වත් මුදල් ඔබ අතට එන ක්‍රමය දරුවන් නොදන්නා නිසා, ඔවුන්ගේ ලපටි සිතේ මේවා තැම්පත් වී ඔවුන් වැඩිහිටියන් වූ කලෙක ඒ මතකයන් වැරදි ආකාරයට බලපාන්න පුළුවන්. ඒ නිසාම ඔවුන්ට අපි අනිවා කියලා දෙන්න උවමනා වෙන කාරනාවක් තියෙනවා. ඒ තමයි ඔවුන් ඉදිරිපිට අපි වියදම් කරන හැම සතයක් ම වියදම් කරන්නේ ඔවුන්ගේ ජීවිතය සැපවත් කරන්නට බවත්, ඒ නිසා ඔබත් කවදා හෝ මුදල් උපයන විට බොහොම අරපරිස්සමින් වියදම් කලයුතු බවත් මතක් කර දිය යුතුයි.
3. දරුවන්ට නිවසේ වියදම් ගැන අදහසක් දෙන්න.
ඔවුන් දරුවන් විදියට මේ වියදම අවම කරගන්නට උදව් විය යුත්තේ කොහොමද කියන එක ගැන ඔවුන්ට විස්තර කරන්න. ඔවුන් ඔබට සවන් දේවි. ඒ වගේම ඔබ දරුවන් හා කඩයකට ගිය පසුව නිවසට ගන්නා එදිනෙදා බඩු වලට මුදල් ගෙවීම දරුවන් අතට පවරන්න. එවිට ඔවුන් නිවසේ වියදම් ගැන අදහසක් ගනීවි, ඒ වගේම එදිනෙදා මිලදී ගන්න එළවලු පලතුරු වගේ දේවල් වල මිල වෙනස් වීම ගැන ඔවුන් හා සාකච්ඡා කරන්න. දරුවන්ගේ මනස හැමවිටම අලුත් විදි වලට ක්‍රියා කරන නිසා ඔබට මුදල් ඉතුරු කරන විදිය ගැන අලුත් අදහස් දෙන්නටත්
බැරි නැහැ.
4. පුංචි පුංචි වගකීම් පවරන්න.
නිවසේ ජලය විදුලිය, දුරකථන බිල ආදිය ගෙවන ආකාරය ගැන ඔවුන් ව දැනුවත් කරන්න, ඔබේ සුපරික්ෂාව යටතේ දරුවන්ට ඒ ගෙවීම් කරන්නට ඉඩ ලබා දෙන්න. නිවැරදිව බිල් ගෙවා ඇතිනම් එය අගය කරනවා වගේම ඔවුන් නොදැනුවත්ව කරන වැරදි ගැන කරුණාවෙන් පහදා දෙන්න. එවිට ඔබේ දරුවත් තමන් සිය පවුලේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බව ඔවුන්ට දැනෙන්නට පටන් ගනීවි.
5. අවශ්‍යතාවයට අනුව වියදම පුරුදු කරවන්න.
නිදසුනක් ලෙසට “ඔයා මේ සෙල්ලම් බඩුව ගන්න වියදම් කලොත්, ඔයාගේ අතේ තියෙන මුදලින් ඔයා කැමතිම කතාපොත ගන්න සල්ලි මදිවෙයි පුතේ” මෙන්න මේ වගේ සරල නිදසුනක් ලබාදෙන්න. එවිට ඔහු/ඇය පවතින අවස්ථාවේ වැඩියෙන් උවමනා කරන්නේ කුමක්ද, අන්න ඒ අවශ්‍යතාවය පිරිමහගන්න වැඩ කටයුතු කරාවි.
6. ඔබත් ආදර්ශයක් වෙන්න
දරුවන් තම දෙමව්පියන්ව හැමවිටම අනුකරණය කරන්න කැමතියි. ඒ නිසා ඉතිරි කිරීම ගැන ආදර්ශයත් ඔබම ඔවුන්ට ලබා දෙන්න. දරුවාට පේන්න ඔබත් කැටයකට හැකි හැමවිටම මුදලක් තැන්පත් කරන්න. එයින් දරුවා ඉතිරියට දිරිමත් වේවි. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නෙ නිකම් නෙවෙයිනෙ.
7. බැංකු ගිණුම නිසි වයසට.
කුඩා කාලයේදීම බැංකු ගිණුමක් ආරම්භ කර දී වයස අවුරුදු 13-14 කාලය වනවිට තමන්ගේම බැංකු ගිණුමක් පවත්වාගෙන යන්නට ඉඩ ලබා දෙන්න. ඔවුන් ඉතුරුම් කැට ආදියෙහි එකතු කරගත් මුදල් ඒ තුල තැම්පත් කර ගිණුමේ ශේෂය ඉහල යනවිට ඔවුන්ට එය සතුටක් විය හැක්කේ කෙසේද කියා තේරුම් කර දෙන්න. කෙටියෙන් කියනවා නම් ඔබ මෙතෙක් ඔවුන්ට සහය වෙමින් කල මුදල් කළමනාකරණය වඩාත් විධිමත් අයුරින් කරන්නට බැංකුවක් උදව් වෙන්නේ කෙසේද කියා ඔවුන්ට තේරුම් ගන්නට නිදහස ලබා දෙන්න.
8. කතා කරන්න, අදහස් බෙදාගන්න, දරුවාගේ හොඳ මිතුරෙක් වෙන්න.
ඒ වගේම මුදල් නිසි ලෙස කළමනාකරණයෙන් සාර්ථක වූ මිනිසුන් සහ ජිවිත විනාශ කරගත් අය ගැන ඔබ ඔබේ දරුවන් හා කතා බහ කරන්නට අමතක කරන්න එපා. බොහෝ වෙලාවට ඒවා ඔවුන් සාර්ථක පුද්ගලයෙකු වන්නට වැටෙන අඩිතාලමේ මුලික කොටස් වෙන්නට ඉඩ තිබේවි.
- aniwa.lk
අපේ ළමයින්ට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරන්න උගන්නමුද? මෙන්න මෙහමයි!
2018-06-21T01:58:00-07:00
Gossip Lanka Hot News
slide|