ඇත්තටම ජීවිතේ අපි විඳිනවාද? එහෙමත් නැතිනම් විඳවනවාද? මේ ප්‍රශ්නයට බොහෝ දෙනෙක් සතුව නිවැරදි උත්තරයක් නැහැ. අද විඳවීමක් හැටියට දකින දෙයක් හෙට සුන්දර මතකයක් හැටියට මතකයට එක්වෙන්නට පුලුවන් නිසාත්, අද විඳීමක් කියල හිතන දෙයක් අනාගතේදි දුකක් බවට පත්වෙන්නට හොඳටම ඉඩ තියන නිසාත් මේ දේවල් තවත් පැටලෙනවා.
කාලයත් එක්ක තාක්ෂණේ දියුණුවීමත් එක්ක අපේ රසවින්දනයන්ටත්, එදිනෙදා අත්දැකීම් වලටත් තව තව වෙනස්කම් එකතු වෙන්නට පටන් ගත්තා. ටීවී එකේ චැනල් 3ක් විතරක් බලාගෙන, රේඩියෝ
නාලිකා දෙක තුනක් අහන් හිටපු අපිට අද වෙද්දි විදෙස් නාලිකා සිය ගණනක් උනත් බැලීමේ හැකියාව ඇවිත්. ඒත් මෙච්චර නාලිකා සහ විනෝදාස්වාදන මාධ්‍ය තිබ්බත්, ඒ කාලෙ ඉඳලා හිටලා යන නාට්‍යයකින් අපි ලබපු විනෝදය තාමත් අපි ලබනවද? පුංචි කිරිටොපි කෑල්ල දෙකට කඩාගෙන හොඳම යාලුවත් එක්ක බෙදාගෙන කද්දි දැනුනු ජොලිය අද සුපිරි අවන්හලකින් කෑම ගනිද්දිත් ඒ විදිහටම අපිට දැනෙනවද? අපේ රසවින්දන මට්ටම වෙනස් වෙලාද? එහෙමත් නැත්නම් අපිට විඳින්න ලැබෙන එදිනෙදා ජීවිතයේ අත්දැකීම් වල රසය අඩුවෙලාද? මොකද ඔබ හිතන්නෙ?
මේ ප්‍රශ්නයට ඔබේ උත්තරය මොකක් වුවත් අපි මේ උත්සාහ කරන්නේ මීට දශක කිහිපයකට කලින් අපි එදිනෙදා ජීවිතේදි විඳපු දේවල් කීපයක් ගැන ඔබේ මතක අවුස්සන්නයි. ඔබත් මේ විඳීම් ඒ කාලෙ ලබල තියනවනම් අදට සාපේක්ෂව ගත්තහම ඒ දවස් ගැන හිතෙන්නෙ මොනවද කියල අපිට අදහසක් පළකරල යන්න.
1. රේඩියෝ වැඩසටහන්
රූපවාහිනී නොතිබ්බ කාලයක් අපේ ලෝකේ තිබුණනේ. අන්න ඒ කාලයේ අපේ රසවින්දන පිපාසය නිවා ගත්තේ බොහොම සීමිත සම්පත් ප්‍රමාණයකින් තමයි. ඉස්සර වැඩ ඇරිලා එන අපේ වැඩිහිටියෝ, ගෙදර වැඩ අහවර කරලා ඉන්න ගෘහණියෝ මේ ඔක්කොම රේඩියෝ එක වටේට එක්කාසු වෙන්නේ “මුවන් පැලැස්ස, ගජමුතු, මොණර තැන්න, මේධා, ආදරණීය ජුලියස්, මුදලි මංකඩ” වගේ නාට්ටිවලට කන් දෙන්න. මේ කතාවල චරිත වල හඬ රේඩියෝ පෙට්ටිය හරහා ඇදිල එද්දි අපේ හිත් වල මේ චරිත මැවුණෙ එක එක ස්වරූපයෙන්. ඒ වගේම තමයි තැපැල් පත් සහ ලිපි මගින් ගුවන් විදුලි වැඩසටහන් එක්ක එක්කාසු වුන අසන්නන් බොහෝ පිරිසක් හිටියා. අද කාලෙ වගේ නෙමෙයි ඉතාම සංයමයකින් යුක්තව පෙළ ගස්වන ලද අදහස් උදහස් තමයි ඒ අයගෙ ලිපි, තැපැල් පත් වලින් උනත් ඇහෙන්න තිබුණෙ. ප්‍රවෘත්ති ප්‍රකාශනයක් උනත් ඉදිරිපත් කිරීමේදී ඒවායෙ සංවේදී බවට සහ වැදගත් කමට ගැලපෙන ස්වරයකින් ඉදිරිපත් කරන නිවේදකයො තමයි හිටියෙ. අද වගේ අමු අමුවේ සිද්ධ වෙන මිනීමැරුම් තලු මරමින් විස්තර කිරීමක් ඒ කාලෙ තිබුණේ නැහැ.
අනිත් කාරණය තමයි, සාලයට රූපවාහිනිය එන්න කලින් ඒ තුල ගොඩක් සංවාද විසංවාද ඇති වුනා. රූප පෙට්ටිය නිසා අපේ රසවින්දනය මොට වුනා කිව්වොත් සමහර වෙලාවට හරි කියලත් අපේ වැඩිහිටියන් කියන්නේ මෙන්න මේ සංවාද හුවමාරුව නැවතීම නිසා වෙන්න ඇති.
2. සිනමා ශාලා
දැන් නම් ෆිල්ම් එකක් බලන්න ඕනෑ වුනාම කරන්නේ කඩේට ගියා DVD එකක් ගත්තා බැලුවා, එහෙම නැතිනම් ඉන්ටර්නෙට් එකෙන් බාගත කර ගත්තා බැලුවා, ඊටත් දියුණු සමහරු Netflix , Iflix වගේ සේවා අරගෙන බලනවා, හැබැයි වැඩි බහුතරය සැටලයිට් නාලිකා වලින් බලන්න තමා හුරු වෙලා තියෙන්නේ.
ඉස්සර මේ කිසිම දෙයක් නැහැ. ෆිල්ම් එකක් බලන්න ඕනෑ නම් අපි යන්න ඕනේ සිනමා ශාලාවකට. පුළුල් තිරයේ මැවෙන සිනමා සිත්තම කොච්චර බලගතුද කිව්වොත් අපේ හිතට වෙනත් දෙයක් ඒ කාලයේ ඇතුළත දැනෙන්න තිබ්බේ නැහැ. ඉස්කෝලෙන් කට්ටි පැනලා හොරෙන් ෂෝ එක බලන සිසුවගෙ ඉඳන් පවුල් පිටින් ගිහින් රෑ 9.30 ෂෝ එක බලන අය දක්වා සිනමා රසිකයො පිරිසක් ඒ කාලෙ බිහිවෙලයි හිටියෙ. විජේගෙ ගාමිණීගෙ එහෙම එක ෂෝ එකක් බලල අපි නැවතුනේ නැහැ. දෙතුන් පාර බලපු අවස්ථා තිබුණා. අපි එලියට එන්නේ අපේ හිත ඒ සිනමා සිත්තමේ රඳවලා තමයි. අවාසනාවකට දැන් දැන් ඉස්සර වගේ සාර්ථක සිනමා නිර්මාණ බිහි වෙනවත් හරි අඩුයි. කොච්චර සුපිරි විදෙස් සිනමා නිර්මාණ බිහි උනත් ඒවා අපේ සිනමා ශාලාවලට එන්නෙත් නැහැ. මේ නිසාද මන්දා අපේ ප්‍රේක්ෂකයො උනත් එවෙලේට ආතල් සපයන මෙගාටෙලි රැල්ලට අහුවෙලා. එහෙමත් නැත්නම් හොඳ සිනමා නිර්මාණයක් රස විඳීමේ අවස්ථාව නැති නිසා ටොරන්ට් මගින් බාගත කරගෙන බලන්න පුරුදු වෙලා.
3. සංගීත සංදර්ශන
ඉස්සෙල්ලා කාරණාවේ කිව්වා වගේ අපි මියුසිකල් ෂෝ එකක් බලන්නෙත් එක්කෝ ඔන්ලයින් එහෙම නැතිනම් DVD එකක් හරහා තමයි. මේකට ගොඩක් වෙලාවට හේතුව වෙන්න ඇත්තේ. අපිට අපේ නිදහස සඳහා කාල වෙලාවේ අඩු කම. ඔබට දැන් කියන්න පුළුවන් නැහැ අපි මියුසිකල් ෂෝ බලන්න යනවා කියලා. ඔව් ඔබ බලන්න යනවා ඇති, එහෙත් ගොඩක් අය දැන් ඒ සංස්කෘතියෙන් ඉවත් වෙලා.
ඉස්සර කොල්ලන්ට මියුසිකල් ෂෝ එකක් බලන්නනම් ඒක තමන්ගෙ ගමේ අහල පහල එකක් වෙන්න ඕනෙම නෑ. ගම් හතක් දුරින් තිබ්බත් ඒ ෂෝස් හොයාගෙන යන සෙට් හිටියා. පාන්දර ජාමෙ වෙනකම් මේ ෂෝ බලලා ආපහු පයින්ම තමයි ගෙදර එන්නෙ. හති වැටෙන කල් නටලා, කෑ ගහලා සින්දු කියලා, කඩල මුලක් කාලා, යාලුවෙක් එක්ක ස්ටෙලා වෙලා මියුසිකල් ෂෝ බලපු විඳපු කාලේ හරිම සුන්දරයි. ආයි ඒකේ දෙකක් නැහැ.
4. කෝල් බුක් කිරීම
අපේ වැඩිහිටියන් කියනවා එයාලා කෝල් ගත්තේ දැන් වගේ මොබයිල් වලින් නෙවෙයි, කෝල් බුක් කරලා කියලා. මොකද්ද මේ කෝල් බුක් කරනවා කියන්නේ? ඉස්සර 50 දශකය වගේ කාලයේ අපිට දුරකථන ඇමතුමක් ගන්න ඕන උන පළියට බොත්තම් කිහිපයක් ඔබලා එසැනින් ගන්න බැහැ. ඒ සඳහා අපි මුලින්ම ඇමතුමක් ගන්නට ඉල්ලීමක් කල යුතු වෙනවා. ඉන් පසුව අපේ වාරය එනතුරු බලා ඉන්නට වෙනවා.
දුරකථන ඔපරේටර්වරයා විසින් දුරකථන ඇමතුම ලබාදීම ගැන දැනුම් දුන් පසුවයි අපිට දුරකථන ඇමතුම ලබාගත හැකි වන්නේ. මේ සඳහා දීර්ඝ කාලයක් ගත වුනත්, “ඒ කාලයේ” හැටියට ලියුමක් ලියා පිළිතුරු ලබාගන්න යන කාලයට වඩා අඩුවෙන් කාලය වැයවෙන, කාලය ඉතුරු කරන ක්‍රියාවක් වුණාලු මේක.
5. ලියුම් ලිවීම
ඉස්සර අපේ ජීවිතේ ප්‍රධානම සන්නිවේදකයා වුනේ පියුම් මහත්තයායි. සමහර අවස්ථා වල ඔහු එන තුරු අපේ වැඩිහිටියන් මඟ බලා ගෙන හිටපු වෙලාවල් තිබෙනවා. තමන්ගේ පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්/සැමියාගෙන්/ බිරිඳගෙන්/දුර ඥාතීන්ගෙන් ලියුමක් එන තුරු මග බලා ගෙන හිටපු අතීතයක් අපට තිබුණා. එහෙම ලියුමක් ලැබෙනකොට හිතට එන සතුට තවත් වැඩි වෙනවා, එහි තිබෙන්නේ සතුටුදායක තොරතුරක් නම්.
ඒවගේ ම ලියුමක් ලැබෙන්නට යන කාලය සහ ආපහු පිළිතුරු එන්නට ගත වෙන කාලය කියන සාධක එක්ක, අපේ නොඉවසිලිවන්ත කම ගැන හොඳ අදහසක් ගන්න අපිට ඉඩ ඉතුරු කළා. මොනවා වුනත් අද ඊමේල් එකක් යවලා, වට්ස්ඇප් වයිබර් කරලා සන්නිවේදනයක් කර ගන්නවාට වඩා අමුතු සියුම් සතුටක් ලියුමක් ලියලා තැපැල් කරන එකේ තිබුණා. ඇයි ඒවයේ ආමන්ත්‍රණයේ ඉඳල තොරතුරු විස්තර දැක්වීම දක්වා හරිම ලෙංගතු සහ හෘදයාංගම බවක්නෙ තිබුණෙ.
6. පෑනේ මිතුරු මිතුරියෝ
ලියුම් තැපැල් එක්ක ම ඉස්සර යොවුන් පරම්පරාවට තිබුණු එක විනෝදාංශයක් තමයි පෑනේ මිතුරු මිතුරියන්ට ලිවීම. ගොඩක් වෙලාවට මේ සම්බන්ධතා ලියුම් මගින් විතරක්ම සම්බන්ධ වුනු ඒවා කියන්නට හැකියි. හිතවත්කම් වැඩි වෙලා හමුවීම් වෙලා මේවා විවාහ දක්වා දුර ගිය එවුවත් නැතිව නොවයි. නමුත් අද කාලේ සමාජ ජාල හරහා වෙන කාර්යයම යම් කිසි හික්මීමකින් යුතුව ලියුම් හරහා කෙරුණු බවයි අනිවා අපේ මතය නම්.
ඉස්සර තරුණයා, මධුර, The Island පත්තරයේ watch out අතිරේකයේ, Sunday Times පත්තරයේ Mirror අතිරේකයේ මේ පෑනේ මිතුරු මිතුරියන්ගේ විස්තර සහිත කුඩා කොටසක් පළ වුණු බව අපේ වැඩිමල් සහෝදර සහෝදරියෝ තවමත් මතක් කරනවා.
7. චිත්‍ර කතා
දැන් අපි ටීවී එකේ බලන ගොඩක් ටෙලිනාට්‍ය ඒ කාලයේ චිත්‍ර කතා පත්තර වල තිබුණු ඒවා බව ඔබ දන්නවා ද? එක කාලයක් තිබුණා අපේ වැඩිහිටියෝ චිත්‍ර කතා පත්තර බලන්න ඉඩ දුන්නේ නැති. සමහර වෙලාවට චිත්‍ර කතා පත්තරයක් පාසලට හොරෙන් ගෙනැවිත් තිබිලා හමුවීම සතියක පන්ති තහනමකට හේතුවක් බවටත් පත් වුනා.
නමුත් දැන්නම් වෙළඳපොළේ චිත්‍ර කතා පත්තර නැති තරම්. ඉස්සර තිබුණු සිත්තර, සත්සිරි, දසුන, රතු රෝස, මධුර වගේ චිත්‍ර කතා පත්තර වලට වෙන වෙනම රසික සමූහයන් තිබුණා. ඉතින් ඊට පස්සෙ, සෝමා, ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත්, යුනිකෝ, ටෝගා වගේ චිත්‍රකතා අතිශය ජනප්‍රිය ඒවා වෙලා තිබ්බා. ඒ වගේම තරූගේ ආදර කතා යොවුන් පරපුර ඉතාම ආදරයෙන් වැළඳගනු ලැබුවා. ඔවුන් ඒ කතාවල ඊළඟ කොටස් එන තුරු මග බලා ගෙන සිටි අපුරු කාලයක උරුමකරුවන් වෙනවා.
8. සතිපතා ටෙලිනාට්‍ය
අද වගේ මුළු සතියක්ම පුරා දිනපතා විකාශය වෙන මෙගා ටෙලි කලාවක් ඒ කාලයේ තිබ්බේ නැහැ. ඉස්සර තිබුණ එක නාට්‍යයක කොටසක් විකාශය වෙන්නේ සතියකට එක වරක් පමණයි. මේ හේතුව නිසා අපට සතියේ දින හතේම වෙනස් නිර්මාණ 7ක් හෝ ඊට වැඩි ගණනක් නැරඹීමේ අවස්ථාව උදා කරල තිබුණා. ටෙලි නාට්‍යයේ ඊළඟ කොටස එනකම් විවිධ වූ සාකච්ඡාත් අපි අතර ඇතිවුණා. ඉස්සර ගමේ හැමෝටම ටෙලිවිෂන් නොතිබ්බ නිසා සාමාන්‍යයෙන් ටෙලිවිෂනයක් තියන ගෙදරක නාට්‍ය බලන්න හත් අට දෙනෙක්වත් එකතු වෙනවා. මෙහෙම අහල පහල බාල, මහලු, තරුණ පිරිස් එක්ක එක්කාසු වෙලා කතා බහ කරන ගමන් ටෙලි නාට්‍ය බලපු ඒ කාලෙ හරිම රසවත්. දැන්නම් ඉතින් ටීවී එකක් නැති ගෙයක් හොයාගන්නත් අමාරුයි. ටෙලිනාට්‍ය කලාවත් වෙනස් වෙලා. අවාසනාවට මෙගා ටෙලි ආවයින් පසුව එකම නාට්‍යයේ කොටස් 5 සතියේ දින 5ම බලන්නට අපට සිදු වෙලා. අනවශ්‍ය දෙබස් සහ ජවනිකා එක්ක රබර් වගේ ඇදි ඇදී යන ටෙලිනාට්‍ය වලට අපේ රස වින්දනය හුරුවෙන්න පටන් අරන්. මේ නිසා අපේ රසඥතාව මොටවෙලා කියලත් කියන්නට පුළුවන්.
- aniwa.lk
ටිකෙන් ටික අපෙන් ඈත්වෙලා ගිය අතීත සුන්දර විඳීම් 8ක් ගැනයි මේ කියන්නෙ
2018-04-11T00:58:00-07:00
Gossip Lanka Hot News
slide|