බෙල් නොගහ ටාකෝස් (Tacos) කමුද? ඔන්න ගෙදරදීම ලේසියෙන්ම රසම රසට ටාකෝස් හදන හැටි අපෙන්

ඇමරිකාවෙ සෑහෙන ප්‍රසිද්ධ ආහාර ජාලයක් වෙච්ච Taco Bell එකේ ශාඛාවක් ළඟකදි ලංකාවෙත් විවෘත වුනා කියල කට්ටිය දන්නව ඇතිනෙ. මොනවද මේ ටාකෝස් කියන්නෙ, කොහොමද හදන්නෙ කියල හිත හිත ඉන්න අයට ඔන්න අපි ටාකෝස් ගෙදරදීම හදන හැටි කියල දෙන්නයි හදන්නෙ. ටාකෝස් කියන්නෙ තිරිඟු හෝ ඉරිඟු පිටි වලින් හදන රොටියක් මැදට ෆිලින් එකක් දාපු සම්ප්‍රදායික මෙක්සිකානු කෑමක්. මෙක්සිකානු ස්වදේශිකයන් ටෝටියා වල මැදට කුඩා මාළු වර්ගයක් එකතු කරල කෑමට ගත්ත බවටත් ටාකෝ බිහි වීම එයින් සිදු උනා කියලත් රිදී පතල් ආශ්‍රිතව 19වන ශතවර්ෂෙදි ටාකෝ
බිහි උනා කියලත් විවිධ මත ටාකෝ ඉතිහාසය ගැන තියෙනව. කොහොම උනත් කවුරුවත්ම ටාකෝ වල ආරම්භය ගැන පැහැදිලිව සඳහන් කරන්නෙ නැහැ. ටෝටියා කියන මෙක්සිකානු ෆ්ලැට් බ්‍රෙඩ් එකට විවිධ වර්ගයේ පිරවුම් එකතු කරලයි ටාකෝ එකක් නිර්මාණය වෙන්නෙ. රස කොහොමද කියල හදලම බලමු නේද?

1. ටෝටියා හදමු

ටාකෝස් හදන්න නම් මුලින්ම ටෝටියා එක හදන් ඉන්න ඕන. මේකට ඉරිඟු පිටි හෝ තිරිඟු පිටි දෙවර්ගයම පාවිච්චි කරන්න පුළුවන්. ඉරිඟු පිටි කිව්වෙ කෝන් ස්ටාර්ච් එහෙමත් නැත්නම් චොප්සි හදන්න ගන්න කෝන් ෆ්ලා වලට නම් නෙවෙයි, පොඟවා හොඳින් දිය බේරාගත් වියලි බඩඉරිඟු ඇට කුඩු කරල ගන්න පිටි වලට (Cornmeal). මේවා සුපිරි වෙලඳ සැල් වලින් මිලදී ගන්නත් පුළුවන් ගෙදර හදාගන්නත් පුළුවන්.

ඉරිඟු පිටි ටෝටියා

  1. පාන් පිටි කප් 1 1/2
  2. ඉරිඟු පිටි කප් 1 1/2
  3. බේකින් පව්ඩර් තේ හැඳි 2
  4. ලුණු තේ හැඳි 3/4
  5. උණු වතුර කප් 1


  • වතුර හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. එයට වතුර එක් කර හොඳින් අනාගන්න.
  • පිටි ඉසගත් මතු පිටක තබා හොඳින් අනාගන්න. මෙය කොටස් 10කට හෝ 12කට කඩා ගෙන විනාඩි 15ක් පමණ පොලිතින් කවරයකින් වසා තබන්න
  • ඉන්පසු මේ කොටස් රෝලින් පින් එකක් ආධාරයෙන් රවුමට තුනී කරගෙන නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්තම පුළුස්සා ගන්න. 


තිරිඟු පිටි ටෝටියා

  1. පාන් පිටි හෝ ආටා පිටි කප් 2  (Whole Wheat Flour)
  2. බේකින් පව්ඩර් තේ හැඳි 1
  3. ලුණු තේ හැඳි 1/2
  4. ඔලිව් තෙල් මේස හැඳි 2
  5. උණු වතුර කප් 1/2 (අඩුවෙන් හෝ වැඩියෙන්)


  • වතුර සහ ඔලිව් තෙල් හැර හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. එයට මුලින්ම ඔලිව් තෙල් එක කර මිශ්‍ර කර පසුව වතුර එක් කර හොඳින් අනාගන්න.
  • පිටි ඉසගත් මතු පිටක තබා හොඳින් අනාගන්න. මෙය කොටස් 10කට හෝ 12කට කඩාගෙන විනාඩි 15ක් පමණ පොලිතින් කවරයකින් වසා තබන්න.
  • මේ කොටස් රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගෙන නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්තම පුළුස්සා ගන්න.



2. ක්‍රිස්පි ටාකෝ ශෙල්ස් 

කලින් හදපු ටෝටියා වලට ඕනෙම විදියක පිරවුමක් හදල හෝ ෆ්ලැට් බ්‍රෙඩ් එකක් ආකාරයට කැමති විදියකට කෑමට ගන්න පුළුවන්. මේ ටෝටියා වලින් ටාකෝස් හදාගන්න නම් ක්‍රිස්පි ටාකෝ ශෙල්ස් හදාගන්න ඕන. ඒක හරිම පහසු වැඩක්.
  • සෙල්සියස් 180ට පෙර රත් කරගත්ත උඳුනක විනාඩි 8ත් 10ත් අතර කාලයක් බේක් කරගන්න.
  • ක්‍රිස්පි ටාකෝ. ශෙල්ස් හදාගන්න ටෝටියාස් හදනකොට ටෝටියා එක තැටියේ හුඟක්ම පුළුස්සා නොගන්නත් මතක තියාගන්න


3. ටාකෝ ෆිලින්ග්ස්

කැමති ඕනෙම මස් වර්ගයක් හෝ එළවළු වර්ගයක් මේ ටාකෝස් වල ෆිල්න් එකට දාගන්න පුළුවන්.මේ මස් හෝ එළවළු වර්ග එක්ක ටාකෝස් වලට ග්වාකමෝලි, සල්සා, චීස් සහ සිහින්ව කපාගත් ළූණු, සලාද කොළ, ගෝවා සහ රාබු වැනි අමුවට හැපෙන දෙයක් අනිවාර්යයෙන්ම එකතු කරනව. මේ සියල්ලෙම රසමුසුවක් තමයි ටාකෝ එකක් කියන්නෙ.

සල්සා

  1. උණු වතුරේ දමා පොතු ඉවත් කරගත් තක්කලි 500g
  2. කොත්තමල්ලි කොළ අහුරක්
  3. ළූණු ගෙඩි 1/2
  4. හැලපිනෝ කරල් 2ක් හෝ කොළ බෙල්පෙපර් 1/2ක්
  5. සුදු ළූණු බික් 1
  6. දෙහි යුශ මේස හැඳි 2
  7. ලුණු තේ හැඳි 1/2


  • ළූණු, හැලපිනෝ හෝ බෙල්පෙපර් තරමක් ලොකු කැබලි කපා ගන්න. ඉහත ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩරයටක දමා කෑලි හිටින ලෙස හෝ සම්පූර්ණයෙන් බ්ලෙන්ඩ් වෙන ලෙස කැමැත්ත පරිදි බ්ලෙන්ඩ් කරගන්න.
  • ලුණු සහ දෙහි රස අනුව එකතු කරගන්න. විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

ග්වාකමෝලි

  1. ඉදුණු අලි ගැටපේර ගෙඩියක මදය
  2. ලුණු තේ හැඳි 1/4
  3. ලෙමන් හෝ දෙහි යුශ තේ හැන්දක්
  4. චොප් කරගත් ළූණු මේස හැන්දක්
  5. ඇට ඉවත් කර චොප් කරගත් අමු මිරිස් කරලක්
  6. චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්
  7. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  8. ඇට සහ පොත්ත ඉවත් කර චොප් කරගත් තක්කලි ගෙඩි ½


  • අලි ගැටපේර මදය ගෑරප්පුවකින් හොඳින් පොඩි කරගන්න. අනෙක් ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කර ශීතකරණයේ පැයක් තබාගන්න.


චීස්
චෙඩාර්, මොනටරි ජැක්, පාමසන්, මොසරැල්ලා, ෆෙටා, ස්විස් හෝ රිකොත්තා වැනි චීස් වර්ග මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.



4. ටාකෝස්

ග්‍රිල් කරගත් හෝ BBQ කරගත් ඕනම මස් වර්ගයක් වගේම එළවළු වර්ගයක්, මාළු හෝ ටූනා ටාකෝ වලට ෆිලින් එකට ගන්න පුළුවන්. පුල්ඩ් පෝක්, පුල්ඩ් චිකන්, අඹරාගත් බීෆ්, පෝක්, චිකන් කැමති ආකාරයකට සකසා ගෙන ටාකෝ ශෙල් එකට පුරව ගන්න. එයට උඩින් පිළිවෙලින් ග්වාකමෝලි, සල්සා, ළූණු /ගෝවා/සලාද කොළ සහ අවසානයට චීස් එක් කර පිළිගන්වන්න.

- aniwa.lk

gossip lanka