මහත කොල්ලෙකුට කෙට්ටු වෙන එක හීනයක්. ඒත් ඒකටත් තියෙනව පිළිවෙලක්

මේ කියන ටික ලියන්න විස්තර දීපු මහත කොල්ල මේ කතා ටික කිවුවෙ දුකෙන්. පොරට අනුව මේ අනුපිළිවෙලට තමුන්ගෙ කෙට්ටු හීනය දැකපු තවත් අය ඉන්නව. සාර්ථකව කෙට්ටු වෙච්ච මිනිස්සුත් ඒ අතර හිටියත්, ඒ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. කොච්චර අඩුවෙන්ද කියනවනං අනුරාධපුරේ මහත කොල්ල වගේම, මොරටුමුල්ලෙ මහත කොල්ලත් ඔය විදියට කෙට්ටු වුනා කියල දන්නෙ එකම එකෙක්ව. දන්න කියන මිනිස්සු කරන්නෙත් ඒ කෙට්ටු වෙච්ච කොල්ලගෙ ජීවිත කතාව රට වටේම ඉන්න මහත කොල්ලන්ට විකුණ විකුණ යන එක. ඒ විදියට බාහිර පරිසරයෙන් පදම් වෙච්ච මහත උන්ගේ
ශෝකාලාපය අහන්න ආරාධනා කරනව ඔයාලට.

1. හේතු

කොල්ලෙකුට කෙට්ටු වෙන්න හිතෙන හේතු ගොඩකට මහත කොල්ලෙකුට එක පාරම මුහුණ දෙන්න වෙනවා. බස් එකේ හිර වෙලා යන්න තියෙන අමාරුව, ෂර්ට් බොත්තම් අස්සෙන් බඩ පැනීම සහ ඇඳුම් සයිස් නොතිබීම, ඇඟ උඩ වැටෙන බඩට තරුණියන්ගේ ඇති අකමැත්ත, අහල පහළ උන්ගෙන් අහන්න වෙන අ‍ඳෝනා, නළුවො අඳින ඇඳුම් තමුන් ඇන්දම ඒ ලස්සනටම නොපෙනීම වගේ හේතු ගොඩක් එක්ක මුලින්ම කෙට්ටු වෙන්න ඕන කියන අදහස මහත කොල්ලොන්ගෙ ඔළුවට ගහනවා. අන්ත කම්මැලිකමෙන් පිරිච්ච දුකකින් මේ රත්තරන් බඩෙන් මිදෙන්න උන් හිතාගන්නවා.

2. ඩේලි එක්සසයිස්

ඔන්න වැඩේ. යූටියුබ් බලලා අල්ලගන්නව රිදෙන්න එක්සසයිස් ටිකක්. මුල්ම දවසෙ එලාම් තියලා පැයක් එක්සසයිස් කරන්න හිතාගෙන වැඩේ පටන්ගන්නව. මුල් එක්සසයිස් දෙක තුනම අමාරු නිසා ඒවා තියනවා ඉස්සරහ සති වලට. පටන් ගන්නව ලේසි එකකින්. පැය දෙකක් විතර එක්සසයිස් කරල බලද්දිත් ගිහින් තියෙන්නෙ විනාඩි දොළහයි. යාන්තං මැරෙන ගානට එක්සසයිස් කරාමත් විනාඩි විස්සයි. ඒකෙනුත් විනාඩි තුනක් විතර වතුර බොන්නයි, චූ කරන්නයි හති අරින්නයි යවන්න ඕන. ඔන්න අති සාර්ථක ලෙස විනාඩි 17ක සාර්ථක එක්සසයිස් සෙෂන් එකකට පස්සෙ ඒ වැඩේ අල්ලලා දාන්න තීරණය කරනවා.

3. ද මැෂින්

ඔය අක්‍රමික යූටියුබ් වැඩ හරියන්නෙ නැහැ මහත්තයො අපිට. සල්ලි සල්ලි කියල නොබල ගෙනාවෙ එක්සසයිස් මැෂිමක්. නම දිගයි පිටු තුනක් විතර. ඒකත් එක්ක හම්බුනා කෑලි 18ක්. එයින් 7කින් කරන දේවල් මොනවද කියල හිතාගන්නවත් බැරි නිසා දන්න කෑලි ටිකෙන් එක්සසයිස් කරන්න පටන් ගත්තා. පටන් ගත්ත මුල්ම දවස ටිකක් අවුල්. මැෂිම උඩ වාඩි වෙලා මම හීන දැක්කෙ පාරෙ යන කෙල්ලො ෂාරුක් අයියට වගේ අස්සන් කරන්න කියල ටීෂර්ට් උස්ස උස්ස මං ගාවට එනව. ටිකක් වෙලා බලද්දි මැෂිම උඩම නින්ද ගිහින් මට. මැෂිම පුරෝල දාඩිය. මුලින්ම මැෂිම පිහිදාලා ආයෙ මම එක්සසයිස් කළා. ඔය විදියට ගෙවෙන 9වෙනි දවසෙදි මට කාමරේට එන්න හිතෙන්නෙ නැති තරමට මේ මැෂිම අපුල ජනක හැඟීමක් ගෙනදුන්නා.


4. ඩයට් එක්ස්පර්ටී

මැෂිම විකුණුවා. ටිකක් පාඩුයි තමයි ඒත් ඔය කාමරේ පුරෝගෙන රෙදි වනනවට ‍වඩා හොඳ නිසා මං විකුණුවා. මදි පාඩු සල්ලි ටික හොයාගන්නයි බඩත් අඩු කරගන්නයි මං පටන්ගත්තා අලුත් වැඩක්. ඩයට් වැඩක්. මොන ඩයටීෂියන්ලද යකෝ අපිට. අපිමයි ඒව තීරණය කරන්නෙ. උදේට කන්නෙ පොඩි දෙයක්. මුලින්ම කෑවෙ කඩල මුලක්. පස්සෙ පස්සෙ වෙද්දි කඩල මුලට අමතරව ආනමාලු කෙසෙලයි, කිරි තේකයි, ටී බනිසයි එකතු වුනා. තවත් කල් යන‍කොට ඒකට ඉඳි ආප්ප මුලකුත් එකතු වුනා. දවල් කෑම කොහොමත් කෑවෙ ෂේප් එකක්. රෑ එක තමයි ගේම් චේන්ජර් එක. රෑට කනව හොඳට හයාමාර වෙනකොට. එහෙම කාපු සති දෙකට මගේ ඇඟට ෆුල් සැහැල්ලුවක් දැනුනා. ඒත් රෑට නින්ද යන්න හොර වෙච්ච ගතියකුත් මට දැනුනා. ඊටපස්සෙ දහයටත් යෝගට් දෙකක් විතර දාගන්න පටන්ගත්තට පස්සෙ මගේ කුඩා මොළේට වැටහෙන්න ගත්තා මේකත් හරියන කෙලියක් නොවෙන විත්තිය.


5. ඇවිදින්නෝ

හැමදේටම හරියන්නෙ ඇවිදීම කියලයි මම විශ්වාස කළේ මුල ඉඳම්ම. ඒත් මගේ ඇඟ බර දරාගෙන ඇවිදිනවා තියා හිටගෙන ඉන්නත් අමාරු සීන් එකක් තිබ්බ නිසා මම මේක මගඇර ඇර හිටියෙ. ඔන්න අන්තිමේ මම පරාජය බාර අරගෙන පටන්ගත්තා ඇවිදින්න. මුලින්ම දවසට කිලෝමීටර් 5ක ටාස්ක් එක ගැහුවා. ඔය විදියට සති දෙකක් ඇවිදිනකොට උදේ ඇහැරෙන එක කම්මැලි වුනා. ඇයි ඉතිං මල පාන්දර ඇහැරෙන්න එපැයි. නැත්තං නිකමටවත් ගමේ ‍එකෙක් මං ඇවිදිනවා දැක්කොත් කාල ඉන්න වෙන්නෙ නෑ.  ඔන්න ඊට පස්සෙ ඒ වැඩේ බස් හෝල්ට් හතරකට සීමා වුනා. එක හෝල්ට් එකක් ඉස්සරහට ඇවිදලා බස් එකට නගිනවා. එක හෝල්ට් එකක් කලින් බස් එකෙන් බහිනවා. බැහැල ඇවිදගෙන යනවා. ඔය විදියට උදේ හවා දෙපැත්තට කරාම බස් හෝල්ට් හතරක් කවර් කරගන්න පුළුවන්. ඒත් සීට් හොයාගන්න තියෙන අපහසුව, හිටගෙන හිරවෙලා යනව මදිවට ඇවිදින අමාරුවත් තියාගෙන යන්න වෙන එක, ට්‍රයි කරන කෙල්ලො දැක්කම බඩ තියාගෙන බස් එකට නගින්න හිතෙන එක වගේ හේතු නිසා ඒකත් අතෑරුනා.

 6. ලේසි ක්‍රම

ඔය ඔක්කොම අතෑරලා මම ලේසි ක්‍රමවලට අතගැහුවෙ ඊටපස්සෙයි. කෙට්ටු ටී කියයි, ග්‍රීන් ටී කියයි, කොහිලයි, අලයි, ඉඟුරුයි බන්ඩක්කයි එකට දාලා හදපු, පෙප්සියි මීකිරියි දාල හදපු, උණු වතුරයි, දෙහියි, ඉඟුරුයි, සුදුළූණුයි දාලා හදපු එක එක ජාතියෙ විශ්ව කර්ම බෙහෙ‍ත් කියයි, ඊබේ එකෙන් ගෙන්න ගත්තු කෙට්ටු වෙන බෙහෙත් කියයි ජාති ගොඩයි. ඔක්කොමත් හරි ගාණ ගෙවලා ගත්තා කියහංකො. ඔවුව බොන්න පුළුවන්ද? බඩ අඩුවෙන්නෙ වමනෙ ගිහින්ද කොහෙද? හරි යන්නෙ නෑ මහත්තයො. අල්ලලා දැම්මා.

7. අන්තිමට

ඩයරියේ අන්තිම චැප්ටරේ. දැන් මම මහන්සි වෙලා සල්ලි හොයනවා. කන්නවත් වෙලාවක් නෑ. සල්ලි ඉතුරු කරන්න ඕන නිසා මම පයින් යනවා. වෙනදා බොන සතියට බියර් දොළහේ කෝටා එකත් නැවැත්තුවා. මේ ඔක්කොම කරේ කෙට්ටු වෙන්න හිතාගෙන නෙමෙයි. බඩ කපලා දාන සැත්කමට සල්ලි හොයාගන්න. සල්ලි හොයන්න ගිහින් කරපු කැපකිරීම් ටික නිසා දැන් පොඩි ඇඟ අඩු සහනයකුත් නොදැනෙනවාම නෙමෙයි ඉතිං. ඒ හින්දා මම දැන් ඇඟ වදයක් කරගෙන නෑ. සැත්කම් ඕනෙත් නෑ. තියෙන විදියට ඉන්නව ඉතිං. ෂේප්. ෆිට් එකේ ඉන්නවනං හුරතල් බඩක් තිබ්බට මොකද මෙයා?

- aniwa.lk



gossip lanka