ගුණදායක ලෙස ගෙදරදීම මල්ටිග්‍රේන් සහ හෝල් වීට් පාන් හදාගන්න කැමති ඔබට ඔන්න අපෙන් පහසු රෙසිපි

මල්ටිග්‍රේන් (Multigrain) හෝ හෝල්වීට් (Whole Wheat) එහෙමත් නැත්නම් බහුධාන්‍ය සහ නිවුඩ්ඩ සහිත තිරිඟු පිටි වලින් හදන පාන් බනිස් වර්ග දැන් දැන් ලංකාවෙ ජනප්‍රියයි. සෞඛ්‍ය සහ පෝෂණය ගැන සැලකිලිමත් ජීවන රටාවක් ගෙනයන අය අතර තමා වඩාත්ම ප්‍රචලිත. අනිවා අපි හිතුවා එහෙම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන ඔබට කඩෙන් වගේ එක එක රසකාරක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැතුව නැවුම්ව ගෙදරදීම මේ පාන් ගෙඩියක්
හදාගන්න හැටි කියල දෙන්න.



මොනවද මේ මල්ටිග්‍රේන් පිටි කියන්නෙ?

මල්ටිග්‍රේන් පිටි කියන්නෙ ධාන්‍ය වර්ග කීපයක එකතුවෙන් හදපු පිටි වර්ගයකට. සාමාන්‍යයෙන් තිරිඟු, බඩ ඉරිඟු, ඕට්ස්, කුරක්කන්, කඩල, මුංඇට වගේ ධාන්‍ය කීපයක් සම ප්‍රමාණ වලින් අරගෙන, යන්තම් කබලෙ වෙන වෙනම රත් කරල, පිටි වෙනකම් අඹරගෙන තමා මල්ටිග්‍රේන් පිටි හදාගන්නෙ. කැමති ඕනම ධාන්‍ය වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මල්ටිග්‍රේන් පාන් හදන්න මේ විදියට ගෙදරදීම මේ පිටි එක හදාගන්නත් පුළුවන්. නැත්නම් මල්ටිග්‍රේන් පිටි පැකට් එකක් කඩෙන් ගන්නත් පුළුවන්. හෝල්වීට් පාන් එකක් හදනවනම් ආටා පිටි පැකට් එකක් කඩෙන් ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය (මෙශරින් කප්ස් වලින් දක්වා ඇත)


  1. මල්ටිග්‍රේන් පිටි කප් 1 1/2
  2. පාන් පිටි කප් 4 1/2
  3. උතුරන වතුර කෝප්ප 1 3/4
  4. බටර් මේස හැඳි 4 (කාමර උෂ්ණත්වයේ තබාගත්)
  5. මී පැණි කප් 1/3
  6. යීස්ට් තේ හැඳි 4 1/2
  7. ලුණු තේ හැන්දයි
  8. උඩින් ඉස ගැනීමට තල හෝ ඕට්ස් කප් 1/4

  • බෝල් එකකට මල්ටිග්‍රේන් පිටි එක් කර එයට උතුරන වතුර දමා මිශ්‍ර කර නිවෙන්නට පසෙකින් තබන්න.
  • හොඳින් නිවුණු පසු මුලින්ම බටර් දමා කලවම් කරගන්න. පසුව මී පැණි එක් කර කලවම් කරගන්න. එයටත් පසුව යීස්ට් දමා කලවම් කරගන්න. මෙය මේ පිලිවෙලටම කරන්න මතක තබාගන්න.
  • මේ මිශ්‍රණයට පාන් පිටි වරකට එක කප් එක බැගින් එක් කරමින් වරකට විනාඩි 10 බැගින් අනාගන්න. තෙත මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වසා පැයක් පසෙකින් පිපෙන්නට තබාගන්න.
  • පැයකට පසු ලුණු ස්වල්පයක් එක් කර මිනිත්තු තුන හතරක් නැවත අනාගන්න. නැවතත් පැයක් පෙර පරිදිම වසා තබන්න.
  • පාන් තැටි දෙකකට හොඳින් බටර් ගාගන්න. පිපුන පිටි මිශ්‍රණය දෙකට කපා අතින් හැඩය සකස් කර පාන් තැටි වලට දමා ගන්න. අවන් එකට දැමීමට පෙර තවත් පැයක් පිපෙන්නට හරින්න.
  • තල ඇට හෝ ඕට්ස් උඩින් ඉස සෙල්සියස් 190ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 35ක් රන් වන් පැහැ වනතුරු බේක් කරගන්න. බේක් වූ පසු තැටියෙන් ඉවතට ගෙන නිවෙන්න තබාගන්න.
පූර්ණ තිරිඟු පිටි පාන්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන්පිටි කප් 3
  2. පූර්ණ තිරිඟු පිටි කප් 3
  3. යීස්ට් මේස හැඳි 2
  4. සුදු සීනි තේ හැඳි 1/2
  5. මද රස්නෙ වතුර කප් 1
  6. බටර් මේස හැඳි 4 (කාමර උෂ්ණත්වයේ තබාගත්)
  7. බිත්තර 1
  8. ලුණු තේ හැඳි 2
  9. තෙල් මේස හැඳි 1
  10. ෆ්‍රෙශ් මිල්ක් කප් 1 (කාමර උෂ්ණත්වයේ තබාගත්)
  11. දුඹුරු සීනි කප් 1/3

  • යීස්ට් සහ සුදු සීනි මද රස්නය ඇති වතුර සමඟ මිශ්‍ර කර විනාඩි 15ක් පසෙකින් තබාගන්න. ඒ අතරතුර බටර්, දුඹුරු සීනි, බිත්තර, කිරි සහ ලුණු එකට මිශ්‍ර කර විස්ක් කරගන්න.
  • එය හොඳින් මිශ්‍ර වූ පසු පූර්ණ තිරිඟු පිටි වරකට එක කප් එක බැගින් කිරි මිශ්‍රනයට එක් කරමින් හොඳින් අනාගන්න. දැන් මෙයට යීස්ට් මිශ්‍රනය එක් කර හොඳින් මිශ්‍ර කරමින් අනාගන්න. මෙය හොඳින් මිශ්‍ර වීමට ටිකක් වැඩි පුර වෙලා අනාගැනීමට සිදු වේවි.
  • ඉන් පසු එයට පාන් පිටි වරකට කප් 1/2 බැගින් එක් කරමින් හොඳින් අනන්න. පිටි සියල්ලම එක් කල පසුත් ඩෝ එකේ තෙත ගතියක් තිබේ නම් වරකට පිටි මේස හැන්ද බැගින් එක් කරමින් නොඇලෙන ඩෝ එකක් අනාගන්න.
  • පැයක් තෙත මිරිකී පිරිසිදු රෙද්දකින් වසා පසෙකින් තබන්න. පැයකට පසු ගෙන අතින් තද කරමින් නැවත විනාඩි 5ක් පමණ වාතය පිට වන තුරු අනාගන්න.
  • පාන් තැටි දෙකකට බටර් ආලේප කර මිශ්‍රනය දෙකට කපා අතින් පාන් ගෙඩියේ හැඩය සකස් කර තැටි වලට දමාගන්න.
  • නැවතත් පෙර සේම වසා පැය භාගයක් හෝ විනාඩි 40ක් තබන්න.
  • සෙල්සියස් 190ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 30-35ක් බේක් කරගන්න. බේක් වූ පසු තැටියෙන් ඉවතට ගෙන නිවෙන්න තබාගන්න.



gossip lanka