දරු ප්‍රසූතියකින් පසු ඔබේ සිරුර යථා තත්ත්වයට අරගන්න අපෙන් පුංචි උදව්වක්… අළුත් අම්මලාටම විශේෂයෙන් කියවන්න උපදෙස් 6ක්

දරුවෙක්  ලැබුණට පස්සෙ බොහෝ දුරට අම්මල තමන් ගැන හිතන එක අතෑරලම දානව. දරුවට අවුරුදු තුනක් හතරක් වෙලා මොන්ටිසෝරි වයසට ආවමයි තමන්ගෙ ශරීර ස්වභාවය සහ පෙනුම ගැන කල්පනා කරන්නෙ. ඒත් ඒ වෙද්දි මේ ගැන හිතන්න පරක්කු වැඩියි. දරුවෙක් ලැබුණ ගමන් “මං දිහා දැන් කවුරු බලන්නද මම දැන් අම්ම කෙනෙක්” කියන තරුණ අම්මල ඕන තරම්. ඒත් කවුරුවත් බලනවට නෙවෙයි
තමන්ගෙ විවාහ ජීවිතේ වගේම සෞඛ්‍ය ගැන හිතනව නම් පෙනුම සහ නිරෝගීකම කියන දේවල් ගැනත් අවධානය යොමු කරන්නම ඕන. ඊටත් දරුව ලැබුනට පස්සෙ ඔබ ඔබ ගැනම තියෙන සැලකිල්ල වැඩි කරන්නම වෙනව දරුවත් එක්ක දුවල පැනල ක්‍රියාශීලීව ඉන්න නම්. මේ කියන්න හදන්නෙ දරුවෙක් ලැබුණ අම්ම කෙනෙක්ට තමන්ගෙ ශරීර ස්වභාවය නැවත යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය උපදෙස් ටිකක්. හැබැයි ඒ ගැන කියන්න කලින් මතක් කරනව තමන්ගෙ සෞඛ්‍ය ගැටළු ගැන අවබෝධයෙන් වෛද්‍ය උපදෙස් එහෙම ලබාගෙන මේ කියන දේවල් අනුගමනය කරන්න ගන්න කියල. හිතුමතේට ව්‍යායාම කරන්න සුදුසු නෑ වගේම පෝශණය ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනව.

1. ප්‍රසූතියෙන් කොච්චර කාලෙකට පස්සෙ ව්‍යායාම පටන් ගන්නද?

මේකට මෙන්න මේ කාලෙන් පස්සෙ පටන් ගන්න කියල නිශ්චිත කාලයක් කියන්න අපහසුයි. මේකට හුඟක්ම ඔයාලගෙ සෞඛ්‍ය තත්ත්වය බලපානව. නෝමල් ඩිලිවරි එකක් උනත් සීසර් ඩිලිවරි එකක් උනත් දරු ප්‍රසූතියක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. ශරීරය අභ්‍යන්තර වෙනස් වීම් යථා තත්ත්වයට එන්න සහ සුවපත් වෙන්න යම් කාලයක් ගත වෙනව. හුඟක්ම නිරෝගී අම්ම කෙනෙක්ට නම් ප්‍රසූතියෙන් සති 6කට පස්සෙ සුළු වශයෙන් ව්‍යායාම කරන්න පටන් ගන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම ආරම්භ කරන්න සුදුසු කාල වකවානුව තීරණය කරන එක තමා වඩාත්ම සුදුසු.

ව්‍යායාම ආරම්භ කිරීමට සුදුසු කාලය අඩු වෙන්නෙ ගැබිණි සමයේදී ඔයාලා කොයි තරම් ක්‍රියාශීලීව හිටියද කියන එක අනුවයි. ගර්භණී කාලයේදී කිසිම වැඩක් නොකර ව්‍යායාම නොකරම හිටිය කෙනෙක්ට නම් ප්‍රසූතියෙන් පසු ව්‍යායාම ආරම්භ කිරීමේදී අපහසුතා ඇති වෙන්න පුළුවන්. එකවර ලොකු කාලයක් හෝ වැඩි ව්‍යායාම ප්‍රමාණයක් කරන්න පටන් ගැනීම සුදුසු නැහැ.

2. මව් කිරි දීමෙන් වාසියක් තියෙනවද?

බහුතර මතය තියෙන්නෙ මව්කිරි දීමෙන් මවගේ ශරීරය වැහැරෙනව කැත වෙනව කියල. පමණට වඩා පෙනුම ගැන වද වෙන සමහර අම්මල දරුවට මව් කිරි දීම ඉක්මණින්ම නවත්තල පිටි කිරි වලට යොමු කරනව. ඒත් ඇත්තටම ගත්තොත් මව් කිරි දරුවාට දීමේ වාසිය දරුවාට පමණක් නෙවෙයි ඔබටත් අත්විඳින්න පුළුවන්.

මව්කිරි දෙන සමයේදී ඔබ ලබාගන්නා අමතර කැලරි දහනය වීම වේගවත් නිසා ඔබේ බර සමබර වීමට මෙය අනිවාර්යෙන් ඉවහල් වෙනව. ඒ වගේම දරුවාට මව් කිරි දීමේදී මව් කිරි නිපදවීමත් සිදු වෙන නිසා ඒ සඳහා අවශ්‍ය හෝමෝන වර්ග ශරීරය තුල නිපදවෙනව. මේ ක්‍රියාවලියේදී ගර්භාශ බිත්ති සවිමත් වීමට, ප්‍රසූතියෙන් පසු විය හැකි රුධිරවාහන තත්ත්ව මඟ හැරීමට විතරක් නෙවෙයි ඔබේ අස්ථි සවිමත් වීමද සිදුවෙනව. මව් කිරි නොදෙන කාන්තාවන්ට වඩා මව්කිරි දුන් කාන්තාවන්ට පියයුරු පිළිකා සහ ගර්භාශ පිළිකා ඇති වීමේ අවදානමද අඩුයි කියලයි කියවෙන්නෙ.

3. අමතර කැලරි දහනය කරගන්නෙ කොහොමද?

ඔබ ව්‍යායාම කරන්න ගන්න මුල් කාලෙදි ඔබට ඒ තරම් බරපතල හෝ අධික වෙහෙස වෙන ව්‍යායාම කරන්න සුදුසු නැහැ. නමුත් ඔබ ලබාගන්නා අමතර කැලරි දහනය වීමට නම් ඔබේ හදගැස්ම වේගවත් වෙන ක්‍රියාවල නිරත වෙන්න ඕනෙ. මේ සඳහා පොඩි පොඩි විසඳුම් කීපයක්ම තියෙනව. ලොකු එක්සයිසස් කරන්න ඔබේ ශරීරය සූදානම් කරගන්න ඕනෙ ටිකෙන් ටික. මේ කියන ව්‍යායාම ඔබ මුලින් මුලින් කරන්න ඕන සුළු වශයෙන්. වැඩි ස්ටෙප්ස් ප්‍රමාණයක් එකවර කරන්න එපා. ඇවිදීම, නැටීම වගේම මේ එක්සයිසස් ටිකත් ඔබේ උදර මාංශපේශීන් ශක්තිමත් කරගන්න පහසුවෙන් කරන්න පුළුවන්.

ඇවිදින්නට යාම – ඇවිදින්න යන එක වඩාත් හොඳයි. හැබැයි මග දිගට නතර වෙවී හම්බෙන අය එක්ක ඕපාදූප කතා කරමින් නෙවෙයි. ව්‍යායාමයක් විදියට ඇඟට දැනෙන්න හාට් රේට් එක වැඩි වෙන්න ඇවිදින්න.

නටන්න – ඇවිදින්න යන එක හැමෝටම කරන්න බෑනෙ. එහෙම බැරි අයට මේක හොඳ විසඳුමක්. නටන්න පුළුවන් සින්දුවක් දාන් හති වැටෙනකන් නටන්න. බබාව වඩාගෙන උනත් නටන්න පුළුවන්. ඒකෙන් අම්මගෙයි බබාගෙයි සම්බන්ධතාවයටත් පාරක් කැපෙනව. අඬන බබෙක් නලව ගන්නත් මේක හොඳ උපායක් වෙන්න බැරි නෑ ඔබට ව්‍යායාමයක් ලැබෙන ගමන්ම.

එක්සසයිස් මැශින් එකක් – මේ කියන්නෙ කරන්න අමාරු තරමෙ ලොකු වැඩ තියෙන මැශින් එකක් නෙවෙයි. මේන්න මේ වගේ එලිප්ටිකල් මැශින් එකක් ගැන. ඔබ ඉන්නෙ නගරබදව නම් ඇවිදින්න යන්න තරම් කාලයක් නැත්නම් නටන එක වගේම ගෙදරදීම පැය භාගයක් වෙන් කරන් මේ වගේ ව්‍යායාමයක ඔබට නිරත වෙන්න පුළුවන්.

හුස්ම ගැනීම සමඟ උදර මාංශ පේශීන් තද කිරීම – මේක ඔබට දරු ප්‍රසූතියෙන් දවසකට දෙකකට පස්සෙ උනත් කරන්න ගන්න පුළුවන් සරල ව්‍යායාමයක්. මෙයින් ඔබේ උදර මාංශ පේශීන් වල ශක්තිමත් බව ඇති කරනව. කොන්ද කෙලින් තබා වාඩි වී පපුවට හුස්ම පිරෙන පරිදි උදර මාංශ පේශීන් තද කරගෙන දිගු හුස්මක් ගන්න. මාංශ පේශීන් තද කරගෙනම මද වේලාවක් රඳවාගෙන සිට හුස්ම පහල හෙලන්න. හුස්ම පහල හෙලීමේදී උදර මාංශ පේශීන් ලිහිල් කර හුස්ම පහල හෙලන්න. ටිකෙන් ටික හුස්ම රඳවා ගන්නා වේලාව වැඩි කරන්න.

4. නිවැරදිව ආහාර ගන්නේ කොහොමද?

මුල් මාස හයේදි දරුවා යැපෙන්නෙ ඔබේ මව් කිරි වලින් පමණයි. ඔබගේ වගේම දරුවාගේ පෝශණ අවශ්‍යතා සපිරෙන විදියට ආහාර ලබා ගැනීම ඉතා වැදගත්. එහෙමයි කියල බත් පිඟන් දෙකක් විතර කන එක ඔබේ සෞඛ්‍යට කොහෙත්ම සුදුසු නෑ. මව් කිරි දෙන මවකට නිවැරදි ආහාර රටාවක් අත්‍යාවශ්‍යයි. නිසි පෝශණය ලබාගන්නා ගමන්ම සිරුර යථා තත්ත්වයට ගෙන ඒමට ඔබට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක් විතරයි. මස්, කුඩා මාළු වර්ග, එළවළු පළතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න අතරම අධික තෙල් සහ පිටි බහුල ආහාර අඩු කරන්න. ෆැට් අඩුවෙන් ලබාගෙන ඔබටත් දරුවාටත් අවශ්‍ය කැලරි ප්‍රමාණය මස්, මාළු සහ එළවළු වලින් ලබාගන්න. වෛද්‍ය උපදෙස් මත අමතර විටමින් සහ ඛණිජ අවශ්‍යතා සපුරාගන්න.

5. කොහොමද මේ ඔක්කොම මැනේජ් කරගන්නෙ?

ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් පවුල් සංස්ථාව එන්න එන්නම කුඩා වෙලා. ඉස්සර නම් දරුවෙක් ලැබුනම අම්ම අතට දරුව එන්නෙ කිරි ටික බොන්න විතරයි. දරුව බලාගන්න ඒ තරම් කට්ටිය ගෙදර ඉන්නව. තරඟකාරී ජීවන රටාවත් එක්ක දැන් දරුවෙක් ලැබුනම අම්ම කෙනෙක්ට තනියම වැඩ කරගන්න වෙන අවස්ථා වැඩියි. එහෙම අම්ම කෙනෙක්ට මේ කියන දේවල් කරන්න කාලය කළමණාකරණය කරගන්න එක ලේසි නැහැ. මේ සඳහා ඔබට ඔබේ සැමියාගේ උදව් අනිවාර්යෙන් අවශ්‍යයි.

අළුත උපන් බිළිඳෙක් දවසෙන් වැඩි හරියක් කරන්නෙ නිදාගන්න එක. මේ නිදි වේලාවෙන් ඔබට දවසකට පැය භාගයක කාලයක් සුළු ව්‍යායාම ටිකක් කරන්න වෙන් කරගන්න බැරිකමක් නැත්තෙ නැහැ. එහෙමත් නැතිනම් සැමියා දරුවා සමඟ ගත කරන කාලයේදී ඔබට ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ ව්‍යායාමය වගේ දේවල් ඔබට ඕනෙම වෙලාවක කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ පුංචි උනන්දුවක් පමණයි. පැය 24ක දිගු දවස තුල ඔබ වෙනුවෙන් පැය භාගයක් වෙන් කරගන්න පොඩි උත්සහයක් කලොත් බැරි නැහැ.

6. මතක තියාගන්නම ඕන මොනවද?

මව්කිරි වලින් වැඩි ප්‍රතිශතය ජලය. පළමු මාස 6 තුල දරුවාගේ ජල අවශ්‍යතාවය සපිරෙන්නෙත් මව් කිරි වලින්. මේ නිසා කිරි දෙන මවක් විජලනයට ලක්වීම දරුවාටත් මවටත් දෙදෙනාටම සුදුසු නැහැ. හොඳින් වතුර පානය කරන්න. ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි ලෙස පවත්වා ගැනීමට වතුර පානය කිරීම ඉතා වැදගත්. ඒ වගේම වතුරෙන් බඩ පිරෙන තරමට ඔබ අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත් වැලකෙනව. නිතරම වතුර බෝතලයක් ලඟ තියාගන්න.

නින්ද ඔබට මේ කාලෙදි ලබාගන්න අමාරුම සම්පතක් කියල නොදන්නව නෙවෙයි. ඒත් දවසකට ඔබ ප්‍රමාණවත් නින්දක් ලැබිය යුතුමයි. ප්‍රබෝධමත් බවින් අඩු වුනාම ඔබ එක්සසයිස් නොකර ඉන්න පෙලඹෙන එක සාමාන්‍යයි. නින්ද අඩුකමින් විඩාබර වෙන එක ඔබේ සිරුර යථා තත්ත්වයට ගෙන එන්න තියෙන ලොකුම බාධාවක්. මේ නිසා හැකිතාක් සුවබර නින්දක් ලබාගන්න උත්සහ කරන්න. අඩුම තරමින් සති අන්තයේ සැමියා නිවසේ ඉන්න නිවාඩු දිනයන් වලවත් ඔබ ඔබේ නින්ද සපුරාගැනීමට ඔහුගෙන් දරුවා බලාගැනීමට උදව් ලබාගන්න.

අවසාන වශයෙන් කිව්වට මේක තමා වැදගත්ම දේ. “ඉවසීම” මේක ඉතාම වැදගත්. දවස් දෙක තුනක් එහෙමත් නැත්නම් සතියක් මේ විදියට ව්‍යායාම කලා කියල ඔබට ඔබේ තිබුණ සිරුර ලබාගන්න බැරි බව මතක තියාගන්න ඕනෙ. දරුවෙකු කුසට ආදා පටන්ම ඔබේ සිරුර වෙනස් වෙන්න පටන් ගන්නව. ඒ කියන්නෙ මාස නමයක් පුරා ඔබේ සිරුර මේ තියෙන තත්ත්වයට එන්න ටිකෙන් ටික වෙනස් වෙනව වගේම තමා නැවත ඔබ හිටපු තත්ත්වයටම පත් වෙන්නත් ඒ තරම්ම කාලයක් ගත වෙන්න පුළුවන්. මේ නිසා ටික දවසක් මේ රූටීන් එකට වැඩ කරල කිසි වෙනසක් උනේ නැහැයි කියල අත ඇරල දාන්න එපා. ඉවසීමෙන් මේ හැමදෙයක්ම කරන්න.


- ආයෙමත් මතක් කරනව. ගර්භණී සමයේ ව්‍යාකූලතා ඇති උන සහ ප්‍රසූතියේදී ගැටළු මතු වුන මව්වරුන් අනිවාර්යෙන්ම දරු ප්‍රසූතියෙන් පසු ව්‍යායාම කිරීමට ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න. මීට අමතරව ඔබේ පවතින සෞඛ්‍ය ගැටළු වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට ව්‍යායාම ඇරඹීමට සුදුසු කාල වකවානුව ගැන තීරණයකට එන්න. හිතුමතේට මේ දේවල් කිරීම ඔබට හානිකර විය හැකියි.

- aniwa.lk


gossip lanka