ඇඟිලි වලින් අරන් කෑවම ඇඟිලි ලෙවකන්න හිතෙන රසම රස ෆින්ගර් ෆුඩ්ස්(Finger foods) 5ක්

ෆින්ගර් ෆුඩ්ස්( Finger foods) … දැන් දැන් හුඟක් පාටි වලදි දකින්න ලැබෙන අංගයක් බවට පත් වෙලා. ගෙදර පොඩි පහේ පාටි එකකදි මේ වගේ ෆින්ගර් ෆුඩ්ස් ටිකක් හදාගන්න පුළුවන් නම් ඒක ලොකු වෙනසක් පාටි එකට එක් කරාවි. මේවා ඉතින් පාටි එකකට හදන්න පුලුවන් කියල අපි කිව්වට ගෙදර ඉන්න වෙලාවක නිවාඩු පාඩුවේ හදාගෙන තනියම කන්න බැරිකමකුත් නෑ

වැඩිය කරදර නොවී ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆින්ගර් ෆුඩ්ස් 5ක රෙසිපි අපි ගෙනාව. හදල බලල
අපිටත් රස කියන්න අමතක කරන්න එපා හැබැයි…
1. Sweet Potato Chips with Cheesy Avocado Dip

“බතල වලින් මොන ෆින්ගර් බයිට්ස්ද? තම්බල කනව මිසක්”, එහෙම නේද නම දැක්ක ගමන් හිතුනෙ. මෙහෙම හදල බැලුවොත් එහෙම කියන එකක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තරමක් මහත බතල අලයක්
  2. ලුණු
  3. ගම්මිරිස් කුඩු
  4. චීස් වෙජස්
  5. ඉදුනු අලි ගැට පේර
  6. ඔලිව් තෙල්
  7. දෙහි ඉස්ම ස්වල්පයක්
  8. ඔලිව් ඔයිල්

  • බතල අලය පොතු හැර අඟල් කාලක පමණ ඝනකමක් හිටින ලෙස පෙති කපා ලුණු තවරා ගැඹුරු තෙලේ රන් වන් පාට වනතුරු බැදගන්න.
  • චීස්, ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි ඉස්ම සහ ඔලිව් ඔයිල් බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරගන්න. (ලුණු, ගම්මිරිස් සහ දෙහි රස අනුව එක් කරගන්න.) එයට වෙනම තරමක් පොඩි කරගත් අලි ගැට පේර එක් කර නැවත මිශ්‍ර කර බැදගත් බතල පෙති සමඟ පිලිගන්වන්න.

2. Mini Pastry with Bacon and Potato

පේස්ට්‍රි ශීට්ස් ගෙදරම හදාගන්න කෙනෙක් නම් එහෙම හදාගන්න. නැත්නම් කඩෙන් ගන්නත් පුළුවන්. පාටි එකකට නම් කඩෙන් අරන් හදන එක පහසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට්ස්
  2. බැදගත් බේකන් (චිකන් බේකන් උනත් ගන්න පුළුවන්)
  3. කැමති චීස් වර්ගයක්
  4. සිහින්ව ලියාගත් පාස්ලි කොල
  5. තම්බා පොඩි කරගත් අල
  6. ලුණු
  7. ගම්මිරිස් කුඩු

  • බේකන් කුඩා කැබලි වලට කඩා චීස්, අල, ලුණු, ගම්මිරිස් සහ පාස්ලි සමඟ මිශ්‍ර කරගන්න.
  • පේස්ට්‍රි ශීට්ස් එකෙන් අඟල් 2කක පමණ කුඩා රවුම් 3ක් කපාගන්න. එකක් මත බිත්තර සාරු තවරා තව රවුමක් තබා අලවා ගන්න. ඉතුරු රවුමේ මැදින් අඟලක පමණ රවුම් කොටසක් ඉවත් කර එය අලවාගත් රවුම් දෙක මත බිත්තර සාරු වලින් අලවා පෙර රත් කරගත් උඳුනක සෙල්සියස් 180ට විනාඩි 15ක් බේක් කරගන්න.
  • සාදාගත් මිශ්‍රණය බේක් කරගත් පේස්ට්‍රි කප්ස් වලට පුරවා රත් වූ උඳුනට දමා නැවත විනාඩි 5ක් බේක් කරගන්න.

3. Mini Sausage  Kieves

මේක නම් ෆින්ගර් බයිට් එකකට වගේම හවසකට කන්න උනත් ගෙදර හදාගන්න පුළුවන්. ලේසියි, රසයි රසම රස ඩිප් එකක් එක්ක බියර් එකක් බොන්න උනත් ගන්න බැරි කමක් නෑ. මිනි සොසේජස් වෙනුවට සාමාන්‍ය සොසේජස් දෙකට තුනට කපල ගන්නත් පුළුවන් සොසේජස් වලට අකමැති නම් කැමති මස් වර්ගයක් උනත් තීරු කපල බැදල ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බා පොඩි කරගත් අල කප් 2
  2. ලුණු
  3. ගම්මිරිස් කුඩු
  4. පාන් පිටි මේස හැඳි 3
  5. බැදගත් මිනි සොසේජස්
  6. බිත්තරයක්
  7. පාන් කුඩු (බ්‍රෙඩ් ක්‍රම්බ්ස්)
  • අල වලට පාන් පිටි එක් කර ලුණු, ගම්මිරිස් රස අනුව දමා හොඳින් අනාගන්න.
  • සාදාගත් මිශ්‍රනයෙන් ටිකක් ගෙන රවුමට පැතලි කර මැදට සොසේජස් හෝඅ බැදගත් මස් තබා හොඳින් කවර් කරගන්න.
  • බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න. ටූත් පික් එකක් ගසා  පිලිගන්වන්න.
  • චීස් වෙජස්, ලුණු, ගම්මිරිස්, පැප් රිකා, දෙහි සහ සිහින්ව ලියාගත් ලූනු කොල මිශ්‍ර කර සාදාගත් ඩිප් එකක් මේ සමඟ වඩා රසවත්. කැමති නම් තක්කලි සෝස් උනත් ගන්න පුළුවන්.
4. Cheese and Ham Pinwheels

ෆින්ගර් ෆුඩ්ස් කියන්නෙ බඩ පිරෙන්නම කන කෑමක් නෙවෙයිනෙ… මෙන්න මේ විදියට පින්වීල් සැන්ඩ්විච් එකක් හදල තියන්න පුළුවන්. මේක චීස් ඇන්ඩ් හැම් උනාට සැන්ඩ්විච් එක මැදට කැමති ඕනෙම දෙයක් දාල හදන්නත් පුළුවන්. කැරට්, බීට්, අල වගේ එළවළු තම්බල පොඩි කරල ලුණු ගම්මිරිස් එක්ක සලාද කොල එහෙමත් තියල හදාගන්න බැරි කමක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සැන්ඩ්විච් පාන්
  2. හැම් ස්ලයිස්
  3. චීස් ස්ලයිස්
  4. බටර්
  • පාන් පෙත්ත රෝලින් පින් එකකින් හරි වීදුරු බෝතලේකින් හරි තරමක් තලාගෙන බටර් තවරාගන්න.
  • ඒ මත හැම් සහ චීස් පෙති පිලි වෙලින් අතුරා පාන් පෙත්ත රෝල් කරගන්න. ස්විස් රෝල් එකක් වගේ.
  • හදාගත්තු පාන් රෝල් එක ලන්ච් ශීට් එකකින් ඔතල ෆ්‍රීසර් එකේ තියන්න පැය බාගයක් විතර.
  • පාන් රෝල් එක මැදට තැනින් තැන ටූත් පීක් ගසා රෝල් එක අඟල් 3\4ක වගේ මහතට පෙති කපා ගන්න.
5. Guacamole on Crackers

තවත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක් මේ. ඉක්මණට හදාගන්නත් පුළුවන් නිසා පාටි එකක් වෙලාවට හදිසියේ උනත් ලෑස්ති කරගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ලුණු රසැති ක්‍රැකර් බිස්කට්ස්
  2. ඉදුණු අලි ගැට පේර
  3. චොප් කරගත් තක්කලි (ඇට ඉවත් කර)
  4. චොප් කරගත් කොත්තමල්ලි කොල
  5. දෙහි ඉස්ම
  6. ලුණු
  7. ගම්මිරිස්
  8. චොප් කරගත් ලූනු
  • අලි ගැට පේර තරමක් පොඩි කර එයට බිස්කට් හැර අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙය පැයක් පැය බාගයක් පමණ ශීතකරනයේ තබා ගන්න.
  • ක්‍රැකර් එකක් උඩට සාදාගත් මිශ්‍රණය තබා පිළිගන්වන්න. වෙනසක් කරන්න කැමති නම් පොතු ඇරල සුද්ද කරල පෑන් ෆ්‍රයි කරපු ඉස්සෙක් මේ මිශ්‍රණය මත තියන්නත් පුළුවන්.
- aniwa.lk

gossip lanka