උදේ, දවල්, රෑ කෑමට ලේසියෙන්ම හදාගන්න පුලුවන් පාන් රෙසිපි 5ක්

පාන් පාන් පාන්… කාර්යබහුල ජීවිතේ එක්ක රෑ කෑමට එහෙමත් නැත්නම් උදේ කෑමට පාන් එකතු කරගන්න එක පහසුවක් වෙලා. හොද්දක් සම්බෝලයක් එක්ක රෑට කන එහෙමත් නැත්නම් ජෑම් ටිකක් බටර් ටිකක් ගාල දරුවන්ට ඉස්කෝලෙ ගෙනියන්න දෙන පාන් ඊට වඩා රසවත් විදියට වෙනස් විදියකට පහසුවෙන් සකස ගන්න අපිට බැරිද? බලන්න මේ ක්‍රම 5ට පාන් සකස ගන්න එක හරිම පහසුයි. බටර් පාන්
වෙනුවට මෙහෙම හදල දුන්නොත් පොඩ්ඩො අනිවා ආසාවෙන් කයි.

1. Stuffed French Toast උදේට

ෆ්‍රෙන්ච් ටෝස්ට් හදල නිකම්ම කනවට වඩා මෙහෙම හදල බලන්නකො.


  1. බිත්තර 2 ට කිරි කප් 1\4ක් (පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක්), ලුණු චුට්ටක්, ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා හොඳට ගෑරප්පුවකින් බීට් කරගන්න.
  2. පාන් පෙති දෙකක් අරන් මේ බිත්තර මිශ්‍රණයෙන් ටිකක් දාල පොඟවගන්න.
  3. බටර් ටිකක් නොන්ස්ටික් පෑන් එකකට දාල ඒකට එක පාන් පෙත්තක් දාගෙන ඒ පාන් පෙත්ත උඩට බැදගත්තු චිකන් හැම්\බේකන්\ තම්බා පොඩි කරගත් චිකන් හෝ ඔබ කැමති ඕනෑම පිරවුමක් දාලා ගා ගත්තු මොසරැල්ල චීස් ටිකක් ඉහල අනිත් පාන් පෙත්තෙන් වහන්න.
  4. පැතලි හැන්දකින් පොඩ්ඩක් උඩින් තද කරගන්න. අඩුම ගින්දරේ දෙපැත්තම පුලුස්ස ගන්න. එච්චරයි.

(සැරට කන්න අකැමති නම් බිත්තර මිශ්‍රණයට ගම්මිරිස් නොදා හදාගෙන මැදට කෙසෙල්, අලිගැටපේර හෝ ස්ට්‍රෝබෙරි වගේ පලතුරක් තියල ස්ටෆ් කරගන්නත් පුළුවන්.)

2. Bread Upma දවාලට

රුලන් වලින් උප්මා හදල කන එකේ පහසුවෙන්ම පාන් වලින් හදමුද?


  1. තෙල් චුට්ටක් ලිප තබා අබ, සූදුරු ටික තෙම්පරාදු කරගන්න.
  2. එයට කැරට්, ලීක්ස්, තම්බා ගත් ග්‍රීන් පීස්, ලූනු, සුදු ලූනු සහ තක්කලි එක් කර තෙම්පරාදු කරගන්න.
  3. සැර අනුව ගම්මිරිස් සහ මිරිස් කුඩු එක් කරගන්න. කැමති නම් මෙයට වැඩි රසයක් සඳහා රට කජු හෝ කජු ටිකකුත් එකතු කරගන්න පුළුවන්.
  4. ඒ තෙම්පරාදුවට වතුර මේස හැඳි 2ක් පමණ එක් කර උතුරුවා ගෙන පාන් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කැමතිනම් චොප් කරගත් කොත්තමල්ලි කොල ටිකක් අන්තිමට එකතු කරගන්න.


3. Bread Cutlets ස්නැක් එහෙකට

පාන් වලින් කට්ලට් හදන්නත් පුළුවන්. උදේ ගෙනාපු පාන් ඉතුරු උනොත් හවසට කන්න මෙහෙම හදාගන්න.

  1. පාන් පෙති 4ක් වාටි ඉවත් කර කුඩාවට කඩා ගෙන කිරි මේස හැඳි දෙකක් එක් කරගන්න.
  2. තෙල් ස්වල්පයක් ලිපේ තබා එයට චොප් කරගත් ලූනු, ගා ගත් කැරට්, සිහින්ව ලියාගත් ලීක්ස් එක් කර කෑලි මිරිස්, ලුනු සහ ගම්මිරිස් කුඩු ටිකක් දමා තෙම්පරාදු කරගන්න.
  3. එයට තම්බා පොඩි කරගත් අල ගෙඩියක්, පොඩි කරගත් සැමන් හෝ තම්බා ගත් මාළු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කිරි එක්කරගත් පාන් මිශ්‍ර කර ලිපෙන් බාගන්න.
  4. කුඩා කොටස් ගෙන අතින් බෝල සාදා පැතලි කර  බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා අඟල් 1\2ක් පමන උසට තෙල් දමා ගත් පෑන් එකක දමා දෙපැත්ත බැදගන්න.


4. Bread තෝසෙ රාත්‍රීයට

පාන් වලින් තෝසෙ හදල තියෙනවද?

  1. පාන් පෙති 4 වාටි ඉවත් කර කුඩා කැබලි වලට කඩා ගන්න. එයට රුලං මේස හැඳි 2ක් , පාන් පිටි මේස හැඳි 2ක්, යෝගට් කප් 1\4 (මෙශරින් කප්), ලුණු එක් කර බ්ලෙන්ඩ් කර පැයක් පමණ වසා තබන්න.
  2. එයට තෝසේ පදමට එන තුරු වතුර එක් කරගන්න. අබ ඇට ටිකක්, සූදුරු ඇට ටිකක්, සිහින්ව කපා ගත් ලූනු වෙනම තෙම්පරාදු කර සාදාගත් මිශ්‍රණයට එක් කරගන්න.
  3. නන්ස්ටික් තැටියක තෙල් තවරා මිශ්‍රනය එක් කර තුනී කර දෙපැත්ත පුලුස්සා ගන්න.
  4. පොල් චට්නියක්, සාම්බාරුවක් නැත්නම් පරිප්පු හොද්දක් හදාගත්ත නම් සම්පූර්ණ රෑ කෑම වේලක්.

5. Bread Pudding Muffins අතුරුපසකට

හවසකට කන්න වගේම ඩෙසට් එකටත් මෙහෙම හදාගන්න පුළුවන්.

  1. බිත්තර 3ක්, ෆ්‍රෙශ් මිල්ක් හො පිටි කිරි කප් 1, කුරුඳු කුඩු පින්ච් එකක්, සීනි කප් 1/2 (හෝ රස අනුව) හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  2. බෝල් එකක් ගෙන පාන් පෙති 8ක් කුඩාවට කඩා එයට සාදාගත් බිත්තර මිශ්‍රණයට වැනිලා ස්වල්පයක් එක් කර පාන් සමඟ මිශ්‍ර කරගන්න.
  3. වියලි මිදි සහ කුඩාවට කපා ගත් කජු එක් කර ගන්න. මෙයටම කැමති නම් චොකලට් චිප්ස් එක් කරගන්නත් පුළුවන්.
  4. මෆින් ට්‍රේ එකකට හොඳින් බටර් ආලේප කර සාදාගත් මිශ්‍රණය ඒවාට පුරවා විනාඩි 15ක් සෙල්සියස් 180ට පෙර රත් කරගත් උඳුනක බේක් කරගන්න.
  5. චොකලට් සෝස් උඩින් දමා පිළිගන්වන්න. ම්ම්ම්ම්ම්! 



gossip lanka