එක දවසක් දැකලා හිත වැටුණ කෙල්ල අමතක කරන්න බැරිද? එහෙනම් මේ උපදෙස් 8 පිළිපදින්න

සමහරු අපේ ජීවිතේට මුණ ගැහෙන්නෙ තත්පර ගාණක් හරි විනාඩි ගාණක් හරි වෙන්න පුලුවන්. නමුත් ඒ කෙටි කාලෙ ඇතුලත ඒ අයගෙන් සමහරක් අපේ හිත් පැහැරගන්න සමත් වෙනවා. සමහරවිට ඒ විදිහට දැක්ක ගමන් හිත ගිය, ඒ උනාට ආයෙ කවදාවත් හමු නොවුණ කෙල්ලෙක් ඔයාලගෙ ජීවිත වලත් ඇති. මේ කියන හිත යාම ආකර්ෂණේ කියල කෙනෙක් කියන්න පුලුවන්. එහෙම උනත් ඉතින් හුඟක් ආදර කතා
ඇරඹෙන්නෙ ආකර්ෂණේ නිසා කියන එක අපිට අමතක කරන්න බැහැනේ.

හරි දැන් අපි හිතමු හදිසියේ මගතොටකදි කෙල්ලෙක්ව දැක්ක ගමන් ඔයාගෙ හිත එයාට ඇදිල ගියාය කියලා. ඒත් එයාව ආයෙ ජීවිතේට මුණගැහෙන එකක් නැතිය කියලා හිතේ සාංකාවක්, දුකක් ඇති වෙලාය කියලා. කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කියන එකයි අපි මේ කියන්න යන්නේ.

1) කාලයට ඉඩ දීල බලන්න

එයාව දැක්ක වෙලේ හිටං “දැක්ක ගමන් හිත වැටුනා වාසනාවේ දොර ඇරුනා” වගේ ෆීලින් එකක් ආවට ඇත්තටම ඒ අදහසම ලත් තැනම ලොප් වුනා නේ. ඒ කොහොම වෙතත් ගොඩක් වෙලාවට මේක නිකම්ම ආකර්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කරන්න තියෙන එක හොඳ වැඩක් තමයි. පොඩ්ඩක් නැවතිලා සතියක් විතර කල් දීලා බලන එක හිතට.

මෙහෙම ඉඳලත් “ම්හු හිත ඉල්ලන්නේම එයාව” නම්, කල්පනාවට ගන්න තියෙන්නේ මේක ආකර්ෂණයක් නෙවෙයි ඊට වඩා ඩිංගක් දුර ගිහිල්ලා කියලා තමා.

2) සොයන්නාට සම්බ වෙන්නත් බැරි නෑනෙ

“කවදා හෝ සොයා ඒවී මගේ මල්සරා” කියලා හිතුවට  ඇත්තටම එයා ආපහු ආවේ නැහැනේ. ඒ තියා එයා දන්නෙත් නැහැනේ අපේ හිතේ මෙහෙම මෙව්වා එකක් මෝදු වෙනවා කියලා. මේ හින්දා ඔයා එයාව දුටුව සහ හමුවුණ තැන, වෙලාව හිතට අරගෙන ඒ පැත්තේ පොඩ්ඩක් කැරකිලා බලන්න තියෙන්නේ එයා ආපහු එයිද? නැතිනම් එතන පහු කරගෙන යාවිද වගේ දේවල්.

එහෙමත් නැතිනම් එයා  ඇඳගෙන පැළඳ ගෙන හිටපු විදිය සහ එදා දැකපු විදිහ අනුව එයා රැකියාවක් කරන කෙනෙක්ද? අහල පහල ක්ලාස් එකකට ආපු කෙනෙක්ද වගේ පොඩි අදහසක් ගන්න පුළුවන්ද කියලත් කල්පනා කරල බලන්න. එහෙම ඔත්තුවක් මතකෙට ආවොත් ඒ ඔස්සේ පොඩි සෙවුමක් දාලා බලන්නත් පුලුවන්. ෆේස් බුක් වගේ සමාජ ජාල උනත් මේ වැඩේදි පිහිටට හිටියි.

3) එහෙමත් හම්බුණේ නැත්නම්?

ඊට පස්සේ ඉතින් අර රේඩියෝ එකේ බැඟිරි ගැන අයියා වගේ “වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා” ටෝක්ස් ඉශු කරන්නේ නැතුව හිත හදාගන්න මොකක් හරි විදියක් හොයා ගමු නේද?

එහෙමත් නැතිනම් පහතින් තියෙන “සිත නිවන කතා” ටිකක් තමන්ටම තමන්ගේ හිතට මතුරගන්නත් පුළුවන් වේවි.

දැක්ක ගමන් හිත වැටුනට, කෙල්ල ඇත්ත ජීවිතේදී යකින්නක් ද  කියලා දන්නේ නැති නිසා එහෙම හිතලා හිත හදාගන්ඩ තියෙන්නේ.
එහෙම නපුරු නොවුනත් ආදරේදී එයා වංක කෙනෙක් වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන්.
එහෙම වංක නොවුනත් එයාගේ පුද්ගලික ජීවිතේ මොන මොන ප්‍රශ්න තියෙනවද කියලා අපි දන්නෙත් නැහැනේ.
එහෙම ප්‍රශ්න නැතත් අපිනෙ පස්සෙන් ගියේ. එයා නෙවෙයි නේ. එහෙනම් අනිවා එයා ආඩම්බර කෙනෙක් වෙන්නත් පුළුවන්.

4) බිසී වෙන්න.

කරන්න දෙයක් නැහැ. “හනේ දෙවියනේ මට වූ විනේ යා” කියාගෙන ඇඳ බදාගෙන ඉන්නවට වඩා මෙහෙම කරන එකෙන්. අඩු ගානේ තමන්ට ප්‍රයෝජනයක් වෙන දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. තමන් මහන්සි වෙන තරමට තමන්ට අනෙක් පැත්තට ලැබීම වැඩි වෙනවා කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙවෙයිනේ.

මේ නිසා තමන් කැමති දෙයකට හිස සහ මනස යොදවලා වැඩ කරන එක තමා කරන්න තියෙන හොඳම දේ. එහෙම නැතුව ඔබ “ඌම පතා බතුත් නොකා” ඉන්න එකෙන් වෙන්නේ, ලව් සික් එක වැඩි වෙලා අපස්මාරේට එන එක. එහෙම වුනාම බේරා ගන්න අමාරුයි.

5) හීන ලෝකවල් මවාගන්න යන්න එපා

කාමරේ අතු ගානකොට , ඔෆිස් එකේ වැඩ කරනකොට, එච්චර විතරක් නෙවෙයි, අයිස්පලමක් කකා රේල් පාරක් දිගේ යනකොටවත් එයා ගැන මතක් කර කර අනාගත හීන ලෝක මවාගන්න එපා. මොකද එහෙම හිතන එකෙන් වෙන ප්‍රතිපල බරපතල වෙන්න පුළුවන් මචං!

කොහොමද ඔෆිස් එකේ බොස්ට “මගේ කුක්කු මැණික” කියලා ඇඩ්රස් කරලා මේල් එකක් ගැහුවොත්, එච්චර ඕනේ නැහැ. අයිස් පලමක් කකා “කල්පනා ලොව මල්වනේ දාගෙන” රේල් පාරක යනකොට පිටිපස්සෙන් කෝච්චියක් ආවොත්? කෑලි එක්කහු කරන්න වෙන්නේ පොලිතින් බෑග් එකකට තමා පුතී..!

අපි මේ කියපු දේවල් ඇත්තට සිද්ද නොවුනත් මේ හීන ලෝක වලින් ඇත්තටම වෙන්න පුලුවන් ලොකු හානියක් තියනවා. ඒ තමයි සිදු නොවෙච්ච දේවල් ගැන හීන මවාගෙන ඔයා හිතින් තව තවත් මේ මායාවේ ඇලෙන එක. ඒක ඔයාට එයාව අමතක කරන්නම බැරි තැනට වැඩ සලස්සයි.

ඒ නිසා අපි අයින් විලා පයින් යමු පුතී. හා ද?

6) ආදරය කියන්නෙ හිමි කරගැනීමම නොවෙන බව හිතන්න

ආදරේ කියන්නේ පස් කාගෙන එකෙකුට වත් ඉඩ දෙන්නේ නැතුව, තමන් විතරක්ම බදාගෙන ඉන්න එක නෙවෙයි. අපිට හිමි කරගන්නේ නැතුවත් ආදරේ කරන්න පුළුවන්. අනික එහෙම කට්ටිය ඕනේ තරම් ඉන්නවා මේ සමාජේ.

එයා සතුටින් ඉන්නවා නම් ඔයා ඇත්තටම එයාට ආදරේ කරනවා නම්, එයා එහෙම සතුටින් ඉන්න එකම ඇති ඔයාගේ හිත හදාගන්න. අසංක ප්‍රියමන්ත කියනවා වගේ “අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින් නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම්”  කියලා ඉන්නයි තියෙන්නේ.

7) තමන්ට මොනවත් අහිමි වෙලා නැති බව හිතන්න

අනික ඔයාට එයාව ලැබුනේ නැහැ කියලා, ශාරීරිකවත් මානසිකවත් භෞතිකවත් මොනවද නොලැබුණේ ඇත්තටම? උත්තරේ “0” කියන එක. ඔයාට මොනවත් එයා අහිමි වුනා කියලා අහිමි වෙලා නැහැ.

ඔයා වෙනුවෙන් හැමදාම වගේ යාළුවො ටිකක් ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා. ඒ මදිද??

ඒ නිසා දැන්වත් නොලැබුණු දේවල් ගැන හිතලා දුක් නොවී ලැබුණු දේවල් ගැන හිතලා සතුටු වෙන්න. තිබූ නිදහස රැකගන්න. හා ද??

8) තමන්ගේ ශක්තිය තමන්ටම ඒත්තු ගන්නගන්න

කතාවක් තියෙනවා “අලියට තමන්ගේ ප්‍රමාණේ පෙනෙන්න ගන්නේ මියයන වෙලාවටලු.” එහෙම වෙලාවට දුකක් එනවලු, අනේ මම මෙච්චර විසාල වෙලත් අර පොඩි අඟල් කීපයක් දිග හෙන්ඩුවකට බය වෙලානේ හිටියේ  කියලා. එහෙම හිතලා මියයන්නේ කලකිරිමෙන්ලු.”

ඒ වගේ ඔයත් මේ දුක් වෙන්නේ සහ තමන්ට හිතෙන් අමතක කරගන්නට බැරුව ලත වෙන්නේ හරියට ආශ්‍රය කරලා තියා හෙලෝ කියලා වත් නැති කෙනෙක් ගැන බව හිතේ තියාගන්න. ඒ වගේම ඔයා ආදරේ කරනවා කියන එක දුර්වල තාවයක් කියලත් හිතන්න එපා මොනම වෙලාවකවත්!

ඒ වගේම මේකත් මතක තියාගන්න, ආදරේ කියලා පෙනුමට ලස්සනට නම් ඔයා ආදරේ කරලා තියෙන්නේ අන්න එතන නම් පොඩි සීන් එකක් තියෙනවා.

මේ නිසා එහෙම මොහොතක හිතෙන කයෙන් දුර්වල නොවී, “අදට වඩා හෙට හොඳයි” කියලා හිතාගෙන තමන් ශක්තිවන්තයෙක් කියලා ලෝකෙට පෙනෙන විදියට ජීවත් වෙන්න හිත ගන්න. අලියට වෙච්චි දේ ඔයාට වෙන්න ඉඩ තියාගන්න එපා..!

- aniwa.lk

gossip lanka