වැඩිවන ජීවන වියදමත් එක්ක සටන් කරන්න වැදගත් ටිප්ස් 10 ක්

මේ දවස් වල නානාප්‍රකාරයේ ආතල් එන නිසා මිනිස්සුන්ට වැදගත්ම ප්‍රශ්නයක් ගැන කතා කරන්න මතක නෑ. ඒ තමයි ජීවන වියදම. හැබැයි ජීවන වියදම එන්න එන්නම සැර වෙනවා කියන්නෙ බොරු නෙවෙයි. හැබැයි එහෙමයි කියලා මැරෙන්නද? බැංකු කඩන්නද? බැහැනේ. අපි වගේ සාමාන්‍ය මධ්‍යම පංතියේ ජනතාවත් ජීවත් වෙන්න ඕන. ඉතින් මේ කියන්න යන්නේ ජීවන වියදම වැඩියි කියලා දැනගෙන, ඒක කවදාහරි
එක්කෝ අපිට දරන්න පුලුවන් තරමට අඩුවෙයි කියලා හරි, එහෙම නැත්තං අපිට ජීවන වියදමට සරිලන විදියට ආදායම් ලැබෙයි කියලා හරි හිතාගෙන, ජීවන වියදමට මුහුණ දෙන්න උදවු වෙන කාරණා 10 ක් ගැන තමයි.

1. මැරෙන්න ඕන කාරණයක් නෙවෙයි කියලා පිළිගන්න

සාමාන්‍යයෙන් මාසේ බඩු ටික ගන්න කඩේට ගිහින් ආවට පස්සේ, එහෙම නැත්තං මාසේ වියදම ගණන් හදලා බැලුවට පස්සේ ගොඩක් දෙනෙක්ට අත්විඳින්න ලැබෙන්නේ සෑහෙන මට්ටමක හාට් ඇටෑක් එකක්. ඒකට හේතුව ඉතින් ජීවන වියදම තමයි. ඒකට කරන්න තියෙන්නේ ඉතින් ජීවන වියදම වැඩියි කියලා පිළිගන්න එක. ඒ කියන්නේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ මම විතරක් නෙවෙයි, ඔයා විතරක් නෙවෙයි. ලංකාවේ සමස්ත ජනගහණයටම මේ වැඩිවෙන ජීවන වියදම දැනෙනවා. ඒක තේරුම් ගන්නවා කියන්නේ මානසික සූදානම් වීමක්, ජීවන වියදමත් එක්ක සටන් කරන්න පුලුවන් වෙන්න.

2. හැම පැත්තෙන්ම සකසුරුවම් වෙන්න

මෙන්න මේක ජීවන වියදම වැඩි වුනා හෝ නැතා හෝ ඕනම මනුස්සයෙක් හුරු වෙන්න ඕන දෙයක්. සකසුරුවම් කම. නාස්තිය වැළැක්වීම. මේ කියන්නේ සල්ලි ගැන නෙවෙයි. ටැප් එකක් කැඩිලා වතුර යනව නං වහාම ඒක හදන්න. කාමරේක කවුරුවත් නැතුව ලයිට් එකක් දාලා තියනවා නං අනිවා ඒක නිවන්න. ගෙදර හදන කෑම අපතේ යනවා නං ඒ වැඩිපුර කෑම කාට හරි බඩගින්නේ ඉන්න කෙනෙක්ට දෙන්න. දවල්ට උයන්න අල සුද්ධ කරනකොට පොත්තත් එක්ක අල ගෙඩියෙන් බාගයක් කපලා දාන්නෙ නැතුව හරියට අල කුරු‍ටු ගාන්න ඉගෙන ගන්න. දැන් මෙහෙම කියනකොට තේරෙනවා නේද සකසුරුවම් කම, නාස්ති නොකිරීම කොයි තරම් දුරට අපිට කරන්න පුලුවන්ද කියලා?

විශේෂයෙන්ම ගෙදර විදුලි බිල්පත, වතුර බිල වගේ දේවල් නං අනිවා අඩු කරන්න සිහියට ගන්න ඕන. එතකොට ඒවාට ගාස්තු අයවෙන විදිය ගැන කල්පනාකාරී වෙන්න ඕන. උදාහරණයක් විදියට ලයිට් බිල යුනිට් 90 පැන්න ගමන් යුනිට් එකකට ගාණ වැඩි වෙනවා. එතකොට මීටරේ කැරකෙන විදිය ගැන අවධානයෙන් විදුලිය පාවිච්චි කරන එක පොකට් එකට ගුණයි.

තව දෙයක් තමයි හිතලා බලන්න ඉන්ටර්නෙට් බිල. අපි කියමු ෆැමිලි පැකේජ් එක පාවිච්චි කරන මනුස්සයෙක් කියලා. ඒකේ දෙන ගිගාබයිට් ප්‍රමාණයෙන් තමන්ගේ වැඩ කටයුතු කවර් කරගන්න හිතන්න ඕන. මොකද නැත්තං අය්යෝ සූටි සුපියල් දෙසිය පණහයිනේ, හත්සිය පණහයිනේ කියලා ගිගාබයිට් වැඩිපුර ගන්න ගියහම නතර වෙන්නේ ඔක්කොම එකතු වෙලා යක්ෂ බිලක් ඇවිල්ලා. අමතක කරන්න එපා, මේ හැම එකටම වෙනම බදුත් වදිනවා!

3. මාසෙක බඩු එක පාරම ගන්න

සාමාන්‍යයෙන් ගොඩක් දෙනා හුරුවෙලා ඉන්න විදියක් තමයි යමින් එමින් ගමන් දවස් කීපෙකට ඕන බඩු මුට්‍ටු, කෑම බීම ගෙදර ගේන එක. හැබැයි අපිට මාසෙකට ඕන බඩු ටික ප්ලෑන් කරලා ඒ ඔක්කොම එක පාර ගේන්න පුලුවන්ද? බැරි කමක් නෑ. කරන්න තියෙන්නේ පොඩ්ඩක් වාඩි වෙලා ගෙදර කෑම බීම ටික ඒ මාසෙට ප්ලෑන් කිරීම සහ, ඒ ඔක්කොම බඩු ටික ගේන්න මුදල් වෙන් කිරීම විතරයි. දැන් කෙනෙක් කියයි කිරිපිටි පොඩි පැකට් එකක් ගන්නේ ලොකු පැකට් එකක් ගන්න සල්ලි නැති නිසානේ කියලා. ඔව්, ඒක තමයි කිව්වේ කලින් ප්ලෑන් කරන්න කියලා. එතකොට ඒ බඩුවලට යන වියදම වුනත් මාසේ පටන් ගන්නකොට වෙන් කරගන්න පුලුවන් කලින්ම සැලසුමක් තියෙනවා නං. එක මාසෙක මේ හුරුව හදාගත්තහම වැඩේ තව ලේසියි. මොකක්ද මේකේ ප්‍රතිලාභය? දවස් දෙකෙන් තුනෙන් යමින් එමින් බඩු ගන්නවට වඩා මේ ක්‍රමේ ලාබයි. බඩු ටික ගේන්න වාහනේකට යන තෙල් වියදම, ‍ටුක් ‍ටුක් එකකට යන කුලිය වුනත් ඉතුරුයි. කාල වේලාවත් ඉතුරුයි.

4. අවශ්‍ය උපකරණ වලට ආයෝජනය කරන්න

දැන් අපි කියමු මධ්‍යම පංතියේ ගෙදරක ශීතකරණයක් නැහැයි කියලා. ඒක වෙන්න පුලුවන් දෙයක්. හැබැයි මාස්පතා ගෙවීමේ ක්‍රමයට හරි ශීතකරණයක් ගන්න පුලුවන් කම තිබිලා නොගෙන ඉන්නවා නං? අන්න ඒක අපරාධයක්. ඇයි එහෙම කියන්නේ? හිතන්න මෙහෙම. ශීතකරණයක් තිබුණොත් ආහාර කල් තියා ගන්න පුලුවන්. එළවළු වගේ දේවල් වුනත් දවසට ටික ටික ගේන්නේ නැතුව අඩු ගාණේ දවස් කීපෙකටවත් එක පාර ගෙනත් තියාගන්න පුලුවන්. මේ විදියට බලනකොට ඇත්තටම ශීතකරණයකට කරන ආයෝජනයක් පාඩු නෑ. එක පාරම ඒක ලොකු වියදමක් විදියට පෙනුනත්, ඒ වගේ දේකට වියදම් කරන්න පුලුවන් කම තියෙනවා නං නොකර ඉන්න එක දීර්ඝ කාලීනව පාඩුවක්.

5. ලිස්ට් එකෙන් පිට පනින්න එපා

සාමාන්‍යයෙන් ඔය සුපර් මාකට් වල එහෙම බඩු මුට්‍ටු තියලා තියෙන්නේම බඩු ගන්න එන අයට පොඩි මානසික බලපෑමක් කරන්න කියලා අපි කලින් කියලා තියෙනවනේ. ඒ හින්දා එහෙම බඩු ගන්න යනකොට කරන්න පුලුවන් හොඳම වැඩක් තමයි අර මාසෙට ඕන බඩු ලැයිස්තුව හදාගත්තට පස්සේ, ඒ ලැයිස්තුවත් අරගෙනම ෂොපින් යන එක. එතනදී තියෙන වාසිය තමයි අනවශ්‍ය දේවල් ගන්න තියෙන ඉඩ අඩුවෙන එක. හැබැයි ඉතින් අලුත්ම බිස්කට් පැකට් එකක් දිලිසී දිලිසී මූණ ඉස්සරහ තිබ්බා කියලා ගන්න යන්න ඕන නෑ, අපිට ඇත්තටම බිස්කට් ඕන නැත්තං.

සුපර් මාකට් වල විතරක් නෙවෙයි, වෙන ඕන තැනකත් ඔය එක එක ට්‍රික්ස් තියෙනවා පාරිභෝගිකයින්ට ඇත්තටම අත්‍යාවශ්‍ය නොවෙන බඩුවක් වුනත් ගන්න පොළඹවන්න. ආන්න ඒවාට අහු නොවෙන්නත් මේ ඕන කරන දේවල් ටික විතරක් ලිස්ට් එකක තියාගෙන ඉන්න එක සදා ප්‍රයෝජනවත්.

6. වාසි තියෙන තැන් ගැන අවධානයෙන් ඉන්න

දැන් සමහර වෙලාවට අපි හුරු වෙලා ඉන්නේ සුපර් මාකට් එකෙන් බඩු ගන්න වෙන්න පුලුවන්. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න, ගොඩක් වෙලාවට සුපර් මාකට් එකට පොඩ්ඩක් එහායින්ම තියෙන්න පුලුවන්, සුපර් මාකට් එකට වඩා අඩු ගාණකට බඩු ගන්න පුලුවන් සිල්ලර කඩයක්. ඇත්ත කතාව තමයි මේ කියන විදියේ කඩ හැම ටවුමකම වගේ තියෙනවයි කියන එක. පොෂ් නෑ. ලස්සන කැෂියර් අක්කිලා නෑ. ඒත් ෂර්ට් එකක්වත් නැතුව බුලත් විට හපාගෙන ඉන්න මුදලාලි ඊට වඩා සෑහෙන්න අඩුවට බඩු දෙනවා වෙන්න පුලුවන්. ආන්න ඒ වගේ කඩයක් දෙකක් ‍ෆිට් එකේ තියාගත්තට පාඩු නෑ.

අනික් එක දැන් ඔය ෆුඩ් සිටි වල එහෙම ප්‍රොමෝෂන් තියෙනවා. ඒ කියන්නේ සීනි කිලෝ දෙකක් ගත්තොත් පොඩි පිටි පැකට් එකක් නොමිලේ වගේ. මෙන්න මෙතනදී සෑහෙන්න හිතන්න ඕන. එකක් තමයි ප්‍රොමෝෂන් ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. හැබැයි හිතලා බලන්න ඕන ඇත්තටම ඒ වෙලාවේ ගෙදරට සීනි කිලෝ දෙකක් ඕනද කියලා. සීනි කියන්නේ නරක් වෙන ජාතියක් නං නෙවෙයි. ඒ හින්දා අවශ්‍යතාවයත් තියේ නං ඒ වගේ ප්‍රොමෝෂන් අල්ලලා බඩු ගන්න එක වාසියි.

ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ සිංහල අවුරුද්දට අප්‍රියෙල් දහවෙනිදා ඇඳුම් ගන්නනේ. ඇයි මාර්තු මාසේ ගන්න බැරිද? අපි හොඳටම දන්නවනේ අප්‍රියෙල් පටන් ගත්තු ගමන් ගණන් ඩබල් වෙනවා කියලා. මෙන්න මේවා අපි අමතක කරන පොඩි පොඩි සීන්.

7. වැඩ පළ කරන්න හුරුව හදාගන්න

මේ කියන්නේ මෙහෙම දෙයක්. අපි කියමු හරියට ගෙදර කෑමක් හදාගන්න දන්නෙ නැති කපල් එකක් කියලා. අනිවා එතකොට වැඩි හරියක් කන්න වෙන්නේ පිටින් තමයි. මෙහෙම පිටින් කනකොට තියෙන අවුල තමයි හිතනවට වඩා කණ පැලෙන වියදමක් යන එක. ඉඳලා හිටලා වෙනසකට පිටින් කෑවට කමක් නෑ. හැබැයි ගෙදර උයාගෙන කනකොට වගේ දහ පාලොස් ගුණයක වියදමක් යනවා කඩෙන් කනකොට. ඒ හින්දා උයන්න පිහන්න, ගෙදර කෑම ගෙදරම හදාගන්න ඉගෙන ගන්න එක වැදගත්.

දැන් ඔය ගෙදර පයිප්පයක් ලීක් වුනත් බාසුන්නැහේ හොයන්න යන්න ඕනද? මේකේ දෙපැත්තක් තියෙනවා. සීරියස් වැඩක් නං අනිවා ඒ වැඩේට ඉන්න එක්ස්පර්ට් කෙනෙක්ව අල්ලන්නම ඕන. එහෙම වැඩක් අපි කූරු ගාන්න ගිහින් වෙන්නේ වියදම ඩබල් වෙන එක. හැබැයි පොඩි වැඩක් නං, ඒකට බාසුන්නැහේ හොයන්න යන එක අපරාධයක්. ගෙදර මනුස්සයෙක්ටම ඒක හදාගන්න පුලුවන් බාසුන්නැහේට සල්ලි නොදී.

8. අවශ්‍ය වියදම් අවශ්‍ය වෙලාවට කරන්න

දැන් ඔය සමහරු ඉන්නවා ලෙඩකට දුකකට බෙහෙත් ගන්නෙ නෑ, සල්ලි ඉතුරු කරන්න වෙනවය, ජීවන වියදම වැඩිය කියලා. ආන්න ඒවා මහප්‍රාණ ගොං වැඩ. ඇයි එහෙම කියන්නේ? ලෙඩක් දුකක් වෙච්ච වෙලාවට ඒක පොඩි තැනින්ම කඩාගන්න පුලුවන් කියන්නේ ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි, පොකට් එකටත් හොඳයි. මොකද ලොකු ලෙඩක් මැජික් බලෙන් හොඳ වෙන්නෙ නෑනේ. ඒක රුපියල් පන්සීයක බේත් වලින් හොඳ කරගන්න පුලුවන් කම තියෙද්දී අත ගගා ඉඳලා, ලෙඩේ ඔඩු දිව්වට පස්සේ පනස් දාහක වියදමක් යන්න පුලුවන්. ආන්න ඒ නිසා අවශ්‍ය වියදම් අවශ්‍ය වෙලාවට කරන්න ඕන. සෙරෙප්පු දෙක කැඩිලා නං සෙරෙප්පු දෙකක් ගන්න ඕන . අතේ සල්ලි තියෙන වෙලාවක සෙරෙප්පු සපත්තු කුට්ටම් දෙක දෙක අරන් තියාගන්න පුලුවන් නං, සෙරෙප්පු කුට්ටම් දෙකක් පාවිච්චි කරන ආයු කාලෙටත් වඩා කාලයක් පට්ට ගහන්න පුලුවන්. ආන්න ඒ විදියට කරන්න ඕන, අවශ්‍ය වියදම් හිත හිතා ඉන්නෙ නැතුව කරන එක දීර්ඝ කාලීනව වාසියි.

අනික ඉතින් කොහොමත් එක්සයිස් පාරක් වෙලාවට කරලා නීරෝගීව ඉන්න එකත් මේ ලිස්ට් එකටම එන්න ඕන. එතකොට එක්සයිස් කරන්න යන්න බොටමක් ගන්න සල්ලි වෙන් කරන එක පාඩුවක් නෙවෙයි!

9. අපතේ යන වත්කම් වලින් ප්‍රයෝජන ගන්න

මේ ගැනත් අපි කලින් කියලා තියෙනවා. ගෙදර වැඩිපුර කාමරයක් වහලා දාලා තියෙනවා නං රෙන්ට් එකට දෙන්න. කාර් එකේ තනියෙන් කොළඹ යනව නං කාර් පූලින් වගේ වැඩක් කරන්න. ටැක්සියක් ගෙදර නිකං තියෙනවා නං, හවස හතරෙන් පස්සේ වැඩකුත් නැත්තං හයර් එකක් දෙකක් සෙට් කරගන්න. මේ විදියට අපිට ඇත්තටම අපතේ යන වත්කම් වලින් අමතර ආදායමක් හොයාගන්න එක, ජීවන වියදම බැලන්ස් කරගන්න හිතාගන්න බැරි විදියට වටිනවා.

මේ එක්කම කියන්න ඕන තව දෙයක් තමයි ‍රැකියාව. ඒ කියන්නේ තමන් කරන ‍රැකියාවේ ඉහළ නගින්න පුලුවන් කම තියෙනවා නම්, තමන්ට දක්ෂතාවයන් තියෙනවා නම් ඒවා පල් වෙන්න දෙන්න එපා, අපතේ අරින්න එපා. මොකද ‍රැකියාවේ ඉහළ යනකොට තත්වය උසස් වෙනවා සහ ඒ එක්කම වියදම් සාපේක්ෂව වැඩි වෙනවා විතරක් නෙවෙයි, ආදායමත් ඊට සමගාමීව වැඩි වෙනවා.

10. සෝබන වැඩ අත අරින්න

සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවොත් අවුරුද්දක් ඇතුළත අපි සෝබනේට කොයි තරම් මුදලක් වියදම් කරනවද? ඒක මොකක් හරි ක්ලබ් එකක දෙලොවටම පලක් නැති සාමාජිකත්වයක් වෙන්න පුලුවන්. ඔ‍ෆිස් එකට ෂෝ එකට පෙන්නන්න ඕන නිසා ගන්න ඇඳුමක් වෙන්න පුලුවන්. අල්ලපු ගෙදරට සෙටප් එකක් ගෙනැල්ලා තියෙන නිසා, සෙකන්ඩ් වෙන්න බෑ කියලා හිතලා ගෙදරට ගන්න අලුත් සෙටප් එකක් වෙන්න පුලුවන්. මේ හැමදෙයක්ම අයිති වෙන්නේ තේරුමක් නැති අනවශ්‍ය වියදම් වලට.

ඒ වගේම තමයි පෙළඹවීම් වලට අහුවෙන එක. ඒ කියන්නේ අපි අලුතින් ෆෝන් එකක් ගන්නේ තියෙන එක කැඩිලා නෙවෙන නිසා වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ තියෙන ෆෝන් එක පරණයි කියලා හිතෙන නිසා අලුත් එකක් ගන්න එක. හැබැයි තියෙන ෆෝන් එකෙන් වැඩ ගන්න පුලුවන් නං සෝබනේ උදෙසා අලුත් ෆෝන් එකකට යන එක මහා අපරාධයක්. මෙන්න මේ වගේ අපි සෝබන වැඩ වලට කරන වියදම් නං අනිවා අත අරින්න ඕන.

- aniwa.lk




gossip lanka