අපි කැමති නැති කෙනෙක් අපි ගැන කැමැත්තෙන් පස්සෙන් එන එක කරදරයක් නෙවෙයිද? මෙන්න ඒකට කරන්න පුලුවන් දේවල් 6ක්

අපිට ජීවිතේට මුණගැහෙන මිනිස්සුන්ව ඇත්තටම අපිට තීරණය කරන්න බෑනේ. අපි කැමති වෙන විදියේ මිනිස්සුන්වත් අපිට මුණගැහෙනවා. ඒ වගේම අපි අකමැති වෙන විදියේ මිනිස්සුන්වත් අපිට මුණගැහෙනවා. දැන් අපි අකමැති මනුස්සයෙක් අපිට කැමති වෙන එක ඔක්කොටම හපන්. සමහර වෙලාවට අපි අයින් වෙලා ඉන්න හැදුවත් ඒ අය අපේ පස්සෙන් එනවා. දැන් මේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා
තේරෙනවා ඇති. අපි හිතමු කෙනෙක් අපි ගැන හිතක් පහළ කරගෙන ඉන්නවා. හැබැයි අපි ඒ කෙනාට එහෙම බලාපොරොත්තු දීලත් නෑ, එහෙම කැමැත්තකුත් නෑ. ඒත් එයා අපිට කැමති නිසාම එයා හිතනවා අපිත් එයාට කැමති වෙන්න ඕන කියලා. ආන්න එහෙම වෙලාවක අපිට ඇත්තටම මොනවද කරන්න පුලුවන්? ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

1. කාරුණික වෙන්න, අවශ්‍ය ප්‍රමාණයට

අපි කෙනෙක්ට අකමැති වුනත් ඒත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්නේ. අන්න ඒක මුලින්ම වටහාගන්න ඕන. ඒ නිසා ඒ මනුස්සයාට තමන් අකමැතියි කියලා, ඒ මනුස්සයා තමන්ගේ පස්සෙන් එනවා කියලා දරදඬු විදියට සලකන්න යන එක, සමච්චලයට ලක් කරන්න යන එක හොඳ නැහැ.

හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. පව්නේ මොනවා වුනත් මනුස්සයෙක්නේ කියලා ඕනෑවට වඩා මහා කාරුණික වෙන්න යන එකත් මේ වගේ අවස්ථාවකදී කේස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඔබේ කරුණාව ඒ කෙනාට තව තවත් ඔයාගේ පස්සෙන් එන්න ධෛර්යය දෙනවා නම් අන්න එතනදී අපි පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.

2. ෆ්‍රෙන්ඩ්සෝන්ද? ප්‍රොෆෙෂනල්ද?

මෙන්න මේක හිතලා බලන්න ඕන දෙයක්, මේ විදියේ අවස්ථාවක් එක්ක ගනුදෙනු කරන්න කලින්. අපිට මේ පුද්ගලයා එක්ක අවශ්‍ය වෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? ඒ කියන්නේ අපි කියමු අපි අකමැතිම කෙනෙක් කියලා. එතකොට එයා එක්ක අපිට කිසිම ආකාරයක ගනුදෙනුවක් ඕන වෙන්නේ නෑ. හැබැයි සමහර වෙලාවට අපි අකමැති වෙන්නේ මේ පුද්ගලයා එක්ක රොමෑන්ටික් සම්බන්ධෙකට යන්න විතරක් වෙන්න පුලුවන්. ඒ කෙනා යාලුවෙක් විදියට හිටියට අපිට අවුලක් නැති වෙන්න පුලුවන්. එහෙම නැතිනම් අපිට මේ පුද්ගලයා එක්ක ලව් එකක් හෝ යාලුපිට් එකක් අවශ්‍ය නොවුනත්, අපිට එයත් එක්ක එකට වැඩ කරන්න සිද්ධ වෙන්න පුලුවන්. ඔය ඔ‍ෆිස් එකේ කෙනෙක් පස්සෙන් එනකොට එහෙම සිද්ධ වෙන්න පුලුවන් දෙයක්නේ ඒක. අන්න ඒ නිසා අපි තත්ත්වය විග්‍රහ කරලා බලන්න ඕන ඔක්කොටම කලින්.

3. කියන්න තියන දේ හරියට කියන්න

මෙන්න මේක තමයි ඊලඟ පියවර. මේ පස්සෙන් එන කෙනාට කියන්න තියෙන දේ කෙලින්ම කියන්න ඕන. හැබැයි ආයෙමත් අර පළවෙනි කාරණාවට ගිහිල්ලා එන්න. මේ කියන්නේ බණින්න කියලවත්, සමච්චලයට ලක් කරන්න කියන එකවත් නෙවෙයි. ගොඩක් වෙලාවට මේ කියන්න තියෙන දේ පුද්ගලිකව කියන්න පුලුවන් නම් හොඳයි. අපි බොරුවට තව මනුස්සයෙක්ගේ කාඩ් කුඩු කරන්න ඕන නැහැනේ.

හැබැයි මේ කියන දේ බොහොම ස්ථිරව කියන්න ඕන. ඒ කියන්නේ තමන්ට ඕන කරන්නේ මොකද්ද කියන එක ගැන අපි උඩ තීරණය කරලා තියෙනවනේ. ආන්න ඒ තීරණය බොහොම පැහැදිලිව දැනුම් දෙන්න ඕන. අපි කියමු ඒ කෙනා එක්ක අපිට මොනයම් ආකාරයක හෝ සම්බන්ධයක් අවශ්‍ය නැහැයි කියලා. අන්න එහෙම අවස්ථාවකත් “අපි යාලුවෝ වගේ ඉම්මු” කියලා නිකම්ම කටට ආවට කියන එක අවුල්. එහෙම කියන්න ඕන අපිට එතනදී ඇත්තටම යාලුකමක් ඕන නම් විතරයි. එහෙම ඕන නැතිනම් ඔයා එයා පස්සෙන් එන එකට කැමති නැති බවත්, ඒක කරදරයක් බවත් පැහැදිලි කරලා, ඒ ගැන කණගා‍ටුවත් ප්‍රකාශ කරලා එතනින් එහාට කට වහගෙන ඉන්න ඕන.

4. බලාපොරොත්තු දෙන්න එපා

මෙන්න මේක ඉතාම වැදගත්. සමහරු ඉන්නවා, තමන්ගේ පස්සෙන් එන කෙනාට තමන් අකමැති වුනත්, කෙනෙක් තමන්ගේ පස්සෙන් එනවා කියන එකට බොහොම කැමතියි. ඒකෙන් තමන්ගේ අගේ වැඩිවෙනවා කියලා සමහර වෙලාවට හිතනවා ඇති. කොහොම වුනත් මේ හින්දා මේ අය කරන්නේ අර පස්සෙන් එන කෙනාට කැමති වෙන්නෙත් නෑ, හැබැයි කෙලින් කිසිම දෙයක් කියන්නෙත් නෑ. ඒ කියන්නේ මේ අයට ඕන කරන්නේ පස්සෙන් එන කෙනෙක් තියාගන්න. ආන්න ඒක බොහොම වැරදි වැඩක්. අපි මුලින්ම කිව්වනේ පස්සෙන් එන්නේ අපි අකමැති කෙනෙක් වුනත් එයාත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්ය කියන එක තේරුම් ගන්න ඕන කියලා. ඒ නිසා අනවශ්‍ය විදියට එහෙම කෙනෙක්ට බලාපොරොත්තු නොදී ඉන්න වගබලා ගන්න ඕන. “දැන්ම කියන්න බෑ” වගේ කතා නොකියා ඉන්න ඕන.

සමහර වෙලාවට කෙනෙක් බයයි පස්සෙන් එන කෙනෙක්ට බෑ කියලා කෙලින්ම කියන්න. ඒ නිසාත් හරි වචනයක් නොදී ඒ කෙනාව වටේ යවනවා. එහෙම නැතිනම් සමහරු කියනවා “අපි ඉගෙනගෙන ඉවර වුනහම බලමු”, “ඔයා හොඳ රස්සාවක් කරන දවසකට බලමු” වගේ අනියමාර්ථයේ කතන්දරත්. හැබැයි මෙතනදීත් තේරුම් ගන්න ඕන දේ තමයි අපි නිශ්චිත වචනයක් දීලා නැතත්, අපි ඒ කෙනාට මේ දෙන්නේ බලාපොරොත්තුවක්. ඒක හොඳ නෑ.

5. බලාපොරොත්තු දුන්නයි කියලා කියන්න තියන්නත් එපා

මෙන්න මේක ඔය අකමැති අය පස්සෙන් එනකොට වෙන්න පුලුවන් සුලභ සීන් එකක්. දැන් අපි කියමු මේ කෙනාත් එක්ක මේ දේවල් සිද්ධ වෙන්න කලින් අපි මනුස්සකමට හිනාවෙලා කතා කරනවා. ඊට පස්සේ මනුස්සයා ඒකෙන් ධෛර්යමත් වෙලා පස්සෙන්ම එන්න ගන්නවා. දැන් අපි ඒකට කැමති නැහැ කියලා කිවුවහම අහනවා “ඔයා මට අකමැති නම් ඇයි එදා හිනාවුනේ”, “ඔයා මට කැමැත්තක් නැතිනම් ඔයා මාත් එක්ක එදා කතා නොකර ඉන්න තිබුණා, ඒකෙන් තමයි මම බලාපොරොත්තු ඇතිකර ගත්තේ” කියලා! හැබැයි එහෙම කියයි කියලා මිනිස්සු එක්ක කතා නොකර, බුම්මගෙන ඉන්න ඕන නෑ හරිද.

මෙන්න මේ කාරණාව හොඳට හිතේ තියාගන්න. තමන්ට අවශ්‍ය නොවන කෙනෙක් තමන්ගේ පස්සෙන් එනවා නම් ඒ කෙනා එක්ක තියෙන්න ඕන ගනුදෙනු බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන. මොකද ගොඩක් වෙලාවට මේ අය අපිට චෝදනා කරන්න උත්සාහ කරනවා අපි එයාට බලාපොරොත්තු දුන්නාය කියලා. අන්න ඒ උගුලට නොවැටී ඉන්න අපි වගබලාගන්න ඕන.

6. තනියෙන් ප්‍රශ්න විසඳන්න යන්න එපා

සමහර වෙලාවට මේ අපි අකමැති කෙනෙක් පස්සෙන් එනවා කියන කතන්දරේ බොහොම ඉක්මනටම අපිට විසඳන්න පුලුවන් සීමාවෙන් එහා යන්න පුලුවන්. ඒ කියන්නේ එයා අපිට තර්ජනය කරන්න උත්සාහ කරන්න පුලුවන්. අපේ පස්සෙන් කරදරයක් වෙන විදියට පන්නන්න උත්සාහ කරන්න පුලුවන්. අපිව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරන්න පුලුවන්. ආන්න ඒ නිසා මේ වගේ තත්වයක් ඕනෑවට වඩා සීරියස් වෙනවා කියලා දැනුනු වහාම වැඩිහිටියෙක්ව, වගකීම් සහිත යාලුවෙක්ව වගේ කෙනෙක් මේ ගැන දැනුවත් කරලා තියන එක අනිවා කරන්න ඕන දෙයක්. ඒ වගේම තමයි තත්ත්වය අනවශ්‍ය විදියට අපේ පුද්ගලිකත්වයට තර්ජනයක් වෙන තැනට යනවා කියලා දැනුනොත්, ඒක කතාබහ කරලා විසඳගන්නත් බැහැ කියලා ෂුවර් නම් ඉතින් නීති ආයතනයක පිහිට පතන්න වුනත් වෙන්න පුලුවන්.

- aniwa.lk




gossip lanka