වෙන විදියට හදන්න පුළුවන් රසම රස බීම වර්ග කීපයක් හදන හැටි ඔයාලට ගේන්න අපි හිතුව. පොඩි අයගෙ ඇස පිනවන විදියට මේ දේවල් සරසන්න වගේම ලස්සන ලස්සන කප්ස් වල මේ බීම පිළිගන්වන්න කියලත් මතක් කරනව. දිව පිනවන්න කලින් ඇස පිනවීමේ කලාවත් දැනගන්න.
1. Watermelon Lemonade (කොමඩු ලෙමනේඩ්)
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර කොටු කපාගත් කොමඩු මද කප් 6
- නැවුම් ලෙමන් යුශ 300ml
- වතුර කප් 6
- සීනි කප් 3/4
- කුඩු කරගත් අයිස්
- කොමඩු කැබලි වලට ලෙමන් යුශ එක් කර බ්ලෙන්ඩර් කරගන්න. වෙනම බඳුනකට දමා එයට වතුර සහ සීනි එක් කර සීනි දිය වෙන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. අයිස් එක් කර කොමඩු කැබැල්ලකින් හෝ මිංචි කොලයකින් සරසා පිළිගන්වන්න.
2. Tropical Fruit Drink (ට්‍රොපිකල් ෆෘට් ඩ්‍රින්ක්)
අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නසි යුශ කප් 6
- සීනි කප් 3/4
- පැශන් ෆෘට් යුශ කප් 3
- වතුර කප් 3
- රතු කලරින් බින්දු කීපයක් (වර්ණ කීපයක් උනත් ගන්න පුළුවන්)
- ලෙමනේඩ්
- සීනි, වතුර, අන්නසි යුශ සහ පැශන් යුශ එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
- ලෙමනේඩ් වලට කලරින් බින්දු කීපයක් එක් කර මිශ්‍ර කර අයිස් කියුබ් ට්‍රේ එහෙකට දමා ෆ්‍රීස් කරගන්න. පිළිගන්වන විට ලෙමනේඩ් කියුබ්ස් දමා පිළිගන්වන්න.
3. Mint Chocolate Drink (මින්ට් චොකලට් ඩ්‍රින්ක්)
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් කප් 6
- චොකලට් පව්ඩර් මේස හැඳි 2
- කුකින් චොකලට් 200g
- සීනි රස අනුව
- වතුර කප් 1/2
- මිංචි කොල අහුරක්
- වෙනම වතුර කප් 3ක්
- වතුර කප් 3ට මිංචි කොල අතින් පොඩි කර එක් කර මිශ්‍ර කර අයිස් කියුබ් ට්‍රේ එකකට දමා ෆ්‍රීස් කරගන්න.
- වතුර, සීනි, කුකින් චොකලට් සහ චොකලට් පව්ඩර් එකට දමා ඩබල් බොයිල් කරගන්න. චොකලට් දියවීගෙන එන විට එයට කිරි දමා හොඳින් මිශ්‍ර කර පෙරා ගන්න.
- නිවෙන්නට හැර ශීතකරගන්න. එයට මින්ට් අයිස් කියුබ්ස් දමා පිළිගන්වන්න.
4. Iced Fruit Punch (ෆෘට් පන්ච්)
අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නසි, කොමඩු, පිපිඤ්ඤා පෙති කීපයක්
- දොඩම් යුශ කප් 6
- සීනි කප් 1
- සෝඩා කප් 4
- ලුණු ස්වල්පයක්
- කුඩු කරගත් අයිස්
- දොඩම් යුශ වලට සීනි එක් කර හොඳින් දිය කරගන්න. එයට සෝඩා එක් කර කලවම් කර ලුණු එක් කරගන්න. (රස අනුව සීනි අඩු වැඩි කරගන්න.) කැමති නම්
- වර්ණකයක් එක් කරගන්න. මෙය ශීත කරගන්න.
- අන්නසි, කොමඩු සහ පිපිඥ්ඥා පෙති කුකී කටර් වලින් විවිධ හැඩ කපාගෙන ෆ්‍රීස් කරගන්න.
- සාදාගත් දොඩම් බීමට කුඩු කරගත් අයිස්, ෆ්‍රීස් කරගත් අන්නසි, පිපිඥ්ඥා සහ කොමඩු කැබලි උඩින් දමා පිළිගන්වන්න.
5. Orange & Mango Yoghurt Drink (දොඩම් සහ අඹ යෝගට් ඩ්‍රින්ක්)
අවශ්‍ය ද්‍රව්‍ය
- දොඩම් යුශ කප් 1
- අඹ ගෙඩි 2 මදය
- වෙනම කුඩා කොටු කපා ෆ්‍රීස් කරගත් අඹ
- ප්ලේන් යෝගට් කප් 2 (මෙශරින් කප්)
- අයිස් කැට කප් 1
- කොටු කපාගත් අඹ හැර අනිත් සියල්ල එකට දමා බ්ලෙන්ඩ් කරගන්න. ෆ්‍රීස් කරගත් අඹ කොටු උඩින් දමා පිළිගන්වන්න.
6. Neapolitan Milkshake (නෙපෝලිටන් මිල්ක්ශේක්)
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් කප් 1
- වැනිලා අයිස් ක්‍රීම් කප් 1
- චොකලට් අයිස් ක්‍රීම් කප් 1
- කිරි කප් 3
- අයිස් කැට
- චොකලට් සෝස්
- අයිස් ක්‍රීම් කප් 1කට කිරි කප් 1 බැගින් සහ අයිස් කැට එක් කර වෙන වෙනම බ්ලෙන්ඩ් කරගන්න.
- විනිවිද පෙනෙන කප් එකක අඩියට චොකලට් ශේක් කප් එකෙන් 1/3ක් දමාගන්න. හැන්දකින් වැනිලා ශේක් ලේයර් එකක් තවත් 1/3ක් දමාගන්න. අවසානයට ස්ට්‍රෝබෙරි ශේක්ද හැන්දක් ආධාරයෙන් දමා ගන්න. උඩින් චොකලට් සෝස් දමා පිලිගන්වන්න.