සැන්ඩ්විච් කිව්වම මතක් වෙන්නෙ සැමන් විතරද? මෙන්න එහෙනම් අපෙන් අළුත්ම සැන්ඩ්විච් රෙසිපි 5ක්

කොහොම මොන දෙයක් එක්ක කෑවත් පාන් කියන්නෙ බත් තරම්ම අපේ කෑම වේලක් සරි කරන දෙයක් බවට පත් වෙලා. එක්කො උදේ කෑමට එහෙමත් නැත්නම් රෑ කෑමට බහුතරයක් දෙනා ගන්නෙ පාන්. ඉතින් මේ පාන් හැමදාම එකම විදියට කන කොටත් රසයක් නැතුව යනව. කලිනුත් අපි පාන් පුඩින්, එක එක වර්ගයේ පාන්, ඕනම වෙලාවක හදාගන්න පුළුවන් පාන් රෙසිපි, පාන් පීසා රෙසිපි, පාන් ස්නැක්ස් විතරක් නෙවෙයි
සෞඛ්‍යදායක විදියට පාන් ගෙදරම හදන හැටිත් කියල දුන්නා මතක ඇති. අද මේ කියන්නෙ සැන්ඩ්විච් රෙසිපි ටිකක්. හැමදාම හදන සැමන් සැන්ඩ්විච් එක නම් නෙවෙයි. වෙනස් විදියට වගේම අපේ රසටත් හදාගන්න පුළුවන් සැන්ඩ්විච්  ටිකක් ගැන.

1. ක්‍රෑබ් සැන්ඩ්විච්

කකුළුවො ඉතින් හැමදාම ගන්න නෑනෙ. කකුළුවො නිතරම ඇහැ ගැහෙන කාලෙට උයලම කාලා ඇති වෙලා නම් මේ වගේ සැන්ඩ්විච් එකක් හදාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උයල ඉතුරු වුන කකුළුවන්ගෙන් රෑට කන්න මේ වගේ හදාගත්ත නම් තවත් රසවත්. මේක කලින් දවසෙ රෑ හදල පොලිතින් එකක හරි ක්ලින්ග් රැප් එහෙක හරි හොඳට ඔතල ෆ්‍රිජ් එකට දාලා උදේට කන්න ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. තම්බා ගත් කකුළු මස් 300g
  2. මයොනිස් සෝස් මේස හැඳි 2
  3. චීස් වෙජස් 4ක්
  4. දෙහි යුශ තේ හැන්දක්
  5. ලුණු රස අනුව
  6. චොප් කරගත් ළූණු මේස හැඳි 4ක්
  7. ගම්මිරිස් කුඩු රස අනුව


  • සියල්ල ගෑරප්පුවකින් මිශ්‍ර කරගන්න. බටර් තවරා ගත් පාන් පෙත්තක් මත තවරා තක්කලි පෙති සහ සලාද කොලයක් තබා බටර් තවරාගත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරන්න. 

2. ඩාල් සැන්ඩ්විච්

මේක වෙජිටේරියන් අයට සුදුසුයි. තේ එකක් බොන්න කලින් ටිකක් කටට සැරට දැනෙන්න වගේම ක්‍රිස්පි ගතියට සැන්ඩ්විච් එකක් කන්න කැමති නම් මේ විදිහෙ සැන්ඩ්විච් එකක් හවසකට අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. මයිසූර් පරිප්පු කප් 1
  2. මිරිස් කුඩු තේ හැඳි 1/2
  3. කහ තේ හැඳි 1/4
  4. ගරම් මසාල තේ හැඳි 1/2
  5. චොප් කරගත් ළූණු මේස හැඳි 5ක්
  6. චොප් කරගත් අමු මිරිස් කරල් කීපයක්
  7. සූදුරු ඇට තේ හැඳි 1/2
  8. චොප් කරගත් කොත්තමල්ලි කොල මේස හැඳි 3
  9. රස අනුව ලුණු
  10. කඩල පිටි මේස හැඳි 2
  11. සිහින්ව කපාගත් නිවිති (කැමතිනම්)


  • පරිප්පු ටික පැය දෙකක් පෙඟෙන්නට තබා වතුර බේරෙන්නට හැර ග්‍රයින්ඩරේක දමා තරමක් කෑලි හිටින්නට අඹරාගන්න.
  • ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කර පැතලි කට්ලට්ස් සාදා නොගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න.
  • බටර් තවරාගත් පාන් පෙත්තක් මතට සාදාගත් පරිප්පු කට්ලට් එක තබා ඒ මත ළූණු රවුම් කීපයක් තබා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගන්න.

3. එග් සැන්ඩ්විච්

එග් සැන්ඩ්විච් එහෙමත් නැත්නම් බිත්තර සැන්ඩ්විච් කිව්වම හැමදාම කන්නෙ තම්බල පොඩි කරපු බිත්තර මැදට දාල නම් මෙන්න එග් සැන්ඩ්විච් වලට කැමති අයට වෙනස් රසකට හදාගන්න පුළුවන් සැන්ඩ්විච් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. බිත්තරයක්
  2. බේකන් පටි දෙකක් (චිකන් බේකන් ගන්නත් පුළුවන්)
  3. ගා ගත් මොසරැල්ලා චීස් මේස හැඳි 2
  4. චොප් කරගත් තක්කලි මේස හැඳි 1 (ඇට රහිතව)
  5. චොප් කරගත් ළූණු මේස හැඳි 3
  6. චීස් ස්ලයිස් එකක්
  7. රස අනුව ලුණු, ගම්මිරිස්


  • බේකන් කුඩා කැබලි වලට කඩා බැදගෙන පෑන් එකෙන් ඉවත් කරන්න. ඒ පෑන් එකටම චොප් කරගත් ළූණු සහ තක්කලි එක් කර ළූණු රන්වන් පැහැ වන තුරු බැදගෙන පෑන් එකේ විසිරුවාගන්න.
  • බිත්තරයට ලුණු සහ ගම්මිරිස් එක් කර ගෑරප්පුවකින් ගසාගෙන විසුරුවාගත් ළූණු මතට එක් කර එයට උඩින් බේකන් සහ මොසරැල්ලා චීස් අතුරා ඔම්ලට් එක හතරට නවාගන්න.
  • බටර් තවරාගත් පාන් පෙත්තක් මත සලාද කොලයක් තබා ඒ මත සාදාගත් ඔම්ලට් එක තබා එයට උඩින් චීස් ස්ලයිස් එකක් තබා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගන්න.

4. මශ්රූම් සැන්ඩ්විච්

වෙජිටේරියන් අයට මස් මාළු වෙනුවට රසවත් ආදේශකයක් තමා මශ්රූම් එහෙමත් නැත්නම් හතු. මේ විදියට හදාගන්න මශ්රූම් සැන්ඩ්විච් එහෙක රස බලන්න ඉතින් වෙජිටේරියන් වෙන්නම ඕන නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. සිහින්ව කපාගත් හතු කප් 1
  2. චොප් කරගත් ළූනු මේස හැඳි 4
  3. තලාගත් සුදු ළූනු මේස හැන්දක්
  4. චොප් කරගත් අමු මිරිස් මේස හැන්දක්
  5. සෝයා සෝස් මේස හැඳි 1
  6. සීනි තේ හැඳි 1
  7. රස අනුව ලුණු
  8. ගම්මිරිස් කුඩු
  9. මී කිරි හෝ යෝගට් මේස හැන්දක්


  • තෙල් ටිකක් රත් වන්නට තබා එයට සුදු ළූණු, ළූණු, අමු මිරිස් සහ හතු ටික එක් කර හතු පිසෙනකම් අඩු ගින්දරේ තෙම්පරාදු කරන්න. රන්වන් පැහැ වේගෙන එන විට සෝයා සෝස්, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කර විනාඩි 5ක් පමණ පිසගන්න.
  • අවසානයට ගම්මිරිස් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කර නිවෙන්නට හැර මී කිරි හෝ යෝගට් මිශ්‍ර කරන්න.
  • පාන් පෙති තැටියක දමා දෙපැත්ත තරමක් ටෝස්ට් කරගන්න. එයට බටර් තවරා සාදාගත් හතු මිශ්‍රණය අතුරා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගන්න.

5. චිකන් සැන්ඩ්විච්

වෙනස් රසකට චිකන් සැන්ඩ්විච් එකක් කන්න කැමති ඔයාලට මේ සැන්ඩ්විච් රෙසිපි එක ට්‍රයි කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය


  1. චිකන් බ්‍රෙස්ට් කොටසකින් කපාගත් චිකන් පෙති 7-8ක්
  2. ලුණු
  3. ගම්මිරිස්
  4. මිරිස් කුඩු
  5. විනාකිරි තේ හැන්දක්
  6. සීනි තේ හැන්දක්
  7. චොප් කරගත් ළූණු, අමු මිරිස්, තක්කලි
  8. මයෝනිස් සෝස්


  • චිකන් ටිකට ලුණු, මිරිස්, ගම්මිරිස්, විනාකිරි සහ සීනි එක් කර මිශ්‍ර කර විනාඩි 20ක් පමණ පසෙකින් තබාගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්නට හැර එයට සීසන් කරගත් චිකන් එක් කර රන් වන් පැහැය වන තෙක් බැදගන්න.
  • වෙනම බඳුනක මයෝ, ළූණු, අමු මිරිස්, තක්කලි, ලුණු,ගම්මිරිස් කුඩු ටිකක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. බටර් තවරාගත් පාන් පෙත්තක් මත සාදාගත් චිකන් අතුරා එයට උඩින් මයෝ මිශ්‍රණය දමා සලාද කොළයක් තබා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගන්න.


gossip lanka