වාසනාව පිරී ඉතිරිලා යන්න කියල අපේ අය වගේම ලෝකේ අනිත් රටවල අයත් ළඟ තියාගන්න දේවල්

සමහරු විශ්වාස කරන දෙයක් තමයි දියුණු වෙන්නනම් උත්සාහය විතරක් මදිය, ඒකට වාසනාවත් යම් පමණකට තියෙන්න ඕනෙය කියන එක. ඉතින් උත්සාහයත් එක්ක වාසනාවත් යම් ප්‍රමාණෙකට ළඟා කරගෙන දියුණුවට පත්වෙන්නය කියල මේ අය නොයෙක් දේවල් කරනවා. ඒ අතරින් වාසනාව සංකේතවත් වෙන යම් යම් දේවල් තමන් ළඟ තියාගන්න එකත් හුඟ දෙනෙක් කරන දෙයක්. සාමාන්‍යයෙන් නොයෙක් මිත්‍යා විශ්වාස වල වැඩිපුර එල්බගෙන ඉන්න අපි ඇතුලු ආසියානු රටවල් විතරක් නෙමෙයි, ආසියාවෙන් එපිට රටවල් වලත් මේ විදිහෙ වාසනා
සංකේත ගැන විශ්වාසයන් පවතිනවා. ධන ධාන්‍ය සෞභාග්‍ය වැඩිවෙලා, සතුරන්ගෙන් ආරක්ෂා වන්නට ලැබිලා, සැපවත් ජීවිත ගත කරන්නට ලැබෙන්නය කියල හිතාගෙන ලෝකෙ පුරාම මිනිස්සු භාවිතා කරන වාසනාවේ සංකේත කිහිපයක් ගැනයි අද මේ කියන්න යන්නෙ.

1. අශ්ව ලාඩම

අශ්ව ලාඩම කියන්නෙ ඉතාම ඈත අතීතයක ඉඳල වාසනාවේ සංකේතයක් හැටියට සලකන වස්තුවක්. යකඩ සහ ගින්න උපයෝගී කරගෙන නිපදවෙන නිසා අශ්ව ලාඩමක් කියන්නෙ ශක්තියේ සහ බලවත්කමේ සංකේතයක් හැටියටයි ඉස්සර ඉඳන්ම සැලකුවෙ. අශ්ව ලාඩමෙන් ලැබෙනව කියන්නෙ වාසනාව සහ ආරක්ෂාවයි. අශ්ව ලාඩම වාසනාවේ සංකේතය විදිහට භාවිතාවට ආපු හැටි ගැන රසවත් කතාවකුත් තියනව. ඒකට අනුව ඔන්න ඉස්සර ඉඳල තියනවලු ඩන්ස්ටන් කියල ශාන්තුවරයෙක්. මෙයා කම්මල් වැඩ වලට අති දක්ෂයෙක්ලු. ඔන්න ඉතින් දවසක් මේ ඩන්ස්ටන් හමුවට ආවලු යක්ෂයා (Devil). ඇවිල්ලා කිවුවලු එයාගෙ අශ්වයට ලාඩමක් ගහන්නය කියල. දක්ෂ විදිහට මේ ලාඩම හදල නිමකරපු ඩන්ස්ටන් එකපාරටම ඒක අරගෙන යක්ෂයගෙ කකුලට තියල ඇණ ගැහුවලු. යක්ෂයට දැන් හරි වේදනාවයිලු. මේ ලාඩම ගලවන්න කියල ඉල්ලනවලු. ඩන්ස්ටන් කිවුවලු ගලවන්නම් හැබැයි එක පොරොන්දුවක් පිට කියල. ඒ පොරොන්දුව තමයි අශ්ව ලාඩමක් දොරේ ගහල තියන ගෙදරකට ආයෙ කවදාවත් ඇතුලු නොවෙන එක. යක්ෂයා එහෙම කරන්න පොරොන්දු උනාට පස්සෙලු මේ අශ්ව ලාඩම ආරක්ෂාවෙත් වාසනාවෙත් සංකේතයක් බවට පත්වුණේ.

අශ්ව ලාඩම ගහන්නෙ ගෙදරක ඉස්සරහ දොරේ තමයි. මේක ගහන විධි දෙකක් තියනව. ඩවාත්ම ජනප්‍රිය ක්‍රමය තමයි ලාඩමේ කෙළවරවල් උඩට හිටින්න ගහන එක. හැබැයි තවත් සමහරු ඊට විරුද්ධ විදිහටත් අශ්ව ලාඩම ගහන වෙලාවල් තියනව. පරණ අශ්ව ලාඩමක් දොරට තියල ඇණ ගැහුවොත්ලු වැඩි වාසනාවක් ලැබෙන්නෙ.

2. හා කකුල

හා කකුල කියන්නෙත් දකුණු අමෙරිකාව, යුරෝපය, චීනය වගේ බොහෝ පැතිවල වාසනාව ගෙන දෙන දෙයක් හැටියට සැළකෙන්නක්. හැබැයි හැම හා කකුලක්ම වාසනාව ගෙන දෙන්නෙ නම් නැහැ. හාවාගේ පසුපස වම් කකුල තමයිලු ගන්න ඕනෙ. හැබැයි හාවෙක්ගෙ පසුපස වම් කකුල නිකම්ම අරගෙන බෑ. මේ කකුල ගන්න හාවව මරන්න ඕනෙ කනත්තකදිලු. කනත්තකදි මරලත් මදි, මේක විශේෂ දවසකදි සිද්ධ වෙන්නත් ඕනෙලු. සමහරු කියනවා මේ දඩයම කරන්න ඕනෙ 13 වැනි සිකුරාදා දවසක කියල. තවත් සමහරු කියන්නේ පුරහඳ තියන දවසකදි කරන්න ඕනෙය කියල. මේ කියන විදිහට, මේ කියන දවසෙදි හාවව මරල කකුල අරගන්න එකත් හැමෝටම කරන්න බැරිලු. මේ හා දඩයම කරන්න ඕනෙ ඇස් වපර, කකුල් බකල, වමත්, රතු කොණ්ඩයක් තියන නීග්‍රෝ කෙනෙක්ලු. එයා සුදු අස්සයෙක්ගෙ පිටේ ඇවිල්ලලු මේ දඩයම කරන්න ඕන. කාල වරෙන්කො නේද?

හා කකුල සාමාන්‍යයෙන් තමන්ගෙ දකුණු සාක්කුවෙ තමයිලු දාගෙන ඉන්න ඕනෙ. තමන් කරන්න බලාපොරොත්තු වෙන දෙයක් අති සාර්ථක කරගන්න නම් ඒ වැඩේ පටන්ගන්න කලින් හා කකුලට අතින් තුන් පාරක් තට්ටු කරන්න කියලයි කියන්නෙ. මිල මුදල් අතින් වාසනාව වගේම දරු සම්පත් බලාපොරොත්තු වෙන අයටත් හා කකුල ප්‍රාර්ථනා ඉටු කරල දෙනව කියලයි අතීතෙ පටන් එන විශ්වාසය.

3. මනෙකි නෙකෝ (Maneki – Neko)

ඔය සමහරක් කඩ සාප්පු වල කාටත් පේන තැනකින් තියල තියන, නිකන් පහක් දාන්න වගේ අතක් උස්සන් ඉන්න පූස් පිළිමයක් ඔයාලත් දැකල ඇති. මේක ලස්සනට තියන විසිතුරු භාණ්ඩෙකට වඩා වාසනාව ගෙන දෙන භාණ්ඩයක් හැටියටයි පාවිච්චි කෙරෙන්නෙ.  වැඩිපුරම වෙළහෙළඳාම් වලින් වාසනාව උදා කරගන්න තමයි මේ පිළිමය යොදාගන්නෙ. මේ පිළිම සමහරක වම් අතත්, තවත් සමහරක දකුණු අතත් තමයි ඉස්සිලා තියෙන්නෙ. වම් අත උස්සාගෙන ඉන්න පිළිමයෙන් වෙළඳසලකට වැඩිපුර පාරිභෝගිකයන් ආකර්ශනය වන බවත්, දකුණු අත උස්සාගෙන ඉන්න පිළිමයකින් වාසනාව උදා කරවන බවත් තමයි ජනප්‍රියම විශ්වාසය. මේ නිසා වෙළඳසල් වලට වම් අත උස්සාගෙන ඉන්න පිළිමයත්, නිවෙස් වලට දකුණු අත උස්සාගෙන ඉන්න පිළිමයත් තමයි වාසනාව එන්න කියල තියන්නෙ. ජපානෙ උපත ලබන මේ වාසනාවන්ත පූස් පිළිමයේ නිවැරදි ඉතිහාස කතාවක් ගැනනම් දැනගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි ජපන්නු ඉස්සර ඉඳල විශ්වාස කරල තියනව පූසෙක් තමන්ගෙ කනට උඩින් අත උස්සල මූණ හේදුවොත් එදාට ගෙදරට අමුත්තෙක් එනවය කියල. මේ විශ්වාසය නිසා වෙළඳාමෙදි වැඩිපුර ගැණුම්කරුවො ආකර්ශනය වෙයි කියල හිතල ඒ විදිහට පිළිමයක් තනවන්න ඇතිය කියල අපිට හිතන්න පුලුවන්.

4. අලි ඇතුන්

අලි ඇතුන්ගේ රූප, පිළිම සහ ශරීර කොටස් වාසනාව ගෙන දෙනවය කියන එක ඉන්දියාව සහ ලංකාව ඇතුලු රටවල් කිහිපයකම විශ්වාස කරන දෙයක්. බලය සහ බුද්ධියේ සංකේතයක් හැටියටයි අලි ඇතුන්ව සළකන්නෙ. මේ නිසාම අලි ඇතුන්ව අඹපු පිළිම, ඇත්දළ පාවිච්චි කරල හදන එක එක විසිතුරු භාණ්ඩ වගේ දේවල් වලින් නිවසකට වාසනාව සහ සෞභාග්‍යය ගෙන දෙනව කියල බොහෝ ජාතීන් විශ්වාස කරනව. අලි අම්මා සහ පැටවු දෙන්නා ඉන්න තුන්පත් රෑන ඡායාරූප සහ චිත්‍ර එහෙමත් නිවසකට, විශේෂයෙන්ම අලුත බැඳපු යුවලවල් ඉන්න නිවෙස් වලට වාසනාව කැන්දනව කියල අපේ රටෙත් විශ්වාසයක් තියනව. වාසනා ගුණය වැඩිවෙන්නට නම් අලි ඇතුන් ඉන්න පින්තූරය හෝ පිළිමය ගෙදරට ඇතුළුවන දොරට මුහුණලා හිටින විදිහට තියන්න කියල තමයි කියන්නෙ. අලි ඇතුන්ගේ පිළිම සහ රූප වල ඇතුන් හොඬවැල තියාගෙන ඉන්න විදිහ මගිනුත් වාසනාව තීරණය වෙනව කියල කියනව. හුඟ දෙනෙක්ගෙ මතය තමයි අලි ඇතුන් හොඬය ඔසවාගෙන ඉන්න පිළිම සහ පින්තූර තමයි වඩාත් වාසනාවන්ත කියන එක.

අලි ඇතුන් ගැන කියද්දි අපිට වාසනාවක් වීමම ඔවුන්ගේ ජීවිතේට අවාසනාවක් එක් කරන්නට සමත් වෙලා තියෙන බවත් නොකියම බැහැ. ඇත් දළ, අලි කෙඳිවැනි නොයෙක් ශරීරාංග ලබාගැනීමට මේ සතුන්ගේ ජීවිත වලට හානි පැමිණුවීම කිසිසේත්ම අනුමත කරන්නට බැහැයි පමණක් නෙවෙයි, නීතියෙනුත් තහනම්!

5. කිඹුල් දත්

අප්‍රිකානුවන් අතර ජනප්‍රිය පිළිගැනීමක් තමයි කිඹුල් දත් ළඟ තියාගත්තහම වාසනාව උදා වෙනවය කියන එක. මේ වාසනාව වැඩිපුරම බලපාන්නෙ සූදු ක්‍රීඩා කිරීමේදී කියලයි කියන්නෙ. වාසනාව උරගා බැලෙන වෙනත් ක්‍රීඩා වලදිත් මේ කිඹුල් දත්වල වාසනාව තමන්ගෙ වාසියට හිටිනවලු. අප්‍රිකානු වහලුන් හරහා තමයි මේ වාසනාවේ සංකේතය පිළිබඳ විශ්වාසය පැතිරීගෙන ඇවිත් තියෙන්නෙ. මේ දත් පෙන්ඩනයක් වගේ පැළඳගෙන හරි වාසනාව ළඟා කරදෙන කෑලි බෑලි සහිත මල්ලකට (Mojo Bag) දාගෙන හරිලු ගොඩක් අප්‍රිකානුවන් සූදුවට යන්නෙ.

6. ලාෆිං බුද්ධා

ලාෆිං බුද්ධා කියන්නෙ ලෝකෙ තියන ජනප්‍රියම වාසනා සංකේතයක්. නිවස තුළ හරි ව්‍යාපාරික ස්ථානයේ හරි ලාෆිං බුද්ධා ප්‍රතිමාවක් තියාගත්තහම ධන ධාන්‍ය සහ සෞභාග්‍ය ළඟාවෙන්න හේතු වෙනව කියල සමහරු විශ්වාස කරනව. විශේෂයෙන්ම ෆෙංග්ශුයි ක්‍රම අනුගමනය කරන අය අතරේ ලාෆිං බුද්ධා ඉතාම ප්‍රසිද්ධයි. ලාෆිං බුද්ධා ප්‍රතිමාවක් ගෙනල්ලා නිකම්ම ගෙදරින් තියල තිබ්බට වාසනාව පහල වෙන්නෙ නැහැලු. තමන්ගෙ හිතේ තියන අරමුණු ඉෂ්ට කරගෙන වාසනාව උදාකරගන්න ඕනෙනම් ලාෆිං බුද්ධගෙ බඩ දිනපතා අතගාන්නත් ඕනෙලු. එකකට එකක් වෙනස් ලාෆිං බුද්ධා පිළිම තියනව. උදාහරණ හැටියට කිවුවොත් මල්ලක් කරේ දාගෙන ඉන්න බුද්ධා, තොප්පියක් පැළඳගෙන ඉන්න බුද්ධා, අත් ඉහලට ඔසවාගෙන ඉන්න බුද්ධා වගේ වෙනස් වෙනස් පිළිම තියනව. මේ එක් එක් පිළිම වලින් ගෙනදෙන යහපත් ප්‍රතිඵල එක එකට වෙනස්. ලාෆිං බුද්ධා ප්‍රතිමාව තියන්න සුදුසුම ගෙදර ප්‍රධාන දොරටුව දිහාට මුහුණ දෙන විදිහට කියලයි කියන්නෙ. ඒ වගේම නිදන කාමර වල, ගෙබිම මත සහ විදුලි උපකරණ උඩ ලාෆිං බුද්ධාව තියන්න හොඳ නැහැලු.

7. කොළ හතරේ ක්ලෝවර්

ක්ලෝවර් ගහේ සාමාන්‍යයෙන් කොළ 3ක් එකට හිටින විදිහට තමයි හටගන්නෙ. හැබැයි බොහොම කළාතුරකින් ක්ලෝවර් කොළ 4ක් එකට පිහිටන අවස්ථා තියනව. අන්න ඒ කොළ හතරේ ක්ලෝවර් හරිම වාසනාවන්තයි කියලයි සැලකෙන්නෙ. මේක පුරාණ කෙල්ටිකවරුන්ගෙ ඉඳන් පැවතගෙන එන විශ්වාසයක්. මේ ගැන තියන තවත් කතාවකට අනුව “ඒව” (Eve) තමයි පාරාදීසයේ ඉඳන් මේ කොළ අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේ විදිහෙ ක්ලෝවර් කොළයක් ළඟ තියාගත්තොත් ලැබෙන වාසි සුළු පටු නැහැ කියලයි සමහරු විශ්වාස කරන්නෙ. මිල මුදල්, ජනප්‍රියතාවය, යහපත් සෞඛ්‍ය, අමනුෂ්‍ය බලවේග වලින් ආරක්ෂාව ලැබීම වගේම තමන් ප්‍රාර්ථනා කරන ආදරය උනත් ලැබෙනවලු මේ විදිහෙ වාසනාවන්ත ක්ලෝවර් කොළ හින්ද.

8. වාලම්පූරිය

වාලම්පූරිය කියන වචනයත් එක්ක ඊළඟට මතක් වෙන්නෙ වාසනාව කියන කාරණය තමයි. ඒ තරමටම ඉස්සර ඉඳන් වාලම්පූරි සහ වාසනාව ගැන කතා අපි අහල තියනව. ඒ විතරක් නම් මදැයි, දැන් මහා පරිමාණ බිස්නස් එකක් බවට පවා මේ වාලම්පූරිය පත් වෙලානෙ. කෝටි 10ට විතර විකිණෙන වාලම්පූරිත් තියනව කියලයි දැනගන්න ලැබෙන්නෙ. විශාල ප්‍රමාණයේ මුහුදු බෙල්ලෙකුගේ කටුවට තමයි මේ වාලම්පූරිය කියල කියන්නෙ. වාසනාව ගෙන දෙන වාලම්පූරියක තියෙන්න ඕනෙ ලක්ෂණත් බොහොමයක් ගැන සඳහන් වෙනවා. දක්ෂිණාවර්තව කැරකුණු මේ බෙල්ලන්ගෙ විශාලත්වය අනුව වගේම කටුව මතුපිට තිබෙන දාර ඉරි වලිනුත් මේවායෙන් ලැබෙන වාසනාව තීරණය වෙන බවක් කියනවා. වාලම්පූරියක් ළඟ තියා ගත්තහම සිතූ පැතූ සම්පත් ලබාගන්න පුලුවන් කියල තමයි විශ්වාසය. දියුණුවට කෙටි පාරවල් හොයන අයගේ ඉල්ලුමට සැපයුම සපයන්න කියල ව්‍යාජ විදිහට වාලම්පූරි හදන ජාවාරමුත් සැරටම ක්‍රියාත්මක වෙනව කියලයි දැනගන්න ලැබෙන්නෙ.

කොතරම් වාසනාව ගෙන දෙනවා යැයි කිවුවත් වාලම්පූරිය ලබා ගන්නේ කෘරතර ලෙස මුහුදු බෙල්ලන්ගේ මාංශය සිරුරෙන් ඉවත් කර, උන්ව මරණයට පත් කිරීමෙනුයි. සෞභාග්‍යයේ සංකේතයක් වීම නිසා මේ සත්ව විශේෂයට උදාවී ඇති දුර්භාග්‍යය සුලුපටු නැහැ.

- aniwa.lk


gossip lanka