කෙසෙල් ඇසුරින් රස විප්ලවයක්, සිත වසඟ කරවන රෙසිපි 5ක්

කෙසෙල් කියන්නෙ ඉතින් මඟුල් ගෙදරක වගේම ඕනෙම වෙලාවක ගෙදරක තියෙන බොහොම සුලබ පලතුරක්. දවාලට බත් ටිකක් කාල අතුරුපසට කෙසෙල් ගෙඩියක් කන්න බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නව. මේ කෙසෙල් වලට මීට වඩා විශේෂයක් කරන්න බැරිද? නිකම්ම කෙසෙල් ඇවරියක් මේසෙට තියන්නෙ නැතුව උත්සවයක් වෙලාවක හරි හවසට කම්මැලිකමට ඉන්න වෙලාවක හරි ලේසියෙන්ම හදාගන්න
පුළුවන් කෙසෙල් වලින් හදන කෑම ටිකක් අපි ගෙනාව.

1. Chocolate Banana Pops

මෙන්න මේක නම් පොඩ්ඩොන්ට කියාපු කෑමක්. දරුවන්ගෙ උත්සවයකට ගැලපෙනව වගේම මෙහෙම හදල දුන්නොත් වැඩිහිටියොත් නොකා ඉන්න එකක් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. ඉදුණු කෙසෙල් (කෝලි කුට්ටු වගේ ලොකු කෙසෙල් වර්ගයක් වඩා සුදුසුයි.)
  2. මිල්ක් කුකින් චොකලට්
  3. පොප්සිකල් ස්ටික්ස්
  4. කැබලි හිටින්න කුඩු කරගත් කජු


  • කෙසෙල් ගෙඩිය ලෙලි හැර පොප්සිකල් ස්ටික් එක සීරුවෙන් කෙසෙල් ගෙඩිය මැදට රිංගවා ගන්න. පොලිතින් කවරෙකින් හොඳින් ඔතා අධිශීතකරනයේ පැයක් පමන තබා ගන්න.
  • කුකින් චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට දියකරගන්න.
  • ශීතකල කෙසෙල් කුකින් චොකලට් වල ගිල්වා හොඳින් චොකලට් තවරා එයට උඩින් කුඩු කරගත් කජු ඉස නැවත ශීත කර ගන්න.

2. Banana and Chocolate Sandwich

උදේට වගේම හවසකටත් කන්න පුළුවන් දෙයක් තමයි මේ. ලේසියෙන් හදාගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. ඉදුනු කෙසෙල් ගෙඩි 1
  2. මිල්ක් කුකින් චොකලට්
  3. පාන් පෙති කීපයක්
  4. බටර්


  • පාන් පෙති වල බටර් තවරාගන්න. කුකින් චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දියකරගන්න. කෙසෙල් පෙති කපා ගන්න.
  • බටර් තවරා ගත් පාන් පෙති මත දියකරගත් කුකින් චොකලට් තවරා ඒ මත කෙසෙල් පෙති අතුරා නන්ස්ටික් පෑන් එකක් මත තබා තවත් පාන් පෙත්තකින් වසා දෙපැත්තම පුළුස්සා ගන්න.

3. Deep Fried Banana with Vanilla Ice Cream

අතුරුපසකට මෙහෙම හදා බලන්න. වැනිල අයිස් ක්‍රීම් ටිකක් එක්ක නියමෙට මැච් වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. ඉදුණු කෙසෙල්
  2. බිත්තර 1
  3. පාන් කුඩු
  4. කුරුඳු කුඩු ස්වල්පයක්


  • බිත්තරය හොඳින් ගසා ගන්න. ලෙල්ල හැරගත් කෙසෙල් ගෙඩිය පිටින් බිත්තර සාරු වල දවටා ගන්න.
  • පාන් කුඩු වලට කුරුඳු කුඩු මිශ්‍රකර බිත්තර සාරු දවටාගත් කෙසෙල් පාන් කුඩු වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
  • උණුවෙන්ම වැනිලා අයිස් ක්‍රීම් එයට උඩින් එක් කර පිළිගන්වන්න.


4. Banana and Oats Choco Chip Cookies

හුඟ දෙනෙක් දැන් ඇඟේ බර අඩු කරගන්න කියල උදෑසන ආහාරයට ඕට්ස් කන්න හුරු වෙලා ඉන්නව. එහෙම ගෙනාපු ඕට්ස් තියෙනවනම් මෙන්න ඕට්ස් එක් කරල කෙසෙල් වලින් හදාගන්න පුළුවන් රස කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 2
  2. ඕට්ස් කප් 1
  3. චොකලට් චිප්ස් හෝ කුඩා කැබලි කපාගත් කුකින් චොකලට් කප් 1\2
  4. සීනි මේස හැඳි 1
  5. කුරුඳු කුඩු තේ හැඳි 1\4
  6. බිත්තර 1
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1
  8. පාන්පිටි මේස හැඳි 2
  9. වැනිලා ස්වල්පයක්


  • ඕට්ස් ටික තරමක් කැබලි හිටින්න ග්‍රයින්ඩ් කරගන්න. එයට කුරුඳු කුඩු, සීනි, පිටි එක්කර මිශ්‍ර කරගන්න.
  • කෙසෙල් ගෙඩි හොඳින් පොඩි කරගන්න.එයට බිත්තරය සහ වැනිලා එක් කර මිශ්‍ර කර ඕට්ස් මිශ්‍රණය එක් කර චොකලට් චිප්ස් එක් කර හොඳින් කලවම් කරගන්න.
  • බටර් තවරාගත් බේකින් තැටියක් මත මිශ්‍රණයෙන් මේස හැන්ද බැගින් තැනින් තැන තබා හැන්දෙන් පැතලි කරගන්න.
  • සෙල්සියස් 180ට පෙර රත් කරගත් උඳුණක විනාඩි 12-16ත් අතර හෝ රන් වන් පාට පෙනෙන තුරු බේක් කරගන්න.

5. Banana Pancakes

මේක උදෑසන ආහාරයට සුදුසු ඉන්ග්ලිශ් පෑන් කේක් එකක්. පෝශණය වගේම රසයත් අඩුවක් නෑ. ගෝල්ඩන් සිරප්, මී පැණි, චොකලට් සෝස්, ස්ට්‍රොබෙරි ටොපින් වගේ ඕනෙම දෙයක් එක්ක රස බලන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:


  1. ඉදුණු කෙසෙල් ගෙඩි 4
  2. බිත්තර 3
  3. පාන් පිටි කප් 3\4
  4. බේකින් පව්ඩර් තේ හැඳි 3\4


  • කෙසෙල් ටික පල්ප් එකක් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න. ඒකටම බිත්තර එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.
  • පිටි වලට බේකින් පව්ඩර් කලවම් කර එයත් කෙසෙල් මිශ්‍රණයට එක් කර බ්ලෙන්ඩ් කරගන්න.
  • බටර් ස්වප්ලයක් දමාගත් නන්ස්ටික් තැටියක පෑන් කේක් සාදාගන්න.


gossip lanka