අපේ කොල්ලො ඇ‍ඟේ ලෙඩවලට හිතෙන් හදාගත්තු බෙහෙත් කොච්චර ෂෝක්ද?

අපේ කොල්ලොන්ට එනවනෙ එක එක අමාරු. සෙම, බඩේ අමාරු, ඌෂ්ණෙ, ඔළුව කැක්කුං වගේ දේවල් ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම අපේ කොල්ලොන්ගෙ තියෙනවා ඇඟට හොඳ නෑ කියල දැන දැනත් කරන වැරදි වැඩ. ඒ ඉතිං ඔය සිගරට් බොන එකයි, අරක්කු බොන එකයි තමයි. ඉතිං ඔය වගේ අප්සට්වලට කවදාවත් දොස්තර කෙනෙක් ගාවට යන්න ඒගොල්ලො උත්සහ කරන්නෙ නැහැ. සෙම වුනත් නිවුමෝනියාවට
එනකං දොස්තර ගාවට යන්නෙ නැහැ. එහෙම කරන කොල්ලො හිතෙන් හදාගත්තු බෙහෙත් ටිකක් තියෙනව.

1. ආපෝ ෂුගර්

ෂුගර් කියන්නෙ අපේ අයියලා බයම ලෙඩක්. දවසට දෙපාරක් ග්‍රීන් ටී ගහනව අඹරැල්ලා ජූස් බොනවා. වැඩ කෝටියයි. හැබැයි බොන්න ගියාම අභිප්‍රාය ඒක වුනත් තියරිය වෙනස්. සමහරු සෝඩා එක්ක බිවුවත්, සමහරුන්ට පොඩි පැණි රසක් ඕන. ඒත් කොකාකෝලා ෂුගර් වැඩියි කියන මතයෙ තමයි ඉන්නෙ. ඒත් ඒකට මේ අයියලා විකල්පෙ විදියට පාවිච්චි කරන්නෙ මවුන්ටන් ඩිවු. ඒකෙ තමයි සීනි වැඩිම. ඒක ඉතිං හරියට කජු ඇටයක් තලන්න මිටියට බර වැඩියි කියලා කුළු ගෙඩියක් ගත්ත වගේ වැඩක්.

2. කොළ කැඳ දින දින වැඩි වැඩියේ

අපේ අයියල උදේට නැගිට්ටමයි, බස් එකට නගින්න කලිනුයි, ඔෆිස් එකේ වැඩ පටන්ගන්න කලිනුයි, දවල්ට බත් කාලයි, හවස තේ බොද්දියි, රෑට ගේ ගාවිනුයි විදියට සිගරට් බොන්න පුරුදු වෙලා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතිං ඕක ඇඟට අගුණයි කියලත් කට්ටිය හොඳටම දන්නවා. ඉතිං ඒගොල්ලො කරන්නෙ ඇ‍ඟේ නිකොටින් නැතිවෙන්න කියලා උදේට සිගරට් බොද්දි කොළ කැඳ බොනවා, හවසට කිරි බෝතල් බොනවා වගේ දේවල් කරනවා. කොළ කැඳ, කිරි වගේ දේවල් ඇඟට හොඳයි තමයි. ඒත් ඒවයින් ඇඟට නිකොටින් වලින් වෙන හානිය නැතිවෙන්නෙ නැහැනෙ ඉතිං.

3. බැලන්සින්

ගොඩක් කොල්ලො කඩෙන්නෙ කන්නෙ. හැමදාම උදේට පහුවෙලා ඔෆිස් යන නිසා බත් කකා ඉන්න වෙලාවක් නෑ කියල ඒගොල්ලො කන්නෙ නූඩ්ල්ස්. නූඩ්ල්ස් එක්ක බිත්තරත් හම්බෙනවා. දවල්ට චිකන් කෑම එකක් කනව (නෑ නෑ කුකුල්ලුන්ට දාන කෑම නෙමෙයි). හවසට තේ බොන ගමන් එළවළු රොටියක් කනවා. ඔය විදියට දවස ගෙවලා රෑට තමයි මතක් වෙන්නෙ මම අද දවසට පාන් පිටි කෑව වැඩියි කියලා. ඒ නිසා යන ගමන් ෆ්‍රයිඩ් රයිස් එකක් දාගෙන ගෙදර යනවා. එතනින් ආයෙත් බිත්තර දෙකකුයි, චිකනුයි, අජිනොමොටෝයි එකතු වෙනව. ඕක ලාවට හරි බැලන්ස් වෙන්න නං රෑට කන්න ඕන හාල් පිටි ඉඳිආප්ප එක්ක කිරි හොද්දක් වගේ දෙයක්. අපේ අය රෑට පොඩ්ඩක් කන්නෙත් නැහැනෙ. නිදහසේ කන කෑම වේල නිසා කිරි මාලු කෑලි දෙකක් එක්ක ඉඳිආප්ප තිස්පහක් විතර ගිලිනව. එතකොට බැලන්ස් වෙන්නෙ නැහැ.

4. බැලන්සින් ඇට් ඉට්ස් බෙස්ට්

තවත් බැලන්ස් කරන බුවාලා ඉන්නවා. එයාලා බැලන්ස් කරන්නෙ බීම. සති දෙකක්ම එක දිගට අරක්කු බීපු නිසා මේ සතිය බියර් බොනවා කියන තර්කෙට එනවා. ඒකත් මරු බැලන්ස් එක. නිකමට හිතන්නකො. ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එක 35 විතර තියෙන බෝතලේකින්  බාගයක් ගහපු මනුස්සයා, දැන් ඇල්කොහොල් ප්‍රසන්ටේජ්‍ එක 8.8 වෙච්ච බියර් දෙක තුනක් ගහනවා. ගාණ හදලා බැලුවම දැන් ඉස්සරටත් වැඩිය ඇල්කොහොල් ඇ‍ඟේ. හැබැයි බුවා හෙන සතුටෙන් ඉන්නෙ එයා බීම පාලනය කළා කියල.

5. සෙමට

සෙමට බෙහෙත් ගොඩක් කරනවා. සමහරු නං කෙලිම්ම සෙම හැදුනම කූල් වතුර බොන්න ගන්නව. අඬන එවුන්ගෙ ඇස්වලට ඇඟිල්ලෙන් අයිනව කියන්නෙ ඒක. තවත් එවුන්ට ඉතිං කෝකටත් තෛලෙ කියන ගල් අරක්කු තමයි මතක් වෙන්නෙ. සෙම කැපෙන්න කියලා අමුවෙන් ගල් අරක්කු හරි වයිට් හරි කාලක් ගහනව. ඒව නං තනිකරම කල දුටු කල වල ඉහගැනිලි.

6. චිකන් එපා!

ජිම් යන බුවාලා ඉන්නවනෙ. කැලරි ගැන පුදුම දැනුමක් තියෙන්නෙ. වඩේ එක කන්නෙත් කොලවල ඔතලා තෙල් යවලා විකාර කෝටියක් කරල. ඩ්‍රින්ක් එකක් දාන්න ගියාමත් චිකන් එපා කියලා හෙන වදේ. මස් කෑවම පොරගේ ඩේලි කැලරි ප්‍රමාණෙ ඉහළ නගිනවලු. ස්ටූ එකේ හොඳටම තෙල් ලු. ඔය රට බයිලා ටික ගහලා පොර කන්න ගන්නෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලාජ් එකකුයි, බියරුයි, කැෂූ නට්ස් ප්ලේට් එකයි. ඉතිං කැලරි අඬනවලු.

7. හෙනට පෑවිල්ල

කට්ටියගේ තවත් අවුලක් තමයි බඩ වේලන එක. උදේට ජිම් එකේ පැය තුනක් වර්ක් අවුට් කරනවට වඩා මහන්සි වෙනවා ශරීර කෘත්‍යය කරන්න. ඉතිං ඔහොම වෙනකොට තත්ත්වෙ අවුල් නිසා කට්ටිය එනව තීරණේකට. ඒ තමයි බඩ බුරුල් වෙන්න බෙහෙත් බොන එක. ඒකට විසඳුම් කිහිපයක් තියෙනව. ගස්ලබු ගෙඩියක්, අරළු පෙති හෝ දොස්තර කෙනෙක්ගෙන් හොඳ විසඳුමක් සෙට් කරගන්න පුළුවන්. ඒත් අපේ අයියල කරන්නෙ ටවුමට තියෙන අවුල්ම, අපිරිසිදු කොත්තු කඩෙන් කොත්තුවක් දාගන්න එක. නරක් වෙච්ච ලීක්ස්, කළු වෙච්ච කැරට් එක්ක, කුණු තක්කාලි දාලා, චිකන් හම් ටිකක් උඩින් අතුරලා, මස් කට්ට තලලා දෙන කොත්තුවක් කෑවම තමයි කට්ටියගෙ හිතට නිවනක් දැනෙන්නෙ. ඊට පස්සෙ ඉතිං බඩ ගාසා තී‍රෙ වගේ. සිද්ධ වෙන්නෙ පරණ කුණු යන එක නෙමෙයි. අලුතෙන් බඩේ අමාරුවක් හැදෙන එක.

- aniwa.lk
gossip lanka