“තට්ටයා, මං ලස්සන තට්ටයා…”
කියන්නෙ නම් එහෙම වුනාට තට්ටෙ පෑදෙන එක ඒ තරම් සැහැල්ලුවෙන් ගන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි නේද?
සාමාන්‍ය ප්‍රමාණයට වඩා හිසකෙස් ගැලවී යාම (දවසකට හිසකෙස් 75ත් 100ත් අතර ගැලවී යාම සාමාන්‍යයි) එහෙමත් නැත්නම් තට්ටය පෑදීම බහුතරයක් පිරිමි පාර්ශවයට ඇති ගැටළුවක්. තට්ටය පෑදීමෙන්
පුද්ගලයෙක්ට තමන් ගැන ඇති ආත්ම විශ්වාසය ගිලිහෙන්න පුළුවන්. ඒ වගේමයි වයසට වඩා පෙනුමක් ගෙන දීම. ටික ටික කොණ්ඩෙ ගිහින් අන්තිමට සම්පූර්ණ තට්ටය පෑදෙන්න පුළුවන්. කැප් එක දාගත්තම 25 පෙනුම, කැප් එක ගැලෙව්වම 40 පෙනුමක් වෙන වෙලාවල් අපි දැකල නැතුව නෙවෙයිනෙ.
ඉතින් අපි හිතුවා මෙන්න මේ තට්ටය පෑදීම කියන පොදු ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් බලපාන හේතු සහ ඒවාට කල හැක්කෙ මොනවද කියලා අපේ අනිවා බලන හිතවතුන්ට කියන්න. අකලට කෙස් යන අයට වගේම ආරෙට හිසකෙස් යන අයට පිළියමකුත් මේ ලිපියේ තියෙනවා.
තට්ටය පෑදෙන්න ආරයට අමතරව මෙන්න මේ හේතු බලපානවා.
1. ආතතියෙන් (Stress) ගැලවෙන්න
ස්ට්‍රෙස් එක කියන්නෙ ඔබේ හිසකෙස් වැඩිපුර ගැලවී යන්න බලපාන හේතුවක්. හැබැයි එහෙම උනාට ඔබට උත්සාහයක් දරල පාලනය කරන්න පුලුවන් තත්ත්වයක් තමයි මේ ස්ට්‍රෙස් එක. ඒ නිසා මේ ලයිස්තුවේ එන අනෙකුත් හේතු තරම් ස්ට්‍රෙස් එක භයානක නෑ. ඔබේ එදිනෙදා ජීවන රටාවේ පොඩි වෙනස්කම් ටිකක් කරල උනන්දුවෙන් උත්සාහයක් දැම්මොත් වෛද්‍යවරයෙක් නැතිවම ස්ට්‍රෙස් එක පාලනය කරන්න ඔබට පුලුවන් වෙයි. ස්ට්‍රෙස් එක පාලනය වූ වහාම ඔබේ හිසකෙසුත් නැවත යථා තත්ත්වයට පත්වෙයි.
2. හෝමෝන සහ පෝශණ ඌණතා වලකන්න
සමබර ආහාර වේලක් ගන්න එක හිසකෙස් ගැලවී යාමට මුහුණ පාලා ඉන්න කෙනෙක්ට අනිවාර්යයි. යකඩ සහ ප්‍රෝටීන් බහුල ආහාර ඔබේ කෑම වේල් වලට එක් කරගන්න. ඒ වගේම තට්ටය පෑදීමට බලපාන DHT හෝමෝනය නිපදවීම අඩු කරවන වට්ටක්කා ඇට, කොමඩු, තක්කාලි, අඹ සහ ග්‍රීන් ටී වගේ දේවල් ඔබේ ආහාර වේලට එක් කර ගැනීමට වග බලාගන්න.
3. නෑමේදී සැලකිලිමත්වන්න
හැමදාම නෑම කොහොමත් සුදුසුයි. නමුත් ඔබ නාන හැම දවසකම ෂැම්පු කිරීමට හුරු වෙලා නම් එය නවත්තන්න. දිනපතා ෂැම්පූ කිරීමෙන් ෂැම්පූ වල තියෙන රසායනික ද්‍රව්‍ය වලින් ඔබේ හිස් කබල වියලීම හිස කෙස් ගැලවී යාමට මඟ පාදනවා. දවසක් හැර දවසක් එහෙමත් නැතිනම් සතියට දවස් තුනක් හෝ හතරක් ෂැම්පු කිරීම ප්‍රමාණවත්.
4. නිසි ෂැම්පු තෝරාගන්න
කතාවට කියන්නේ කොල්ලොන්ට නම් බෝතලේ ෂැම්පු කියල ගහල තිබ්බම ඇති කෙල්ලො වගේ තෝර තෝර ඉන්න ඕන නෑ කියල. හැබයි ඒකෙ පාඩුව ඔබටමයි. Sodium Lauryl Sulphate අඩංගු ෂැම්පු සහ Methylparaben, Propylparaben, Ethylparaben, Propylparaben, Butylparaben සහ Isobutylparaben යන නම් සඳහන් වෙලා තියෙන Paraben අඩංගු ෂැම්පු භාවිතය ඔබේ තට්ටය පෑදීම ඉක්මන් කරාවි. හිසකෙස් ගැලවී යාමටම විශේෂයෙන් නිපදවපු ෂැම්පු වර්ග වුනත් ගනිද්දි මේ කියපු දේවල් අඩංගුද කියල බලලම ගන්න. එහෙමත් නැත්නම් බේබි ෂැම්පු වගේ මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න.
5. තෙත පිටින් කොණ්ඩය පීරනවද?
උදේට නාලා වැඩට යන හුඟ දෙනෙක් කරන ලොකුම වරදක් තමයි මේ තෙත පිටින් කොණ්ඩය පීරීම. ඔබේ හිස් කබල තෙමීමෙන් මෘදු වෙලා තියෙන වෙලාවක කොණ්ඩය පීරීමෙන් හිසකෙස් ගැලවී යනව වැඩී. ඒ පුරුද්ද වහාම අත් හරින්න. එහෙම පීරන්නම අවශ්‍යනම් දැති අතර ලොකු හිඩැස් ඇති පනාවකින් පීරන්න. ඒ වගේම නිතර නිතර Hair Dryer පාවිච්චිය කොහෙත්ම සුදුසු නෑ. හිසකෙස් ස්වභාවිකව වියලීම තමයි සුදුසුම.
6. මත්පැන් සහ දුම්වැටි අතාරින්න
සෞඛ්‍යට විතරක් නෙවෙයි මේ දෙක තට්ටෙටත් බලපානවා. දුම්වැටි භාවිතයෙන් රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා හිස කෙස්වල පෝශණයට එය බලපානවා. ඒ වගේම මත් පැන් භාවිතයෙන් ටෙස්ටස්ටරොන් (Testosterone) හෝමෝනය නිපදවීමට බාධා එල්ල වෙන නිසා තට්ටය පෑදීමට එයත් හේතුවක් වෙනවා. තට්ටෙට ආස නැත්නම් ඔය දෙක අවම ලෙස පාවිච්චිය හෝ පාවිච්චි නොකරම සිටීම වඩා හොඳයි.
7. නිසි ලෙස හෙල්මට් භාවිතා කරන්න
මේක නම් විද්‍යාත්මකව ඔප්පු වෙලා නැති වුනත් පොදුවේ තට්ටය පෑදීමට බලපාන හේතු අතර හෙල්මට් පැළඳීම තියෙනවා. හෙල්මට් නිතර භාවිතා කරන අය අතරම තියෙන මැසිවිල්ලක් තමයි මේ. හැබැයි ඉතින් තට්ටෙ පෑදුනත් ආරක්ශාව ගැන හිතද්දි හෙල්මට් නොදා බෑනේ. ඒ නිසා හෙල්මට් එකක් පලඳින කොට පමණට වඩා හිසකෙස් ඇදෙන අන්දමට පැලදීමෙන් වලකින්න. ඒ වගේම නිතරම හෙල්මට් පාවිච්චි කරනවනම් හෙල්මට් එකේ පිරිසිදුකම රැකගන්න විශබීජ නාශක වලින් සෝදා තද අව්වේ වියළා ගන්න. හෙල්මට් එකක් දාගෙන ගමනක් ගිහින් ආවොත් හිස සෝදගන්න පුළුවන් නම් මේ තත්වය තවත් අඩු කරගන්න පුළුවන් වේවි.
8. හිසකෙස් ගැලවීමට බලපාන කොණ්ඩ විලාසිතා සහ ජෙල් ගැන දැනගන්න
කොණ්ඩය ගොතන හෝ තදින් ගැටගසන කොණ්ඩ විලාසිතා නිසා කොණ්ඩය කැඩී යාම සහ ගැලවී යාම වැඩි වෙන්න පුලුවන්. නිතර ජෙල් වැඩිවශයෙන් ගාන්න සිදුවෙන විලාසිතාත් කොණ්ඩය යන අයට ගැලපෙන එකක් නෑ. ජෙල් ගානවනම් හොඳින් දිනපතා සෝදන්නට වෙනවා. නැතිනම් හිස් කබලේ තෙල් සහ මැරුණු සම සමඟ මේවා එකතු වෙලා හිස් කබලේ විවර වැසී යන්න බලපානවා.
9. ආරයට කෙස් යන අයට කල හැකි පිළියම් මොනවාද?
ආරයට කෙස් යන අයට හැමෝම කියන්නෙ ආරෙට එන තට්ටෙ නවත්තන්න බෑ කියල. හැබැයි දැන් හැම දේකටම පිළියම් තියෙන එකෙ මේකට නැති වෙන්න බෑනෙ. ඔන්න ආරෙට කෙස් යන අයටත් දැන් පොඩි බලාපොරොත්තුවක් ඇති කරගන්න දැන් පුළුවන්. Minoxidil කියන ඖෂධය පාරම්පරිකව තට්ටය පෑදෙන අයට භාවිතා කල හැකි ප්‍රතිකාරයක්. මෙයත් කියවා, වෛද්‍ය උපදෙස් මත මේක භාවිතා කිරීම වඩා සුදුසුයි.
10. අකලට හිසකෙස් යන අයට නිවසේදීම කල හැකි ස්වාභාවික ප්‍රතිකාර
නෙල්ලි සහ දෙහි යුශ
අඹරාගත් බෙහෙත් නෙල්ලි මේස හැන්දකට දෙහි යුශ මේස හැන්දක් මිශ්‍ර කර හිස් කබලහි හොඳින් අතුල්ලා, ශවර් කැප් එකකින් හිස වසා රැයක් තියෙන්න හැර උදෑසනට ෂැම්පූ කර සෝදා හරින්න.
උළුහාල් පේස්ට්
උළු හාල් කප් එකක් රැයක් පෙඟෙන්න තබා උදෑසනට එය පේස්ට් එකක් වන තෙක් අඹරාගන්න. එය හිසෙහි හොඳින් අතුල්ලා විනාඩි 40ක් තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනපතා මාසයක් කරන්න.
ලූනු ඉස්ම
ලූනු ගෙඩියක් ග්‍රේට් කර එහි යුශ මිරිකාගන්න. එය හිසෙහි ආලේප කර පැය භාගයක් තබා ෂැම්පු කර සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය සතියට තුන්වරක් සති කීපයක් කරන්න.
කෝමාරිකා යුශ
කෝමාරිකා යුශ හිසෙහි හොඳින් ආලේප කර පැය කීපයක් තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරයත් සතියට දවස් 3ක් සති කීපයක් කරන්න.
11. කොණ්ඩය සිටුවීම
හිසකෙස් සිටුවීම එහෙමත් නැත්නම් hair transplant කියන්නෙත් දැන් හිසකෙස් අඩු බොහෝ අය අතරෙ ජනප්‍රිය විසඳුමක්. ලංකාවෙත් මේ සේවාවන් ලබාගත හැකි ස්ථාන තිබෙනවා.
- aniwa.lk
කොණ්ඩෙ හැලෙන සීන් එක අඩු කරගන්න අනුගමනය කල හැකි දේවල් 11ක්
2018-01-29T02:07:00-08:00
Gossip Lanka Hot News
slide|