ජීවිතේම ඩ්‍රාමා එකක් කරගත්තු ගෑණු ළමයෙක්/පිරිමි ළමයෙක් එක්ක ජීවත් වෙන්න මේ ටිප්ස් 7 කියවන්න

මොකද්ද මේ ඩ්‍රාමා ක්වීන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්, බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියන්නේ? රංගනයෙන් ජීවත් වෙන කෙනෙක්ද? නැත දරුවා නැත. දැන් ඔය ගෑල්ලමයි ඉන්නේ ලෝකේ මධ්‍ය ලක්ෂ්‍යය තමන් කියලා හිතාගෙන ඉන්න. ඒ අය නියම කුමාරිකා ලෙවල් එකෙන් ජීවත් වෙන ගමන්, තමන් වටේ ඉන්න හැමෝම සම්පූර්ණ අවධානය තමන්ට දෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ අවධානය ගන්න එක එක විදියේ
ඩ්‍රාමා කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේදී අපි එතරම් නොසලකන සුළු දෙයක් වුනත් මේ වගේ අය මහාමෙරක් විදියට අරගෙන දවසක් ඒකට නටයි. කෙලින්ම ඉන්දියන් මෙගා ටෙලියක් වගේ තමා. හැබැයි මෙහෙම කියනකොට හිතෙයි කෙල්ලෝ තමයි ඩ්‍රාමා කරන්නේ කියලා. වැඩියෙන් ඩ්‍රාමා ක්වීන්ලා දකින්න ලැබෙන්නේ කාන්තා පාර්ශවේ අතර තමයි. හැබැයි මතක තියාගන්න, කෙල්ලොන්ට හපන් ඩ්‍රාමා ක්වීන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා. වෙන්න ඕන විදියටම ඩ්‍රාමා ක්වීන් ටයිප් කෙල්ලෙක් නැත්තං කොල්ලෙක්ගේ වද කරදර වැඩියෙන්ම විඳින්න වෙන්නේ ඒ කෙනාට ලව් කරන මනුස්සයටනේ. හැබැයි කොච්චර ඩ්‍රාමා ක්වීන්ලා වුනත් ආදරේ කරන කෙල්ලව නැත්තං කොල්ලව එපා වෙන්නෙත් නැහැනේ. ආන්න ඒ නිසා මේ වගේ ලෝකෙම අවධානය ඉල්ලා හිටින කෙල්ලෙක්ව/කොල්ලෙක්ව හැන්ඩ්ල් කරන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ.

1. තමන්ට ඕන මොනවද කියන දේ තේරුම් ගන්න

මේ ස්ටෙප් එක බොහොම වැදගත්. මොකද ඩ්‍රාමා ක්වීන් ඇටිටියුඩ් එකක් තියෙන කෙල්ලෙක්ව/කොල්ලෙක්ව ටැක්ල් කරන්න වෙලාව ඇත්තටම තමන්ට තියෙනවද කියන එක තීරණය වෙන්නේ, මේ සම්බන්ධතාවය තමන්ට ඇත්තටම කොයි තරම් වැදගත්ද කියන එක මත තමයි. එතකොට තමන්ගේ ප්‍රේම සම්බන්ධකම් හැම එකක්ම කෙළවර වෙන්නේ මේ විදියේ අයගෙන් නම් අපිට අපෙන්ම අහලා බලන්න වෙනවා මොකද්ද සීන් එක කියලා. ඒ කියන්නේ සමහර විට අපි නොදැනුවත්වම ආශක්ත වෙන්නේ මේ විදියේ අයට වෙන්න පුලුවන්. හැබැයි මේ මොනදේ වුනත් අපි හිතලා බලන්න ඕන අවංකවම සීරියස් සම්බන්ධතාවයකද අපි ඉන්නේ කියලා. එහෙම නැතුව අපිට පස්සේ ඒ කෙනාගේ ඩ්‍රාමා ඇතිවෙලා සම්බන්ධය එපා වුනොත්, ඒක අනික් පාර්ශවයටත් මානසික පහරක් වෙන්න තියෙන ඉඩ වැඩියි.

2. කණ ගාව බෝම්බ පිපිරුණත් කූල් එකේ ඉන්න

මේ තමන්ගේ කූල් එක තියාගන්න එක තමයි ඩ්‍රාමා ක්වීන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්/බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ජීවත් වෙනකොට පිළිපදින්න ඕන අනිවා නීතිය. මොකද අපේ වැඩ ඔක්කොම පැත්තක දාලා ඒ අයගේ ඩ්‍රාමා වලට එකතු වෙන එක තමයි ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ආන්න ඒ නිසා කුස්සියේ බෝම්බයක් පිපිරුණා කියලා මැරෙන්න හැදුවත්, අපි දැනගන්න ඕන අපේ පැට්‍රල් පුච්චගන්නෙ නැතුව කූල් එකේ ඉන්න. හැබැයි මේ කියන්නේ ෆුල් ඩ්‍රාමා මෝඩ් එකේ කියවන ගෑල්ලමයෙක්ට කෙලින්ම “කට වහගන්න” කියලා කෑ ගහන එක නෙවෙයි. ගණන් නොගෙන හිනා වෙවී ඉන්න පුලුවන් කම.

3. හැබැයි සුරක්ෂිතභාවය සපයන්න

ගොඩක් වෙලාවට ඩ්‍රාමා ක්වීන් වර්ගේ ආදරවන්තියක්/ආදරවන්තයෙක් මුළු ලෝකේම අවධානය තමන්ගේ කොල්ලගෙන්/කෙල්ලගෙන් ඉල්ලන්න ප්‍රධාන කාරණාවක් වෙන්නේ තමන්ගේ හිත ඇතුළේ තියෙන අනාරක්ෂිතභාවය. අපි හිතමු කොල්ලෙක් යාලුවොත් එක්ක පොඩ්ඩක් එළියට යනවා කියලා. අන්න එතකොට වයිෆ් කෙඳිරි ගායි, මැරෙන්න හදයි කොල්ලා යන්නේ කෙල්ලෝ බලන්න කියලා. දැන් ඒක ගණන් නොගෙන ඉන්න පුලුවන්. එහෙම නැතිනම් ඒකට කේන්ති ගන්න පුලුවන්. හැබැයි ඒ ක්‍රම දෙකෙන්ම වෙන්නේ තත්ත්වේ තවත් බරපතළ වෙන එක. ආන්න ඒ නිසා කරන්න ඕන හොඳම දේ තමයි කෙල්ලට පොඩ්ඩක් වැඩිපුර ආදරේ කරලා එයාට සහතික කරන එක “මගේ ලෝකේ කුමාරි ඔයා තමයි සුදෝ” කියලා. තමන් කූල් එකේ ඉඳන් ඇගේ අවධානය වෙන අතකට හරවන්න. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඈට ටිකක් වැඩිපුර අවධානය ලබාදෙන එක.

4. තමන්ගේ සීමාවන් කලින්ම තීරණය කරන්න

ඩ්‍රාමා ක්වීන් වර්ගයේ කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක පවුල් කන්න පොඩ්ඩක් ශක්තිමත් විනයක් තියෙන මනුස්සයෙක් ඉන්නම වෙනවා. ඒ කියන්නේ සැර වැර ඩයල් එකක් නෙවෙයි. හැබැයි තමන්ගේ සීමාවන් බොහොම පැහැදිලිව ලකුණු කරන්න පුලුවන්, ඒ සීමාවන් පනින්න නොදෙන දැඩි විනයක් පවත්වාගන්න පුලුවන් කෙනෙක්. ඩ්‍රාමා ක්වීන් කෙනෙක් එක්ක මේ පුද්ගලික ජීවිතේ සහ වෘත්තිමය ජීවිතේ සීමාවන් ලකුණු කරන එක බොහෝම වැදගත්. උදාහරණයක් විදියට ගත්තොත් ඔන්න ඔ‍ෆිස් ලයින් එකට නවතින්නේ නැතුව කෝල්ස් එන්න පුලුවන් එක දවසක. දැන් ගෑල්ලමයා අඬ අඬ කියයි බොස් බැන්නා, ඒ නිසා එයා ලීව් එකක් දානවා, එයාව ගන්න එන්න කියලා. දැන් මුලින්ම කරන්න ඕන දේ තමයි කතා කරලා ෂුවර් එකටම දැනගන්න එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය ඔ‍ෆිස් දවසක වෙන්න පුලුවන් දෙයක් නම් එයාට පැහැදිලිව, කාරුණිකව හැබැයි දැඩිව පහදලා දෙන්න ඕන වැඩක් නොකර ඉඳලා බොස් බණින බණින සැරේට ගෙදර යන්න ගියොත් ජොබ් එකක් ඉතුරු නොවෙන බව.

මේ සීමාවන් පුද්ගලික ජීවිතේදීත් තියෙන්න ඕන. උදාහරණයක් විදියට කොල්ලගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකකට වැඩියෙන් ලයික් කරලා තියෙන්නේ කෙල්ලෝ කියලා ඩ්‍රාමා ක්වීන් ටයිප් කෙල්ලෙක් දාර වලියක් ඇදගන්න පුලුවන්. ඒ කෙල්ලො ඔක්කොම අන්ෆ්‍රෙන්ඩ් කරන්න කියලා මැරෙන්න හදන්න පුලුවන්. ඒ වගේ වෙලාවක බොහොම තීරණාත්මකව හැබැයි කාරුණිකව පෙන්නලා දෙන්න ඕන තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක කියන්නේ තමන්ගේ පුද්ගලික අවකාශය බව.

5. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙන බව දැනගන්න ඉඩ දෙන්න

ඩ්‍රාමා ක්වීන් කෙල්ලෙක් හෝ කොල්ලෙක් ගොඩක් වෙලාවට දක්ෂ දෙයක් තමයි තමන්ගේ වැ‍රැද්දෙන් සිද්ධ වෙන දේකින් වුනත් ගැලවිලා, ලිස්සලා යන එක. හැබැයි ඒකට ඉඩ දෙන එක හෙනම ගොන් කමක්. උදාහරණයක් විදියට ගත්තොත් අර උඩ කිව්ව විදියට බොස් බැන්නා ගෙදර යන්න ඕන කියලා අඬන ගෑල්ලමයෙක් ඇත්තටම කරන්නේ ඩ්‍රාමා එකක් නම්, එයාව කිසිම දෙයක් අහන්නේ නැතුව ගෙදර එක්කගෙන යන එක කරන්න පුලුවන් වැරදිම වැඩක්. මොකද එතනින් එහාට කවදාවත් එයා තේරුම් ගන්න එකක් නෑ ජොබ් එකක් කොයිතරම් සීරියස් වෙන්න ඕනද කියලා. අන්තිමට ජොබ් එක බේරගන්න නං කොල්ලටත් එයා එක්ක ගිහින් බොස්ව හම්බුවෙන්න සිද්ධ වෙයි. ආන්න ඒ නිසා එහෙම ඩ්‍රාමා කරලා තනියෙන් ගන්න තීරණේක ප්‍රතිඵලත් එයාටම අත්විඳින්න ඉඩ තියන්න ඕන. එතකොට ඩ්‍රාමා කරලා ඕන ප්‍රශ්නෙකින් බේරිලා යන්න බැහැ කියලා එයා දැනගනී. එතකොටවත් ඇත්ත ජීවිතේ සීරියස් දේවල් ඩ්‍රාමා කරලා අවුල් කරලා, ප්‍රශ්න ඇතිකරගන්න එක අඩු වෙයි.

6. ආධිපත්‍යය ගන්න ඉඩ දුන්නොත් ඉවරයි

සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයක් ඇතුළේ කොල්ලා හරි කෙල්ල හරි තීරණ ගන්න පුලුවන්. හැබැයි අපි සාමාන්‍ය තත්ත්ව යටතේ කියන්නේ එක්කෙනෙක් තව කෙනෙක්ව පාලනය කරන තැනට නොයන්න ඕන කියලනේ. හැබැයි ඩ්‍රාමා ක්වීන් සි‍ටුවේෂන් එකකදී මේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. මොකද සමහර වෙලාවට අපිට පාලනේ අතට ගන්න සිද්ධ වෙනවා. එතකොට අනිවා ඩ්‍රාමා ක්වීන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට නැත්නම් බෝයිෆ්‍රෙන්ඩ්ට සම්බන්ධය ඇතුළේ පාලනය හිමි නොවෙන බව ෂුවර් කරගන්නත් සිද්ධ වෙනවා. ඇයි එහෙම කියන්නේ? හිතන්න ඩ්‍රාමා ක්වීන් ටයිප් කෙල්ලෙක්ට අපි ජීවිතේ සීරියස් දෙයක් ගැන එයා කරන තේරුමක් නැති කම්ප්ලේන් වලට දිනුම දෙනවා කියලා. ඒ කියන්නේ කවදාවත් සීරියස් දෙයක් ගැන සීරියස් තීරණයක් ගන්න සිද්ධ නොවෙන්න පුලුවන්. ඒ නිසා ඩ්‍රාමා ක්වීන් ගෑල්ලමයා කොයිතරම් පොළවේ හැපුණත්, ඇඬුවත්, අඩි පොළවේ හැප්පුවත් තේරුමක් නැති තීරණ ගන්න ඉඩ නොදී ඉන්න ඕන. හැබැයි ඒක කරන්න ඕන සැර වැර වෙලා නෙවෙයි. ඩ්‍රාමා ක්වීන් කෙනෙක් එක්ක ජීවත් වෙන කොල්ලෙක්ට නැත්තං කෙල්ලෙක්ට ඉවසිල්ලෙන්, කාරුණිකව ඒත් දැඩිව එයාව තමන්ගේ පැත්තට නම්ම ගන්න සාත්තරේ ඉගෙන ගන්න වෙනවා.

7. තමන්ගේ ටැංකියට පෙට්‍රල් ගහලා තියාගන්න

ඇත්තම කතාව තමයි ඩ්‍රාමා ක්වීන් වර්ගයේ, ලෝකෙම අවධානය තමන්ට ඉල්ලන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක ජීවත් වෙනවා කියන එක එක්තරා ප්‍රමාණයකට වෙහෙසක් කියන එක. ඒ කියන්නේ මේ අයගේ ඩ්‍රාමා එක්ක ඩීල් කරලම අපෙත් බැටරි බහිනවා. අන්න ඒ නිසා අපේ ජීවිතේ බැලන්ස් එකකට ගන්න එක අනිවා කරන්න ඕන දෙයක්. අපි බොහොම හොඳ මානසික තත්ත්වයක ඉන්නකොට අපිට ඩ්‍රාමා ක්වීන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ/බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ ඩ්‍රාමා පාලනය කරන්න පුලුවන්. ඒ නිසා මානසිකව වගේම ශාරීරිකවත් හොඳ තත්ත්වයකින් ඉන්න එක අනිවා කරන්න ඕන දෙයක්. ඒ වගේම යෝග ව්‍යායාම හරි ජිම් යන එක හරි වගේ දේවල් කරන එක බොහොම හොඳයි.

- aniwa.lk









gossip lanka