දැන් කෙල්ලත් එක්ක ලව් එක ගොඩදාගත්තට පස්සේ ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්න කොල්ලෝ ඉන්නවනේ. ඔක්කොම හරි වගේ තමයි, හැබැයි පුතාලා ප්ලේන් එකක් අහසට නැග්ගුවට පස්සේ අහසෙනෙ තියෙන්නෙ කියලා එන්ජින් ඕෆ් කරන්නෙ නෑනේ. ඉතින් ඒ නිසා කසාද බඳින්නම සෙට් වෙලා හිටියත් ආදරේ, අවධානේ හොඳටම තියෙන්න ඕන. විශේෂයෙන්ම කසාදයක් ගැන තීරණයක් ගන්න කාලේ කියන්නේ අර පටන් ගත්තු කාලේ තියෙන මියුරු පෙම් මදිරා ත්‍රිල් එක ඉවර වෙලා,
ලව් එක පොඩ්ඩක් ගැඹුරු තැනක තියෙන්නේ. හැබැයි ඒ හින්දම ගෑල්ලමයෙක් තමන්ගේ කොල්ලගෙන් ලබන්න ආස කරන පුංචි පුංචි දේවල් මිස් වෙන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නේ කසාද බඳින්න තීරණේ කරගෙන ඉන්න ගෑල්ලමයෙක්, තමන්ගේ කොල්ලගෙන් කටින් නොඉල්ලන, ඒත් බලාපොරොත්තු වෙන දේවල් කීපයක් ගැන තමයි.
1. ආදරේ සහතිකේ
මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ආදරේ කරනවා කියලා දැනෙන එක ගැන. ඒ කිව්වේ මෙහෙමනේ. සාමාන්‍යයෙන් ආදරේ සෙට්ල් වෙලා කසාද බඳිනවා කියන තැනටත් ආවට පස්සෙ ගොඩක් වෙලාවට ලව් ජීවිතේ පොඩ්ඩක් බෝරින් වෙනවා. එතකොට අර “ආදරේ වැඩි හින්දයි” කාලෙදි තිබුණු අවධානය, පුංචි පුංචි ආදරේට කරන වැඩ, සර්ප්රයිසස් එහෙම අමතක වෙලා යනවා. එතකොට ගෑල්ලමයා කම්ප්ලේන් කරන්න පටන් ගන්නවා ලොවෙත් නැති දේවල් ගැන. ඒ හින්දා මූලිකවම කොල්ලෙක් හිතට ගන්න ඕන දෙයක් තමයි තමන් කසාද බඳින්න ලැහැස්ති වෙලා හිටියත් තමන්ගේ ආදරේ මැජික් එක තියාගන්න ඕනෑයි කියන එක. මේක ගෑල්ලමයෙක්ට වුනත් සීයෙට සීයක් අදාළයි.
2. මගේ යාලුවෝ ඔයාගෙත් යාලුවෝ
කොච්චර හැංගි හැංගි ලව් කලත්, කසාද බඳිනවා කියන තීරණේට ආවට පස්සෙ දෙන්නගේ යාලු මිත්‍රයෝ එහෙම මුණගැහෙන්න වෙනවා. කොහොමත් කපල් එකක් කියන එකත් එක්ක අනිත් යාලු කපල් එක්ක හවසකට සෙට් වෙලා සෝෂල් ලයිෆ් එකක් තියෙන එක වෙන්න ඕන දෙයක්. මේ කාලේදී ඒක සෑහෙන්න දැනෙනවා. එතකොට ගෑල්ලමයා කැමතියි තමන්ගේ යාලුවෝ සහ හස්බන්ඩ්ලා එක්ක තමන්ගේ කොල්ලත් සෙට් වෙනවට. කොල්ලෝ ඒ ගැන පොඩ්ඩක් හිතන එක හොඳයි මේ කාලේදී.
3. අර නැන්දගෙ ගෙදරයි, මේ නැන්දගෙ ගෙදරයි
දැන් කසාද බඳිනවා කියන්නේ කෙල්ලගේ නෑයෝ ඔක්කොම කොල්ලගෙ නෑයොත්, කොල්ලගෙ නෑයො ඔක්කොම කෙල්ලගෙ නෑයොත් වෙනවා කියන එකනේ. දැන් කසාදේ කන්ෆර්ම් වුනාට පස්සේ නෑයෝ බොහොම කැමතියි ‘අපේ සුදු දුව’ බඳින්න ඉන්න පුතාව එහෙම දැකගන්න. ඉතින් ඔය ෆැමිලි ඉවෙන්ට් වලට ඉන්විටේෂන් එන්නේ දෙන්නටමයි. ඉතින් කෙල්ලත් කැමතියි කොල්ලව එක්කගෙන ගිහින් පෙන්නන්න. ආන්න ඒ හින්දා කොල්ලා මෙතනදී ගාණට කාඩ් එක රැකගෙන, ලකුණු රැස්කරගනියි කියලා කෙල්ල බලාපොරොත්තු වෙනවා. දැන් ඔය අතරේ ඉන්න පුලුවන් දිරවන්නෙ නැති නෑදෑයෝ එහෙම. දෙයියන්ගේ නාමෙට ගේම ඉල්ලන්න යන්න එපා කොල්ලෝ. හිනා වෙලා හිටපං!
4. ඔයත් මගේ, වගකීමත් මගේ
ආදර සම්බන්ධතාවයක වගකීම තියෙන්නේ දෙන්නටම තමයි. හැබැයි ගොඩක් වෙලාවට ගෑල්ලමයි කැමතියිනේ කොල්ලා වැඩියෙන් වගකීම් සහගත වෙනවට. ඉතින් කසාද බඳිනවා කියලා තීරණේ කළාට පස්සේ කොල්ලා අනාගතේ ගැන දෙන්නගේ තියෙන සැලසුම් ක්‍රියාත්මක කරන්න මුල පුරනවට කෙල්ලෙක් හරිම කැමතියි. ඒක හරිම සෙක්සි කියලා කෙල්ලෙක් හිතනවා කිව්වොත් වැරදි නෑ. හැබැයි මේ කියන්නේ හිට්ලර් පාට් එක කරන්න කියලා නෙවෙයි, හරිද. ගොඩක් වෙලාවට මෙතනදී ඕන වෙන්නේ විවාහයෙන් පස්සේ දෙන්නගේ ජීවිතේ එකට සැලසුම් කිරීම සම්බන්ධයෙන් කොල්ලා වගකීම ගන්න එක තමයි.
5. හැබැයි වෙඩිම අපේ
එහෙම වගකීම ගැනීම ගැන කිව්වට, විවාහ උත්සවය සම්බන්ධයෙන් කොල්ලා තනි තීරණ ගන්න යන එක නං ඒ තරම් සුබ නෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් විවාහයක් කියන්නේ කෙල්ලෙක්ගේ වගේම කොල්ලෙක්ගේත් ජීවිතේ බොහොම වැදගත් තැනක් තමයි. හැබැයි කොල්ලෙක් වගේ නෙවෙයි, කෙල්ලෙක් පුංචි කාලේ ඉඳන් හීන දකින දෙයක් තමයි මනාලියක් වෙන එක. අන්න ඒ නිසා විවාහයේදී ගෑල්ලමයගේ කැමැත්තට මුල් තැනක් දුන්නට කමක් නෑ. ඒ කියන්නේ කෙල්ල ලංකාවේ ලොකුම වෙඩිම ගන්න ඕන කිව්වොත් ගෙවල් උකස් තියන්න යන්න කියලා නෙවෙයි. හැබැයි විවාහ උත්සවය සැලසුම් කිරීමේදී ගෑල්ලමයගේ ආසාවන් ගැන අපි සෑහෙන්න හිතනවා කියලා දැනෙන්න අරින එක. අන්න ඒක කටින් නොකිව්වත් ගෑල්ලමයෙක් බලාපොරොත්තු වෙන දෙයක්.
6. අපි දෙන්නගේ දවසක්
මෙන්න මේ කාරණයත් ඇත්තටම කසාද බඳින්න ඉන්න දෙන්නෙක්ට විතරක් නෙවෙයි, කසාද බැඳලා ළමයි බමයි හදපු කපල් එකකට වුනත් එක විදියටම වැදගත්. සාමාන්‍යයෙන් ලව් එකක් පටන් ගත්තු කාලේ දෙන්නට දෙන්නා මුණගැහෙන්න ඔෆිස් නිවාඩු දාගෙන යන්නේ. හැබැයි ලව් එක පරණ වෙලා කසාදයක් කාරිය බඳින්න තීන්දු කරගත්තට පස්සේ ඒත් දෙන්නා මුණගැහෙනවා. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ වෙඩින් එකේ වැඩවලට යන එක, අර මාමාගේ දානේ ගෙදර යන එක, ඉරිදට මෙයාගේ ගෙදර කෑමක් කාලා එන්න යන එක තමයි. දැන් මේ දේවල් අනිවා තියෙන්න ඕන. හැබැයි දෙන්නට කියලා ලව් කරන්න දවසකුත් මේ අතරේ දාගන්න වෙනවා. මොකද ඕකේ අඩුව කොල්ලට වඩා දැනෙන්නේ කෙල්ලට. අන්න ඒ නිසා හොඳම දේ තමයි ඒ වැඩ අටෝරාසිය එහෙ මෙහෙ කරලා කෙල්ලත් එක්ක ඩේට් අවුට් එකකට යන්න, පොඩ්ඩක් තනිවෙන්න, කෑමකට යන්න දවසක් වෙන් කරගන්න එක.
7. ඉන්නවා කියලා දැනෙන්න ඉන්න ඕන
ගොඩක් වෙලාවට ආදරයක් පරණ වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි කොල්ලා කෙල්ලට දෙන අවධානය පොඩ්ඩක් ඈලියාවට යෑම. හැබැයි ලව් එකක් පටන් ගත්තු කාලෙද, කසාද බඳින්න ලෑස්ති වෙලා ඉන්න කාලෙද, කසාද බැඳලා හතරක් පහක් හදපු කාලෙද කියලා වෙනසක් නෑ, කෙල්ලෙක්ට කොල්ලෙක්ගේ අවධානය අනිවා වුවමනායි. අන්න ඒ නිසා කොල්ලෝ හිතට ගන්න ඕන හැම මොහොතකම තමන් කෙල්ල ගාව ඉන්නවා කියලා දැනෙන අරින්න. ඒ කියන්නේ මේ ලව් එක පටන් ගත්තු කාලේ වගේ පැයකට සැරයක් මැසේජ් කරන්න, කෝල් කරන්න කියන එක නෙවෙයි. වැඩියෙන්ම තමන්ගේ ජීවිතේට එයා ඇතුළත් කියලා දැනෙන්න ඉඩ තියන එක. මේකට පහසුම ක්‍රමයක් තමයි තමන්ගේ එදිනෙදා කරන වැඩ ගැන කියලා තියන එක. එතකොට කතා කරනවා කියලා වෙලාවක් කිව්වොත් අනිවා කතා කරන එක. එතකොට කෙල්ලට දැනෙනවා මෙයා මගේ ලඟ ගතින් නැතත්, හිතින් ඉන්නවා කියලා!
- aniwa.lk
කොල්ලගෙන් කෙල්ලෙක් බලාපොරොත්තු වෙන පුංචි පුංචි දේවල් මේවා තමයි
2017-12-15T21:42:00-08:00
Gossip Lanka Hot News
slide|