ඔබ උදෑසනම අවදිවීමෙන් පස්සේ කරන දේවල් මොනවද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත්? සමහරවිට ඒ ලැයිස්තුවේ තියෙන්නේ අම්මා විසි තිස් පාරක් කෑ ගැහුවට පස්සේ නැගිටලා, තේ එක කුණු කෙල පිටින්ම බීගෙන ගිහින් ආයෙමත් ඇඳට වැටිලා, අම්මා ආයෙමත් ඇවිත් කණ ලඟ බෙර ගැහුවට පස්සේ නැගිටලා, ‘හුටා, පරක්කු වෙලානේ’ කියලා දඩිබිඩියේ නාන කාමරයට රිංගන එක වෙන්න පුලුවන්. හරි ගැටළුවක් නැහැ. හැබැයි ඊට වඩා ඔබට උදෑසනම කරන්න පුලුවන් දේවල් නැතිද?
ඒ කියන්නේ ජීවිතේ ඒකාකාරී බව නැති කරන්න සමත් වෙන ආකාරයේ, ශරීර සුවතාවයට වැදගත් වෙන ආකාරයේ, ජීවන රටාවට වැඩක් වෙන ආකාරයේ දේවල්? මේ කියන්න යන්නේ ඔබව අනිවා වෙනස් පුද්ගලයෙක් කරන්න සමත් කියලා කියන්න පුලුවන් උදෑසන පුරුදු කීපයක්. හැබැයි ඉතින් ඊට කලින් උදැහැනැක්කෙන් අවදි වෙන්න වෙනවා. හරි නං පැරැන්නෝ කියලා තියෙන්නේ හිරු උදාවට කලින් අවදි වෙන්න කියලා තමයි.
1. හිස් බඩ වතුර වීදුරුවක්!
මේක ලංකාවේ විතරක් නෙවෙයි, වෙනත් බොහෝමයක් රටවලත් උදෑසන අවදිවුනු ගමන් කරන්න කියන දෙයක්. ඇතිකරගත යුතු බොහෝම හොඳ පුරුද්දක්. අපි පුරුදු වෙලා තියෙන්නේ හිස් බඩ උණු කිරි තේ කෝප්පයක් බොන්න වුනත්, හිස් බඩ ඇල් මැරුණු/මඳ උණුසුම් වතුර වීදුරුවක් බොන්න පුලුවන් නම් ඒක ශරීරයේ පරිවෘත්තිය පද්ධතියට විතරක් නෙවෙයි, මුළු ශරීරයටම හොඳයි කියලයි කියන්නේ. සමහර වෙලාවට මේ වතුර වීදුරුවට දෙහි ඉස්ම ටිකක්, මී පැණි චුට්ටක් වුනත් එකතු කරගන්න පුලුවන් නම් ගුණයි.
2. දත් විතරක් නෙවෙයි, දිවත් මදින්න
මේ කියන්නේ නිදිමතේ ගිහින් බුරුසුව දෙපාරක් එහාටයි මෙහාටයි යවලා කට හෝදගෙන එන්න කියන එක නෙවෙයි. වෙලාව අරන් හෙමිහිට දත් මදින්න. විශේෂයෙන්ම හොඳින් දිව මදින්න. මේකෙන් උදෑසන ඔබේ කටේ තියෙන අප්‍රිය රසය නැති කිරීම විතරක් නෙවෙයි, ඔබව නින්දෙන් අවදියට ගෙන එන ක්‍රියාවලියත් සම්පූර්ණ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ උදෑසන ආහාරය ගන්නකොට එහි සැබෑ රසය විඳින්නත් මේ පුරුද්ද උපකාරී වෙයි.
3. දිගෑදෙන්න!
මේ කියන්නේ ආයෙමත් ගිහින් ඇඳේ දිගෑදෙන්න කියන එක නෙවෙයි. උදෑසන පොඩ්ඩක් Stretching ව්‍යායාම ටිකක් කරන්න කියන එක. මේකට විනාඩි පහක් වැය කළත් ඇති. මේකෙන් ඔබේ ශරීරයේ මස්පිඬු වලට දවසේ වැඩකටයුතු සඳහා සූදානම් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය නම් යෝගා ව්‍යායාම වුනත් කරන්න පුලුවන්. හැබැයි නියමිත ගුරුවරයෙක්ගෙන් කලින් පුහුණුව හා ගුරුහරුකම් ලැබීම අනිවාර්යයි. එහෙමත් නැතිනම් චී ගොං කියලා හඳුන්වන චීනයෙන් ආපු සරල හුස්මගැනීමේ ව්‍යායාමයන් වුනත් කරන්න පුලුවන්.
තවත් කරන්න පුලුවන් පෞරාණික භාරතීය ව්‍යායාම ක්‍රමයක් තමයි සූර්ය නමස්කාරය. මේක ව්‍යායාම මාලාවක් වගේම භාවනාවකුත් වෙනවා. ඔබේ දවසට හිතාගන්නට නොහැකි ප්‍රබෝධයක් එක් කරන්නත් සූර්ය නමස්කාරයට පුළුවනි.
4. ස්වභාව සෞන්දර්යය අත්විඳින්න
සමහරු ස්වභාව සෞන්දර්යය අත්විඳිනවා ඔය කොණකට ගිහින් හාවෙක් එහෙම අල්ලලා. මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඔබට පොඩි හරි වත්තක් තියෙනවා නම් ඉර නැගෙන යාමේ පොඩ්ඩක් නිරුවත් දෙපයින් ඇවිදින්න යන්න. තෙත පිණිකැට වලින් වැහුණු තණකොල පාගන්න. පිපිලා තියෙන මල් දිහා බලන්න, උදෑසන ඇහෙන කුරුල්ලන්ගේ කලකලය අහන්න. මේක ඇත්තටම භාවනාවක්ම තමයි. උදෑසනින් අවදිවුනායින් පසුව මිනිත්තු කිහිපයක් භාවනා කරන්න හැකි නම් හොඳයි කියලා පෙරදිග රටවල අතීතයේ ඉඳන් මතයක් තියෙනවා. මෙන්න ඔබට උදෑසන කරන්න පුලුවන් හොඳම භාවනාව.
උදෑසන ව්‍යායාම සඳහාත් මේ වෙලාව කදිමයි. විශේෂයෙන්ම දිවීම හෝ ඇවිදීම සඳහා මේ වෙලාව යොදාගන්න පුලුවන්. ඉන් පස්සේ ඇවිත් ස්නානය කරන්න පුලුවන් නම් ඔබේ දවස කොතරම් නැවුම් වෙයිද කියන එක ඔබ අත්විඳලම බලන්න ඕන.
5. පැලෙන්න නැතුව දැනෙන්න කන්න
උදෑසන ආහාර වේල කොයි තරම් වැදගත්ද කියලා ඕන පෝෂණවේදියෙක්ගෙන් ඇහුවොත් කියයි. උදෑසන සමබර ආහාර වේලක් ගන්න. ඒ කියන්නේ බඩ උල්වෙලා නැගිට ගන්න බැරි වෙන්න නෙවෙයි. ඇඟට දැනෙන කෑමක් ගන්න. උදෑසන ආහාරය එක්ක පළතුරු යුෂ වීදුරුවකුත් එක් කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ සීනි හැඳි හත අටක් දාලා හදපු කෘත්‍රිම පළතුරු යුෂ නෙවෙයි. නැවුම් පළතුරු යුෂ වීදුරුවක්.
තවත් කාරණයක්. උදෑසන ආහාර වේල ගන්න අතරේ වෙනත් වැඩ නොකර ඒකටම හිත යොදවන්න පුලුවනි නම් වඩාත් හොඳයි. ඒක ඔබට වඩාත් හොඳින් ආහාර වේල රස විඳින්න උදවු වෙයි.
6. ඔබේ දවස ගැන සවිඥාණික වෙන්න
අපේ දවස කොහොම වෙයිද කියන එක උදෙන්ම කියන්න අමාරුයි තමයි. හැබැයි ඔබට පුලුවන් උදෑසනින්ම දවස මෙහෙම වෙන්න ඕන කියලා හිතන්න. ඒ කියන්නේ දවස සතුටින් ගෙවෙනවා කියලා හිතන්න. කොයි තරම් වැඩ තිබුණත් ඒ සිතුවිල්ල දවස පුරාම වැඩ කරයි.
ඒ වගේම ගෙදර ඉන්න සාමාජිකයෝ එක්ක කතා බහ කරන්නත් පොඩි කාලයක් වෙන් කරන්න පුලුවන් නම් ඒක වටිනවා. එතකොට ෆේස්බුක් එකේ දාන්න පුලුවන් “අද මම ගෙදර කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා බහ කලා. ඒ අය හරිම හොඳ කට්ටියක්” කියලා!
ඒ එක්කම ඔබේ දවසේ කරන්න අවශ්‍යම වැඩ කිහිපය සැලසුම් කරගන්නත් උදෑසන මේ වෙලාව සුදුසුයි. ඔබ කරන්න අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරන්න ඕන නැහැ. ඒත් කළ යුතුම වැඩ තුන හතර සැලසුම් කරගන්න.
කෙටියෙන් කියනවා නම් දවස ඔහේ යන හැටියට ගලාගෙන යන්න ඉඩ නොදී, සවිඥාණිකව දවස ගත කරන්න හිතට ගන්න.
- aniwa.lk
ඔබේ ජීවිතය අනිවා වෙනස් කරනු ඇති උදෑසන පුරුදු 6 ක්
2017-12-16T03:31:00-08:00
Gossip Lanka Hot News
slide|