දරුවෙක් ඉගෙනීමට කම්මැලිකමක් දක්වනවා කියන්නෙ ඒක දෙමවුපියන්ටත් සෑහෙන මානසික වධයක්. දරුවා කොතරම් බුද්ධිමත් වුණත්, දෙමවුපියන් කොතරම් දරුවාව උනන්දු කලත් ඉගෙනීමට දරුවාගේ උනන්දුව වර්ධනය නොවෙන වෙලාවල් තියනවා. ඒ වගේ වෙලාවට දෙමවුපියො විතරක් නෙමෙයි, දරුවා පවා සෑහෙන අසරණ වෙනව. දෙමවුපියො හැටියට සමහර වෙලාවට දරුවාගේ ඉගෙනීමේ
ආශාව වැඩිවෙන්න කියල කරන වැඩ වලින් දරුවාට අනවශ්‍ය බරක් සහ පීඩනයක් පැටවිලා ඉගෙනීම තවත් එපා වෙන්නටත් ඉඩ තියනවා.
ඉතින් මේකට අපි මොකද කරන්නේ? දරුවෙක් ඉගෙන ගන්න කම්මැලිකමක් දක්වනවා නම් ඒ ගතිය නැති කරන්න අපි ගන්න ඕනෙ පියවර මොනවද? ඒ ගැනයි අපි මේ කියන්න හදන්නේ.
1. දරුවා එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගැනීම අනිවා!
මේක තමයි දරුවාගෙ ඉගෙනීමේ ආශාව සහ උනන්දුව වැඩිකිරීමට ගන්න ඕනෙ මූලික පියවර. අපි මේ ලිපියේ පසුවට කියන්න යන උපදෙස් බොහොමයක් ක්‍රියාත්මක කරවන්නටත් මේ කියන හොඳ සම්බන්ධතාවයක් හදාගන්න එක වැදගත් වෙනවා. මතක තියාගන්න ඕනෙ ප්‍රධානම දේ තමයි ඉගෙනීමේ කටයුතු වලදී දරුවාට අණ දෙමින්, සැර පරුෂ වෙමින් කටයුතු නොකල යුතුයි කියන එක. එහෙම අවස්ථාවකදි දරුවා ඔයාට තියන බය නිසා පාඩම් වැඩ කරන්න ගන්න පුලුවන්. ඒ වුණත් දරුවාට ඉගෙනුම් වැඩ වලදී ඇතිවෙන දුෂ්කරතා, ගැටලු වගේ දේවල් ඔයත් එක්ක විවෘතව කතා කරන්න දරුවා පසුබට වෙන්න ඉඩ තියනවා. අපි කරන්නට ඕනෙ දරුවාව පොත් පාඩම් කරන්න පොළඹවන එකම නෙමෙයි, පොත පත ඇසුරින් ලබාගන්නට ඕනෑ දැනුම ලබාගැනීමේ ආශාව දරුවා තුළ ඇති කරන එක බව මතක තියාගන්න.
2. ඉගෙන ගන්න එකෙන් අනාගතේට ලැබෙන වාසි පෙන්වන්න
“හැමදාම ඉස්කෝලෙ යනවා, ගෙදර ඇවිත් ගෙදර වැඩ, පාඩම් වැඩ කරනවා, ආයෙ පහුවදත් ඉස්කෝලෙ යනවා. මොකක්ද මේකෙන් වෙන්නෙ?”
ඔයාගෙ දරුවාට සමහර විට මෙහෙම හිතෙන්නට පුලුවන්. පොතක් පාඩම් කරනවාට වඩා කාටූන් එකක් බලන එක, කම්පියුටර් ගේම් එකක් ගහන එක වගේ දේකට දරුවාගේ ආශාව ස්වභාවයෙන්ම යොමු වෙන්න පුලුවන්. මෙන්න මේ නිසා අපි කරන්න ඕනේ ඉගෙනගැනීමේ අරමුණු ගැන දරුවාට හොඳින් තේරුම් කරල දෙන එකයි. ඉස්කෝලෙ ගිහින්, පාඩම් කරන එකෙන් අනාගතේදි සිද්ධ වෙන “හොඳ දේ” මොකක්ද කියන එක දරුවාට පෙන්වල දෙන්න. මේ වැඩේ කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි දරුවා ලොකු වෙලා කරන්න කැමති මොනවද කියල දරුවගෙන් අහල අවංක උත්තරයක් දැනගන්න එක. අපි හිතමු දරුව කිවුව කියල එයා කැමති පයිලට් කෙනෙක් වෙන්නටය කියල. එතකොට ඔයාට පුලුවන් ඒ මට්ටමට යනකන් ඉගෙනගෙන, විභාග ජය අරගෙන, ඒ වෘත්තියට අදාල දැනුම ලබාගෙන යන්න ඕනෙ ගමන් මාර්ගය ඉතාම සරළව, පැහැදිලිව සහ හිත්ගන්නාසුලු විදිහට දරුවට තේරුම් කරල දෙන්න. ඉස්කෝලෙ යන එක, පාඩම් වැඩ කරන එක පයිලට් කෙනෙක් වීම දක්වා යන ගමනෙ පුංචි පුංචි පියවර බව වැටහුනාම දරුවාගේ ආශාව වැඩේවි.
3. සාර්ථකත්වයේ කථා
දරුවො කියන්නේ අපිට වඩා නිර්මාණශීලීව දේවල් දිහා බලන පිරිසක්. “මට ඕනෙ සංග අංකල් වගේ ක්‍රිකට් ගහන්න” කියල එක දරුවෙක් කියද්දි තවත් දරුවෙක්ට ඕනෙ වෙන්න පුලුවන් “හන්දියෙ ගැරිජ් අංකල් වගේ වාහන හදන්න.” මේ මොන ක්ෂේත්‍රය හරහා වුණත් ඉහල යන්න නම් අපි පටන් ගන්න ඕනෙ හොඳ අධ්‍යාපනික අඩිතාලමක් දාලය කියන එක දරුවට ඒත්තු ගන්නන්න ඕනෙ. සංගාගේ ක්‍රීඩා ජීවිතයට ආභරණයක් වුණ අධ්‍යාපනික පසුබිම ගැනත් දරුවට කියල දෙන්න. කැඩුණ වාහන හදන එකෙන් විතරක් නවතින්න නෙමෙයි, අලුතින්ම වාහනයක් නිර්මාණය කරන්න වුණත් පුලුවන් හොඳ අධ්‍යාපනයක් ලැබුවහම කියන එක පැහැදිලිව තේරුම් කරන්න. දරුවා කැමති ක්ෂේත්‍ර වල ඉහල සාර්ථකත්වයක් ගත්ත පුද්ගලයන්ගේ සාර්ථකත්වයේ ගමන ගැන දරුවාට නිතර කතා කියල දෙන්න.
4. දරුවාට ඇති බාධාවන් තේරුම් ගන්න උත්සාහ කරන්න
හුඟක් වෙලාවට දරුවා ඉගෙනගන්න උනන්දු නොවෙන්න හේතු වෙන්න පුලුවන් කාරණයක් තමයි මොකක් හරි විෂයක් හෝ විෂයයන් කීපයක් යටතේ එන පාඩම් තේරුම් ගන්න දරුවාට තියන අපහසුව. කොච්චර ඉගැන්නුවත් තේරෙන්නේ නැති නිසාත්, ඔලුවට වධයක් නිසාත් පාඩම් වැඩ කරන්න දරුවාගේ තියන උනන්දුව අඩු වෙන්න පුලුවන්. මේ වගේ දේවල් දරුවා එක්ක කතා කරල දැනගන්න. දරුවාගේ වැඩ පොත් පරික්ෂා කරල ඒ ඒ විෂයයන් වලදී ඔහු පෙන්වන සාර්ථක/අසාර්ථකත්වය ගැන අවබෝධයක් ගන්න බලන්න. ගුරුවරුන්ගෙනුත් මේ ගැන විමසීමක් කරන්න. ඊට පස්සේ දරුවා යම් විෂයයකට හෝ විෂයයන් කිහිපයකට දුර්වලයි කියල ඔයාට තේරුණොත් ඒ විෂයට දරුවාගේ තියන දක්ෂතාවය වර්ධනය කරන්න පියවර ගන්න. නොතේරෙන ගැටලු නිරාකරණය කරගන්න හැටි දරුවට කියල දෙන්න. ඒකට ඔයාගෙ දැනුම මදිනම් පෞද්ගලික ගුරුවරයෙකුගේ උදවු ලබාගත්තත් කමක් නෑ. ක්‍රම ක්‍රමයෙන් මෙතෙක් කල් තමන්ට නොතේරුණු පාඩම් වැඩ දරුවාට තේරුම් යන්න පටන් ගැනීමත් එක්ක ඒ විෂයයන් දරුවා වඩාත් කැමැත්තෙන් හදාරන්න ගනීවි.
5. කියවීම හුරු කරන්න
ගොඩක් දෙමවුපියන් වැඩිපුර අවධානය යොමු නොකරන කාරණයක් මේක. ඒ උනත් කියවීමේ ආශාව වර්ධනය කිරීමත් එක්ක දරුවෙක්ගෙ අධ්‍යාපන වැඩ කටයුතු වලට ලොකු වාසියක් ගන්න පුලුවන්. දරුවාව පුස්තකාලයකට ඇතුළත් කරන්න. එහෙමත් නැතිනම් මාසෙකට සැරයක් දෙකක් පොත් කඩේකට එක්කගෙන යන්න. එහෙම ගිහින් ඔයා කැමති දේවල් නෙමෙයි, දරුවා ආසා කරන පොතක් පතක් තෝරගන්න එයාට ඉඩ හරින්න. මේ තේරීම හරහා දරුවාගේ රුචි අරුචිකම් ගැන දැනගන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. ක්‍රම ක්‍රමයෙන් තමන් ආස දේවල් හරහා දරුවා කියැවීමේ රුචිය වර්ධනය කරගත්තහම ඔයාට පුලුවන් දරුවා ඉගෙන ගන්නා දේවල් වලට අධාර උපකාර වෙන, අමතර දැනුම සපයන පොත පතත් දරුවාට අරගෙන දෙන්න.
6. ඉලක්ක හරහා දරුවාව උනන්දු කරන්න
දැන් ඔය පාසැල් දරුවො වැඩි දෙනෙක් කම්පියුටර් ගේම්ස් වලට කැමතියිනෙ. ලෙවල් එකෙන් ලෙවල් එක පහු කරගෙන ගිහින් අන්තිමේදි ගේම් එකම අවසාන කරන්න ඒ අයට තියෙන්නෙ හරිම උනන්දුවක්. අපිට පුලුවන් මේ වැඩේම දරුවාගේ ඉගෙන ගැනීමේ කටයුතු වලටත් වෙනස් විදිහට පාචිච්චි කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. දරුවා සම්පූර්ණ කරන්නට ඕනෑ පාඩම් වැඩ කටයුතු පොඩි පොඩි කොටස් වලට බෙදලා රූප සටහනක් අඳින්න. ඒවා පාඩම් කරලා ඉවර කරන්න ඕනෙ දිනයක්, කාල සීමාවක් සටහන් කරන්න පුලුවන්නම් ඒකත් සටහන් කරන්න. දැන් ඔයාට තියෙන්නේ දරුවා මේ පාඩම් කොටස් සම්පූර්ණ කරන පිළිවෙල අනුව අර කොටස් පාට කරන්නයි. දිනෙන් දින, ටිකෙන් ටික රූප සටහනේ කොටස් පාට වෙමින් පිරෙමින් සම්පූර්ණ වෙනවා දකින එක දරුවාගේ පාඩම් වලට ඇති පෙළඹීම වැඩි කරන්න පුලුවන්. ඒ වගේම ඉක්මනින්ම ඒ දේවල් සම්පූර්ණ කරන්නට ආශාව වැඩෙන්නටත් පුලුවන්. හැබැයි ඉතින් පාඩම සම්පූර්ණයි කියලා දරුවා කියපු පළියට පිළිගන්න යන්න එපා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න සහ විස්තර අහලා තහවුරු කරගන්න මතක තියාගන්න.
7. දරුවාගේ සාර්ථකත්වය සමරන්න, ඒත් පගාව දෙන්නට හුරු වෙන්න එපා
දරුවා අමාරු විෂයකදි දස්කම් දක්වපු අවස්ථාවකදි, විභාගයකට හොඳට ලකුණු ගත්ත අවස්ථාවකදි ඒක සමරන්න දරුවා සතුටු වෙන දෙයක් කරන්න ඔයාට පුලුවන්. දරුවා කැමති තැනකට එක්කගෙන යන එක, දරුවා කැමති කෑමක් අරගෙන දෙන එක වගේ දේකින් දරුවාට ඒත්තු ගන්නන්න පුලුවන් දරුවාගේ සාර්ථකත්වයෙන් ඔයත් සතුටට පත්වෙලාය ඉන්නෙ කියන එක. දරුවෝ කොහොමත් කැමතියි දෙමවුපියන්ව සතුටු කරන්න. ඒ නිසා දරුවා තවත් උනන්දු වෙලා වැඩ කරාවි. හැබැයි දැන් ඔය තව සමහරක් දෙමවුපියො පුරුදු වෙලා ඉන්නවා විභාග පාස් උනොත් අරක අරන් දෙනවා මේක අරන් දෙනවා කියලා දරුවාව උනන්දු කරවන්න. ඒ වැඩේ නම් අපි එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද ඒ විදිහෙ වාසි බලාපොරොත්තුවෙන් වැඩ කරන්න දරුවා පෙළඹෙන එක මුලදි වාසියක් වෙන්න පුලුවන් උනාට පසුවට කරදර වෙන්න ඉඩ වැඩියි. ඉල්ලීමක් නොලැබෙන අවස්ථාවක දරුවා ඉගෙනීමේ උනන්දුව අඩු කරගන්න පුලුවන්. එහෙමත් නැත්නම් විභාග පාස් කිරිල්ල වෙනුවෙන් මට අරක ඕනේ මේක ඕනෙ කියලා දරුවාගේ ඉල්ලීම් වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ පගාවට උනන්දු කිරීමේ වැඩ පරිස්සමින්!
8. වඩාත් සාර්ථක පාඩම් ක්‍රමය හඳුනාගන්න, ඒ සඳහා උදවුවන්න
විවිධ වූ අයට පාඩම් මතක හිටින සුවිශේෂී ක්‍රම තියනවා. කෙනෙක් කැමතියි නිශ්ශබ්ද තැනකට වෙලා තනිවම පාඩම් කරන්න. තවත් කෙනෙක්ට පිරිසක් එක්ක කරුණු සාකච්ඡා කරමින් පාඩම් කරද්දි වැඩිපුර මතක හිටිනවා. සමහරුන්ට දේවල් හොඳට මතක හිටින්නෙ රූප සටහන් ආශ්‍රයෙන් පාඩම් කරද්දි. තවත් කෙනෙක්ට හයියෙන් තමන්ටම ඇහෙන්න කියවගන්න ඕනෙ. මේ විදිහෙ විවිධ වූ ඉගෙනීමේ ශෛලීන් කොටස් 7කට බෙදල තියනවා. ඒ ගැන මේ ලිපියෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්.
ඔයාට පුලුවන් ඔයාගේ දරුවා වඩාත් නැඹුරුවක් සහ සාර්ථකත්වයක් දක්වන්නේ මේ ක්‍රම අතරින් මොන ක්‍රමයටද කියන එකත් හොයල බලන්න. ඒ අනුව ඒ සඳහා දරුවාට තව තවත් පහසුකම් සලසන්නත් පුලුවන්. හැකි සෑම විටම තමන් කරන පාඩම් කටයුතු මොනවාද කියන එක ගැන දරුවාට තීරණය කරන්න ඉඩ දෙන්න බලන්න. දරුවා වැරදි අවස්ථාවක විතරක් නිවැරදි කිරන්න. දරුවාට මග පෙන්වනවා මිස අතින් ඇණ ඇණ, බල කරමින් දරුවා ලවුවා පාඩම් කරවගන්න යන්න එපා.
9. සහයෝගය දෙන්න, නිවසේ බාධාවන් ඉවත් කරන්න
නිවසේදී පාඩම් වැඩ කටයුතු කිරීමේදී දරුවාට බාධා ඇතිවීම් හැකිතාක් අවම කරන්න වග බලාගන්න. පාඩම් වෙලාවට දරුවාගේ අවධානය කැඩෙන විදිහට රේඩියෝ, ටීවී සහ පරිගණක භාවිතයෙන් වැළකෙන්න. නිදහස් තැනක් පාඩම් වැඩ වෙනුවෙන් දරුවාට වෙන් කරල දෙන්න. පවුලේ අනිත් අයගෙන් දරුවාට ඇතිවෙන බාධාවනුත් වළක්වන්න ක්‍රියා කරන්න. දරුවා තනිවම පාඩම් කරන්න දැඩි කැමැත්තක් දක්වන අවස්ථාවදී හැර හැකි හැම විටම දරුවාගේ පාඩම් වැඩ කටයුතු වලට සහයෝගය දක්වන්න බලන්න. දරුවා පාඩම් කරන මේසයේ ඉඳගෙන ඔයාටත් පුලුවන් පාඩම් වැඩ කටයුතු වලදී ඔහුගේ ගැටලු වලට සහයක් දෙන්න. ඒත් එක්කම දරුවාගේ දක්ෂතා සහ දුර්වලතා හොඳින් තේරුම් ගන්න. හොඳින් මතකේ හිටින විදිහට පාඩම් වැඩ කරන්නේ කොහොමද කියන අපේ ලිපියෙනුත් පාඩම් වැඩ කටයුතු සාර්ථක කරගැනීම ගැන හොඳ අදහසක් ගන්න ඔයාට පුලුවන් වේවි.
10. සාර්ථකත්වය පසසන්න, දුර්වලතාවන්ට දොස් නගන්න එපා
දරුවා හොඳ සාර්ථකත්වයක් ලබපු වෙලාවට ඒක පසසන්න අමතක කරන්න එපා. දරුවෙක්ගෙ ජීවිතේ ලොකුම ආඩම්බරයක් තමයි දෙමවුපින්ගේ මුවින් තමන් ගැන හොඳක් අහන්න ලැබෙන එක. දරුවා දක්ෂ වුණු අවස්ථාවක දරුවාගේ ආත්ම විශ්වාසය වැඩෙන විදිහේ වචනයක් දෙකක් කියන්න. ඒක දරුවාව තවත් උනන්දු කරවයි. ඒ වගේම මතක තියාගන්න ඕනෙ කාරණේ තමයි දරුවා අඩු ලකුණු අරගෙන දුර්වලතා දක්වන අවස්ථාවල දරුවාට සැර නොවෙන එක. ඒ වෙනුවට ඒ දුර්වලතා හැඳිනගෙන පිළියම් යොදන්න බලන්න. එහෙම නැතිව දරුවාට බැණ වැදුනොත් එය ඔහුට අමතර පීඩනයක් වෙන්න ඉඩ තියනවා. ඉගෙනීමට උනන්දුව අඩු දරුවෙක් ඉතාම කෙටි කාලයකින් උනන්දුව වැඩි කරගෙන පන්තියේ ඉහල ලකුණු ගනීවිය කියලා ලොකු බලාපොරොත්තු තියාගන්න යන්න එපා. ඉවසීමෙන් දරුවාව ඒ ගමන එක්කගෙන යන්න. වාර විභාගයක දෙකක ලකුණු අඩු වුණාට සැලෙන්න එපා. දරුවා අදාල විෂයයේ ප්‍රගතියක් දක්වනවාද යන්න ගැන ප්‍රධාන අවධානය යොමු කරන්න.
11. යාලු සමාගමය ගැනත් සොයා බලන්න
මේකත් අපිට නොසලකා හරින්න පුලුවන් කාරණයක් නෙමෙයි. ඔයාගෙ දරුවා කොතරම් දක්ෂ දරුවෙක් උනත් ඉස්කෝලෙදි, පන්තියෙදි එයා හදාගෙන ඉන්න මිතුරු කවය ඉගෙනීමට උනන්දුවක් නැති පිරිසකින් හැදුණ එකක් නම් ඔයාගෙ දරුවාගෙත් උනන්දුව අඩු වෙන්න ඉඩ තියනවා. මේ නිසා දරුවා ළගින් ආශ්‍රය කරන අනික් දරුවන්ගේ ඉගෙනීමේ කුසලතා සහ උනන්දුව ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න මතක තියාගන්න. මිතුරු ආශ්‍රය නිසා දරුවාගේ ඉගෙනීමේ උනන්දුව අඩු වෙලා කියල හිතෙනවනම් ඒ ගැන දරුවාට කතා කරලා තේරුම් කරලා දෙන්න. දරුවාගේ මිතුරන්ගේ දෙමවුපියන් එක්කත් ගැටලු ඇති නොවන ආකාරයට මේ කාරණා ගැන සාකච්ඡා කරන්න බලන්න.
12. සමබර ජීවිතයකට හුරු කරවන්න
අපි මේ කරුණ කියන්නේ අන්තිමට වුණත් මේක වැදගත්කම අතින් මුලට එන්න ඕනෙ කාරණයක්. ඒ තමයි පාඩම් වැඩ වගේම බාහිර ක්‍රියාකාරකම්, විනෝද මාර්ග සඳහාත් දරුවාට ඉඩ තියන්න ඕනෙය කියන එක. පාඩම් වැඩ වලටත් යම්කිසි කාල සීමාවක් පමණක් වෙන් කරන්න. එතනින් එහාට දරුවාට ක්‍රීඩා කරන්න, රූපවාහිනිය නරඹන්න හෝ වෙනත් විනෝදාංශයක නිරත වෙන්න කාලය ලබාදෙන්න. ක්‍රීඩා, කලාව වගේ අංශ වල බාහිර ක්‍රියාකාරකම් වලට දරුවා උනන්දුවක් දක්වනවානම් ඉගෙනීමට බාධා වෙයි කියලා ඒවාට වැට කඩොලු බඳින්න එපා. ඒවාටත් දරුවාව යොමු කරවන්න. පාඩම් වැඩ වලදී දරුවා ගැන අවධානය යොමු කරන ගමන්ම දරුවාට නිදහසේ ඉගෙනුම් කටයුතු කිරීමේ නිදහස දෙන්න.
-aniwa.lk
ඉගෙනගන්න කම්මැලි දරුවෙක්ව ඉගෙනීමට උනන්දු දරුවෙක් බවට පත් කරන්නේ මෙහෙමයි
2017-12-02T02:01:00-08:00
Gossip Lanka Hot News
slide|