කන්න දෙයක් හදන්නත් ඕනි. ලේසියෙන්ම හදාගන්න දෙයක් ඒ වගේ වෙලාවට මතක් වෙන්නෙත් නැහැ. ඔන්න හොදි ජාති දෙක තුනක් එක්ක බතක් උයන්න වෙලාවක් නැති ගෘහණියන්ටයි, ඉඳල හිටල උයන්න කම්මැලි හිතෙන ගෘහණියන්ටයි ලේසියෙන්ම හදාගන්න පුළුවන් බත් වර්ග කීපයක් අපි අරන් ආවා. මේ බත් වර්ග වලින් සමහරක් නිකම්ම කන්නත් පුළුවන් සමහරකට බිත්තරයක් බැදගෙන පරිප්පුවක් හදාගත්තත් ඇති. හැබැයි ඔන්න මේ දේවල් කම්මැලි වෙලාවක හරි උයන්න වෙලාවක් නැති වෙලාවක හරි මිසක් හැමදාම හදන්න ගිහින් කම්මැලිකම ගෙදර පැලපදියම් කරගන්න එපා කියල කලින්ම මතක් කරනව.
1. කම්මැලි කහ බත
කහ බත් කිව්වම ඉතින් පොඩි විශේෂයක් දැනෙනවනෙ. බතේ රස තියෙන නිසා හදිසියට බිත්තරයක් පරිප්පුවක් වගේ උනත් ඇති කහ බතක් එක්ක. හැබැයි ඉතින් බත් තෙම්පරාදු කර කර ඉන්න තරම් වෙලාවක් නෑ පරිප්පු ටිකකුත් හදාගන්න ගියාම. මෙන්න ඒකට පහසුම විසඳුමක්. කම්මැලි කහබත්, තෙම්පරාදු නැතුවම බත ලිපට කරල ඒක ඉදෙනකම් හොද්දක් හදාගන්න එක ලේසි වැඩක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කරදමුංගු
- කරාබු නැටි
- රම්පෙ
- කරපිංචා
- කුරුඳු පොතු
- බටර්
- කහ
- ලුණු
- තියෙනව නම් පොල් කිරි ටිකක් (ඕනෙම නෑ)
- හාල් ටික සෝද ගෙන බත ඉදෙන ගාණට වතුර තියන් ඔය උඩින් කියපු අඩුම කුඩුම සේරම ඒකට දාලා බත උයාගන්න. තෙම්පරාදු කහ බත තරම්ම රසට සුවඳට ඊට වඩා ඉක්මණට මේ බත හදාගන්න පුළුවන්.
2. බිත්තර තෙම්පරාදු බත්
හදිසියට හදාගන්න වගේම පොඩ්ඩොන්ට ඉස්කෝලෙ ගෙනියන්න උනත් හදල දෙන්න පුළුවන් රසවත් බත් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත්
- බිත්තර
- හීනියට කපාගත්ත අල
- කරපිංචා
- ලුණු
- තලාගත් සුදුළූණු
- කපාගත් ළූණු
- බටර්
- තෙල් චුට්ටක්
- බටර් ටික තෙල් එක්ක රත් වෙන්න තියල ඒකට අල ටික දාල බැදෙන්න අරින්න. ඒකට කරපිංචා, ළූණු, සුදුළූණු සහ ලුණු ටිකක් එකතු කරන් තෙම්පරාදු කරන්න. ළූණු ටික යන්තම් බැදීගෙන එද්දි බිත්තර දෙක කඩලා දාලා ස්ක්‍රැම්බල් කරගන්න.
- ඒකට උයාගත්තු බත් ටික දාල කලවම් කරන්න. මේ බත් එකට නම් වෙන මුකුත් ඕනම නෑ. සෝස් ටිකක් චිලි පේස්ට් ටිකක් එක්කත් කන්න පුළුවන් තව මොනා හරි ඕනෙමයි හිතෙන කෙනෙක්ට.
3. කිච්ඩි
මේක ඉන්දියන් කෑමක්. මේ හදන විදියට ඇරුණම කිච්ඩි හදන තව තව ක්‍රම ගොඩක් තියෙනව. මේ එක විදියක් විතරයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්
- පරිප්පු
- සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි
- කපාගත් ළූණු
- තලාගත් සුදු ළූණු
- සූදුරු ඇට
- අබ ඇට
- කුරුඳු පොතු
- බේ ලීෆ්
- කරදමුංගු
- රම්පෙ/කරපිංචා
- කරාබු නැටි
- ගී හෝ තෙල්
- හාල් කප් දෙකට පරිප්පු කප් එකක ප්‍රමාණෙ තමා ගන්න ඕන. හාලුයි පරිප්පුයි එකටම දාල හෝ වෙන වෙනම හොඳට සෝද ගන්න. සෝද ගත්තු හාලුයි පරිප්පුයි එකට මිශ්‍ර කරල කහ චුට්ටක් ලුණු ටිකක් දාල බත සාමාන්‍ය ගාණට වතුර දාල ලිපේ තියාගන්න.
- බත ඉදෙනකම් එළවළු ටික කපාගන්න පුළුවන්නෙ. බත ඉදුණම ටිකක් කූරු ගාල තියන්න. කැට නොහිටින්න.
- තෙල් හෝ ගී ටික රත් වෙන්න තියල ඒකට අබ, සූදුරු, කුරුඳු, කරාබු නැටි, රම්පෙ කරපිංචා එක්ක සුදු ළූණු එකතු කරන් තෙම්පරාදු කරගන්න. ඒකට කපාගත්ත ළූණු ටිකයි එළවළු ටිකයි එකතු කරන් තෙම්පරාදු කරගෙන ලුණු ටිකකුත් එකතු කරගන්න. බතටත් ලුණු දාපු නිසා ලුණු රස ගැන සැලකිලිමත් වෙන්න.
- මේ තෙම්පරාදුවට පිසගත්තු පරිප්පු බත් එක එකතු කරන් හොඳින් මිශ්‍ර කරගන්න. ගෙදර තියෙනව නම් අන්තිමට කොත්තමල්ලි කොළ චුට්ටකුත් දාගත්තම බත් එක හරිම සුවඳයි.
4. බිරියානි නොවන බිරියානි වගේ බත්
මේ බත් එකට නමක් නෑ. කැමති නමක් ඔයාලම දාගන්න. බිරියානි රසයි බිරියානි සුවඳයි දැනෙන මේ බිරියානි නොවෙන බත් එක හදාගන්න හරිම ලේසියි. සැරයි රසයි වගේම මසුත් තියෙන නිසා වෙන මුකුත්ම ඕන නෑ මේ බත් එකට නම්. ඕනෙම නම් පිපිඥ්ඥා පෙත්තක් එක්ක කන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් චිකන්
- කපාගත් අල
- සෝදා දිය බේරාගත් හාල්
- රම්පෙ/ කරපිංචා
- කපාගත් ළූණු
- තලාගත් ඉඟුරු සුදු ළූණු
- කුරුඳු පොතු
- කරදමුංගු
- කරාබු නැටි
- මිරිස් කුඩු
- කහ
- ගරම් මසාලා
- ලුණු
- ගම්මිරිස් ඇට
- බේ ලීෆ්
- තෙල්
- තෙල් ටික රත් වෙන්න තියල ඒකට චිකන් ටික දාල යන්තම් බැදගන්න. ඒකටම ගරම් මසාලයි හාල් ටිකයි හැර අනික් සේරම එකතු කරන් හොඳින් තෙම්පරාදු කරගන්න.
- හොඳින් මිශ්‍ර උනාම ගරම් මසාලා එකතු කර හාල් ටිකත් එකතු කර විනාඩි දෙකක් විතර තෙම්පරාදු කරල බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩියෙන් වතුර තියල සාමාන්‍ය විදියට බත ලිපේ හෝ රයිස් කුකර් එක උයාගන්න.
- හාල් රයිස් කුකර් කප් දෙකකට ගරම් මසාලා තේ හැඳි 1/2ක් වගේ දැම්මමහම ඇති. අනිත් දේවල් රස අනුව අඩු වැඩි කරගන්න.
5. ලේසියෙන්ම එළවළු බත්
පහසුයි වගේම රසවත් සුවඳවත් බතක් මේ. කෘතිම රසකාරක කිසිම දෙයක් දාන්නෙ නැති නිසා බය නැතුව පොඩි දරුවෙක්ට උනත් කන්න දෙන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි
- කුරුඳු පොතු
- කරදමුංගු
- රම්පෙ/කරපිංචා
- කරාබු නැටි
- බටර්
- ලුණු
- එළවළු සහ බටර් හැර අනික් සියල්ල බතට දාලා ලිපේ තියාගන්න. බත් එක ඉදෙනකම් එළවළු කපාගන්න පුළුවන්නෙ.
- බත ඉදුණ ගමන්ම මේ කපාගත්තු එළවළු සේරම එක්ක බටර් ටිකකුත් බත් එකට දාලා හොඳට කලවම් කරලා ටික වෙලාවක් වහල තියන්න. බතේ රස්නෙට එළවළු ටික ගාණට තැම්බෙනව. රසයි ගුණයි දෙකම තියෙන ලේසි බතක් මේ.