අවන් එකක් නැතුව කෑම වර්ග කීපයක් හදාගන්න හැටි. මේ විදියට හදන්න පුරුදු උනොත් ආයේ අවන් එකක් ඕනෙම නෑ කියල හිතෙයි.
1. පීසා
කොහොම හදන්නත් පීසා ඩෝ එක ඕනනෙ. අවන් එකට දැම්මත් අවන් නැතුව හැදුවත් ඩෝ එක වෙනස් වෙන්නෙ නෑ. මෙහෙමයි පීසා ඩෝ එක හදාගන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 2 1/2
- මද උණුසුම් වතුර කප් 1
- ලුණු තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- ඔලිව් තෙල් මේස හැඳි 2
- යීස්ට් තේ හැඳි 1 1/2
- මද උණුසුම් වතුරට යීස්ට් සහ සීනි එක් කර විනාඩි දහයක් පමණ පසෙකින් තබන්න. (පිටි අල්ල දැමිය හැකි තරම් ලා රස්නයෙන් යුතු වතුර ගැනීමට මතක තබාගන්න. පමණට වඩා රස්නය ඇති වතුරෙන් යීස්ට් වල ක්‍රියාකාරිත්වය නැති වී යා හැකියි.)
- විනාඩි දහයකට පසු පැසෙන්නට තබාගත් යීස්ට් ලුණු මිශ්‍ර කරගත් පිටි එකට දමා ඔලිව් ඔයිල් එක් කර හොඳින් අත් ගසා අනාගන්න. අනාගත් පිටි මෝලිය පැය එකහමාරක් පමණ පොලිතින් එකකින් කවර් කර තරමක් උණුසුම් ස්ථානයකින් තබාගන්න.
- පීසා ඩෝ එක හරි. මේකට කැමති ආකාරයකට ටොපින් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මේ තියෙන්නෙ පාන් පීසා වලට හදාගන්න අපි දාපු ටොපින්ග්ස් ටිකක්. එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ගත්තු මේ පීසා රෙසිපි එකක් උනත් ට්‍රයි කරන්න බැරි නෑ.
- අවන් නැතුව පීසා හදන්න අපිට ඕනෙ නන්ස්ටික් පෑන් එකක්. පිටි කප් දෙකහමාරකින් මේ හදන පීසා එක දෙන්නෙක්ට ඇති. පිපෙන්න තියාගත්තු ඩෝ එක පිටි ඉස ගත්තු ලෑල්ලක පෑන් එකේ සයිස් එකට රවුමට තුනී කරගෙන පෑන් එකට දාගන්න.
- ඩෝ එක පුරාම තැනින් තැන ටූත්පික් එකකින් සිදුරු කරගන්න. පෑන් එක ලිපේ තියල අඩුම ගින්දරේ විනාඩි 10ක් රත්වෙන සුලු පියනකින් (තෝසෙ තැටියක් උනත් කමක් නෑ.) වහල තියාගන්න.
- විනාඩි දහයකට පස්සෙ ලිපෙන් ඉවත් කරන් පීසා එකට පීසා සෝස් එක ගාගන්න. (ගෙදරදීම පීසා සෝස් එක හදන හැටි මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්) ඒකට උඩින් ඔයාල කැමති පීසා ටොපින් එකක් දාගෙන ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් දාගන්න.
- දැන් පෑන් එක ආයෙමත් ලිපෙන් තියල කලින් වගේම පියනකින් වහල විනාඩි 15-20ක් අඩුම ගින්දරේ තියාගන්න. පීසා එක ලෑස්තියි.
2. කේක්
අවන් නැතුව කේක් හදන එක කරන්න බැරි වැඩක් කියල නම් හිතන් හිටියෙ මෙන්න අවන් නැතුව කේක් එකක් හදාගන්න හැටි. ක්‍රම දෙකක්ම කියල දෙන්නම් මේකට. පෑන් එකේ වගේම ස්ටීම් කරල හදන්නත් පුළුවන්.
ස්ටීම්ඩ් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 100g
- සීනි 100g
- බටර් 100g
- බිත්තර 2
- කිරි මේස හැඳි 2
- වැනිලා තේ හැඳි 1/4
- බේකින් පව්ඩර් තේ හැන්දයි
- බටර්, සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න. නැත්නම් බ්ලෙන්ඩර් එකේ උනත් මික්ස් කරගන්න පුළුවන්.
- බටර් මිශ්‍රණය වෙනත් බඳුනක දමාගෙන එයට කිරි සහ වැනිලා එක් කර මිශ්‍ර කර බේකින් පව්ඩර් මිශ්‍ර කර හලාගත් පිටි ටිකෙන් ටික එක් කර කලවම් කරගන්න.
- බටර් තවරාගත් ස්ටීම් කල හැකි බඳුනකට කේක් මිශ්‍රණය පුරවා හුමාලය ඇතුලට නොයන සේ හොඳින් ෆොයිල් පේපර් එකකින් වසාගන්න.
- සාමාන්‍ය ලෙස ස්ටීමරයේ තබා විනාඩි 45ක් පැයක් පමණ ස්ටීම් කරගන්න. එහෙමත් නැත්නම් වතුර භාජනයක් තුලට කේක් දැමූ බඳුන දමා පියනකින් වසා ඩබල් බොයිල් ක්‍රමයට ස්ටීම් කරගන්නත් පුළුවන්.
පෑන් බේක්ඩ් කේක්
මේක නන්ස්ටික් භාජනේක හදන්න පුළුවන් සොෆ්ට්ම සොෆ්ට් කේක් එකක්. ඕනෙත් ජාති තුන හතරක් විතරයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කප් 1
- සීනි කප් 1
- බිත්තර 3
- වැනිල චුට්ටක්
- සීනි, බිත්තර සහ වැනිලා විනාඩි 8ක් විතර හොඳින් බීට් කරගන්න. මේ මිශ්‍රණය හොඳටම බීට් උනාම සුමුදු පිම්බුණු ස්වභාවයක් ගන්නව.
- දැන් මේකට පිටි ටික හෙමින් පෙනේරයකින් හලන ගමන් එක් කරන්න. පිටි එක් කරල බීට් කරන්න එපා. පත්තකින් හෝ විස්ක් එකකින් හිමීට පෙරලමින් මිශ්‍ර කරගන්න.
- පොඩි රවුම් ටිකක් උස නන්ස්ටික් බඳුනකට හොඳින් බටර් තවරා ගන්න. එය ලිප තබා රත් වෙන්නට හැර ලිප අඩුම ගින්දරට තබා සාදාගත් කේක් මිශ්‍රණය පුරවා ගන්න. පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිප තබාගන්න.
3. පෑන් බේක්ඩ් බනිස්
කේක් හැදුවත් බනිස් නම් අවන් එකක් නැතුව හදන එක නම් හීනයක් වගේ නේද? රෙසිපි එකේ එන බනිස් වල පැණි රස නම් කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. මේ පැණි රසටත් සැරටත් ඕනෙම දෙයක් එක්ක කන්න පුළුවන් විදියට හදාගන්න බනිස් රෙසිපියක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 2 1/2
- යීස්ට් තේ හැඳි 4
- සීනි මේස හැඳි 3
- ලුණු තේ හැඳි 3/4
- එළවළු තෙල් මේස හැඳි 2
- බටර් මේස හැඳි 4 (2 බැගින් වෙන වෙනම.)
- මද රස්නෙ වතුර කප් 1
- පිටි කප් එකකට යීස්ට්, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කරගන්න. වතුර, බටර් මේස හැඳි 2ක් සහ තෙල් වෙනම මිශ්‍ර කරගෙන එය පිටි එකට දමා හොඳින් කලවම් කරගන්න. ඉතිරි පිටි ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍රණය අනාගන්න.
- අතේ නොඇලෙන පදමට අනාගත් පසු පිටි ඉස ගත් ලෑල්ලක් මතට දමා තවත් විනාඩි 7ක් 8ක් හොඳින් අනාගෙන තෙත මිරිකාගත් රෙද්දකින් වසා විනාඩි 20ක් තියන්න.
- ඩෝ එක කුඩා බෝල 6කට කඩාගන්න. අතින් හැඩය රවුමට සකස් කර හොඳින් බටර් තවරාගත් බඳුනක දමා දමා විනාඩි 45ක් වසා තබන්න. ඉතිරි බටර් මේස හැඳි දෙක දිය කරගෙන බනිස් උඩ තවරා ගන්න. (පැණි රසට කැමති නම් බටර් සමඟ සීනි එක් කර තවරාගන්න.)
- බනිස් දමා ගත් බඳුනට වඩා අඟලක් දෙකක් පමණ විශාල භාජනයක් ගෙන (පියන සහිත.) ඒ තුල කොලය ඉවත් කරගත් හිස් සැමන් ටින් එකක් මැදින් කපා උස අඩු කර තබාගන්න. පියනින් වසා ඒ බඳුන වැඩි ගින්දරේ විනාඩි 5ක් පමණ රත් කරගන්න.
- රත් කරගත් පසු බනිස් සහිත බඳුන ඒ තුලින් තබා පියන වසා විනාඩි 30ක් සාමාන්‍ය ගින්දරේ තබාගන්න.
- aniwa.lk