කෙල්ලෝ කොටට අඳින එක ගැන හොඳවැයින් අහගන්න පුලුවන් වෙන්නේ ඔය පරණ තාලේ ආච්චි කෙනෙක්ගෙන්, සීයා කෙනෙක්ගෙන් තමයි. සමහර වෙලාවට ඉතින් අම්මලත් තමන්ගේ දුවලා, ලේලිලා කොටට අඳින එකට බර බරේ දැම්මට ඒ කාලේ ඒ ගොල්ලා ඇඳපු කොට බතික් පැසන් දැක්කහම ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා බ්‍රෝ. ඇයි ඒ කාලේ ඉපදුනේ නැත්තෙ කියලා හිතෙනවා.
හැබැයි දැන් ඔය කෙල්ලෝ කොටට අඳින එක ගැන ඔපීනියන්ස් පාස් කරන තව සෙට් එකක් තමයි ලංකාවේ ෆේස්බුක් පේජ් කරන පොඩි කොල්ලෝ. කෙල්ලොත් ඉන්නවද දන්නෙ නෑ. හැබැයි ඔය පොඩි කොල්ලො නං අනිවා කොට ඇඳුමට ගේම. ඒ ගොල්ල කියන්නෙම අර විළුඹ ගාවට දිගට ඇන්දහම තමයි කෙල්ලෙක්ගේ ලස්සන තියෙන්නේ කියලා. දැන් ඔය ගැන අපි ලියන්නෙ ඇයි? අපේ බ්‍රෝ කෙනෙක් කියලා එවලා තිබුණා කෙල්ලො කොටට ඇඳීම ගැන අපේ මතය ලියලා එවන්න කියලා. ආන්න ඒකයි.
1. කෙල්ලො ඇයි කොටට අඳින්නේ?
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලේසිම එක ක්‍රමයක් තියෙනවා. ඇයි කොල්ලො ෂෝටක් ගහගෙන ඉන්නේ? ලේසියට, සැහැල්ලුවට. ඉතින් එතකොට කෙල්ලෝ කොටට අඳින්නේත් ඒ හින්දා වෙන්න බැරිද? පුලුවන්. හැබැයි ඒ හින්දා විතරක් නෙවෙයි. ඇත්තටම කෙල්ලෙක් කොටට අඳින්න හේතු ගණනාවක් තියෙනවා, කෙල්ලොම කියන විදියට.
ලේසියටත් පහසුවටත් කොටට අඳිනවා කියන එක ඇත්තක්. ඊලඟට ෆැෂන් එකට. කොට කලිසම්, කොට සායවල් එක්ක කොයි තරම් ලස්සන කාන්තා විලාසිතා තියෙනවද? ෆැෂන් කරන්න කෙල්ලෝ ආස වෙන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. තුන්වෙනියට කොටට අඳින එකෙන් ලොකු පහසුවක් තියෙනවා කියලා ගෑල්ලමයි කියනවා. ඒ කියන්නේ හිතලා බලන්න ඔය ටෙනිස් ගහනකොට එහෙම ඇයි කොට සායක් අඳින්නේ කියලා. ඒකට විතරක් නෙවෙයි, වෙන ඕනම ස්පෝට් එකකදීම වගේ ගෑල්ලමයි කොටට අඳින්නේ පහසුවට සහ ෆිට්නස් එකට. බොහොම පහසුවෙන් චලනය වෙන්න පුලුවන්. නිදහස්.
2. කොටට අඳින කෙල්ලෝ නරකයි!
අපි කාන්තාවන්ව භාණ්ඩ විදියට සැලකීමට විරුද්ධ නිසා මෙහෙම හෙඩිමක් දැම්මට ඇත්තටම කොල්ලෝ කියන්නේ මීට වඩා බොහොම අශික්ෂිත වචන වලින් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබෑටම ඇයි එහෙම හිතන්නේ? අපිට හිතාගන්න පුලුවන් සරලම හේතුව තමයි තාම අපේ රටේත් අක්මුල් ඉතුරු වෙලා තියෙන, සුද්දා මෙහාට ගෙනාපු වික්ටෝරියානු සංස්කෘතිය. වික්ටෝරියන් යුගේ ගෑණු කෙනෙක්ගේ කකුල සායෙන් පේනවා කියන්නේ කෙලින්ම බුදුඅම්මෝ සීන් එකක් තමයි. ඉතින් කොටට අඳින කෙල්ලෝ බඩු කියලා කියන කොල්ලන්ගෙන් අපි අහන්න කැමතියි මේ කෙල්ලෙක්ගේ කකුලට තියෙන බයද කියලා. ඇත්තටම ඒක බයක් තමයි. ඒ තමයි පුරුෂාධිපත්‍යයට ටොපිය හම්බුවෙයි කියලා තියෙන බය. මොකද ගෑණියෙක්ව වහලා තියන්න පිරිමියෙක් උත්සාහ කරන්නේම ගැහැණිය නිදහස ලබාගන්නවාට තියෙන බය නිසා. ඕක දිගේ ඔයිට වඩා ඇනලිසිස් දෙන්න ඕන නෑනේ.
3. ඒ වුනාට කොල්ලෝ ආස නැද්ද කොට සාය ඇඳපු නංගියෙක් දකින්න?
ඇයි අර ත්‍රීවිල් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ සුදු මූණයි කොට සායයි හරි අවදානම් කියලා. ඒ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, කොට සායෙන් පේන කකුලත්, ඒකෙන් ඉස්මතු වෙන නාරි ලාලිත්‍යයත් ගැන තියෙන ආසාව ඉස්මතුවෙනවට තියෙන බයම තමයි. සරල බාසාවෙන් කිව්වොත් ඔය කොටට අඳින කෙල්ලොන්ට බණින කොල්ලෝ ආසයි කොටට ඇඳපු කෙල්ලෙක්ට. එහෙම කෙල්ලෙක් යනකොට හැඩට මතුවෙලා පේන ලාලිත්‍යයට. හැබැයි කසාදයක් කරගන්න යනකොට ආයෙමත් අර පුරුෂාධිපත්‍යය මතුවෙනවා. එතකොට ආයෙ හොයනවා දිගට දිගේ සාය ඇඳලා ඉන්න කෙල්ලන්ව. ඕකෙම අනික් එක තමයි කොටට අඳින කෙල්ලෙක් එක්ක යාලු වෙලා රවුම් ගහන කොල්ලෙක් තමන්ගේ ගෙදර ඉන්න නංගිට කොටට අඳින්න තහනම් කරන එක. ඕවා වෙන්නෙත් මේ සිරි ලංකාවේ තමයි බ්‍රෝ.
4. ඒ වුනාට සංස්කෘතියට අවුල්නෙ ඕයි!
ගෑණු ළමයි කොටට ඇන්දහම සංස්කෘතිය, සභ්‍යත්වය විනාස වෙනවා කියන අය්යා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් ඊලඟ පාර අහලා බලන්න හරියටම කොට ඇඳුමක් නිසා ඕක විනාස වෙන්නේ කොහොමද කියලා. ඒ අය එක්කෝ කියයි කොටට ඇඳලා යන ගෑණු ළමයි දැක්කහම පොඩි ළමයිනුත් නරක් වෙනවා කියලා. ඔව්, පොඩි ළමයින්ට ගැහැණු පිරිමි සරීර කියන්නේ මාරම මැජික් කියලා, ළමයි එන්නේ රෝස කැලෙන් කියලා උගන්නලා හා පැටවු වගේ හැදුවට පස්සේ නම් කොටට ඇඳලා යන ගෑල්ලමයෙක් දැකලා පොඩි කොල්ලෙක්ට හීන් දාඩිය දාන්න පුලුවන්. එතකොට තව සමහරු කියන්න පුලුවන් කොටට ඇඳපු ගෑණු ළමයි නිසා තමයි රටේ ලිංගික අපචාර වැඩිවෙන්නේ කියලා. ආන්න ඒ අයට කණට දෙකක් ගහලා පෙන්නන්න අවුරුදු විස්සක් තිහක් තිස්සේ ලංකාවේ වාර්තා වෙලා තියෙන ලිංගික අපචාර සිදුවීම්. ඒවල ගොදුරු බවට පත්වුණු ගැහැණු අඳින ඇඳුම එතන සාධකයක් වෙලාද කියලා. මේ හැමදෙයක්ම සාපේක්ෂයි. දරුවෝ ලොකුමහත් කරනකොට කියලා දෙන්න ඕන ගැහැණු පිරිමි කියන්නේ මැජික් නොවෙන වග. ඒ වගේම ඕනම ගැහැණියකට පිරිමියෙකුට ගෞරව කරන්න ඕන බව. ආන්න එතකොට ඔය සභ්‍යත්වයට හෙණ වදින සීන් වෙන්නේ නෑ. අනික තමයි සංස්කෘතිය කියන්නේම නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. කොටින්ම කිව්වොත් කොටට අඳින ෆැෂන් එක පවා සංස්කෘතියේ කොටසක්!
5. එතකොට අනිවා කියන්නේ අවුලක් නෑ කියලද?
අපොයි ඔව්. ගැහැණු කොටට අඳින එක ගැන අපිට කිසීම අවුලක් නෑ. හැබැයි ඉතින් ගැහැණු පිරිමි හැමෝටම මෙහෙම දෙයක් කියන්න තියෙනවා. කොටට අඳින එක එකක්. හැබැයි තැනට උචිත විදියට අඳින එක තව එකක්. උදාහරණයක් විදියට අපි අනුමත කරන්නෙ නෑ පන්සල් යනකොට විච්චූර්ණ ඇඳුම් ඇඳගෙන යන එක. ඇයි? ඒක සංස්කෘතියේ කොටසක්, පන්සලට සුදු සරල ඇඳුමක් අඳින එක පිටුපස්සේ සංකේතාත්මක තේරුම් තියෙනවා. ඒ ඇරෙන්න පන්සලට කොටට ඇඳගෙන ගියා කියලා, බිම ඉඳගන්නකොට සංවරව වාඩි වෙන්න පුලුවන් තරම් කොට ඇඳුමක් ඇන්දය කියලා ප්‍රශ්නයක් අපිට පේන්නෙ නෑ.
ඕකෙම තව පැත්තක් තියෙනවා. දැන් ඔය සමහර ෆුල් පොෂ් රෙස්ටුරන්ට් තියෙනවා පිරිමින්ට කොට කලිසම් ගහගෙන එන්න දෙන්නෙ නැති. ආන්න ඒ වගේ තැනක අපි ගේම ඉල්ලන්න යන්නෙ නෑනේ. මොකද ඒක අපේ රෙස්ටුරන්ට් එක නෙවෙයි. ඒකේ ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා නම් අපි එක්කෝ ඒකට ගරු කරන්න ඕන, එහෙම නැතිනම් කොට කලිසම ඇඳගෙන යන්න පුලුවන් තැනකට ගිහින් කන්න ඕන. ඕන්න ඔය තත්වේ කොට සායටත් ඇප්ලයි කරගත්තහම හරි.
එතනින් එහාට කෙල්ලෝ කොටට ඇන්දහම අපේ මොකෝ! කොට සාය කෙල්ලගෙ නං, සාය අඳින්නෙත් කෙල්ල නං කාටවත් ඇයි වේදනා!
- aniwa.lk
කෙල්ලෝ කොටට අඳින එක ගැන අපි හිතන්නේ මොනවද? ඒ ගැන දැනගන්න මේ කරුණු 5 කියවන්න
2017-10-18T02:36:00-07:00
Gossip Lanka Hot News
slide|