ක්‍රියේටිව් වැඩ වලට කැමති අයට ලංකාව ඇතුලේ තෝරාගන්න පුළුවන් හොඳම Creative Careers 6ක්

තමන්ගෙ අනාගත වෘත්තිය හැටියට තෝරාගන්නේ මොකක්ද කියන එක අපේ රටේ තරුණ තරුණියන් වැඩි දෙනෙක්ට තියන ගැටලුවක්. අනිවා කියවන අපේ උසස් පෙළ නංගිලා මල්ලිලා පවා නිතරම අපෙන් විමසන ප්‍රශ්නයක් මේක. ඉතින් මේ ලිපිය ලියැවෙන්නේ ඒ අයට උදවුවක් සහ මග පෙන්වීමක් හැටියටයි.

වර්තමානය වෙද්දි ලෝකයේ විතරක් නෙමෙයි අපේ රටෙත් වෘත්තීයමය අවස්ථා සෑහෙන ඉහල ගිහිල්ල
තියනවා. පෙර නොතිබුණු විවිධ ක්ෂේත්‍ර වල විවිධ වූ රැකියා අවස්ථා අපේ තරුණියන්ට විවෘත වෙලා තියනවා. අන්තර්ජාලයේ ව්‍යාප්ත වීමත් එක්ක නිර්මාණාත්මක වෘත්තීන් (Creative Careers) සඳහා වැඩි තැනකුත් ලැබිල තියනවා. සාම්ප්‍රදායික රැකියා වලින් පිට පැනලා, තමන්ගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා කරන රැකියා වලට තරුණ පරපුරේ වැඩි කැමැත්තකුත් පෙනෙන්න තියනවා. හැමදාම එකම දේ කරන්නෙ නැතිව අලුත් අලුත් දේ කරන්නට වගේම ඒ මගින් වැඩි තෘප්තියක් ලබන්නටත් මෙවැනි රැකියා වලින් අවස්ථාව සැලසෙනව. ඒවගේම මෙවැනි නිර්මාණාත්මක වෘත්තියක් සඳහා නිසි සුදුසුකම් සපුරල තියන කෙනෙකුට රැකියා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක්ද පවතිනව. ඉහල පෙළේ ආයතනයක සාර්ථකව රැකියාව කරන්න විතරක් නෙමෙයි, ඕනෙනම් “මගේ බොස් මමමයි” කියලා තමන් තනියෙන් වුණත් නැගී සිටින්න පුළුවන් මේ විදිහේ නිර්මාණාත්මක වෘත්තියක් තෝරාගත්තොත්.

අපි මේ කියන්න යන්නේ. ලංකාව ඇතුලේ ඔබට තෝරාගන්නට පුලුවන් ඒ විදිහෙ හොඳම නිර්මාණාත්මක වෘත්තීන් 6ක් ගැනයි.

1. ඡායාරූප ශිල්පය – Photography

ඉස්සර ඡායාරූප ශිල්පියෙක් කිවුවම අපිට මතක් වෙන්නෙ වෙඩින් වලදි ෆොටෝ ගහන, ස්ටුඩියෝ එකක් තියන කෙනෙක්. එහෙමත් නැත්නම් පත්තරේක පින්තූර ගන්න කෙනෙක්. ඒත් මේ වෙද්දි ඡායාරූප ශිල්පය කියන්නෙ ඊට වඩා විශාල පරාසයක විහිදෙන ඉතාම සාර්ථක වෘත්තියක් බවට පත්වෙලා ඉවරයි. වර්තමාන තරුණයො විතරක් නෙමෙයි තරුණියො පවා ඡායාරූපකරණයට යොමු වෙන්නේ මේ නිසායි. වෙඩින් ෆොටෝග්‍රැෆි (Wedding Photography) වලට අමතරව ෆැෂන් (Fashion), ඉවෙන්ට් (Event), ඇඩ්වර්ටයිසින් (Advertising), වයිල්ඩ්ලයිෆ් (Wildlife) ඇතුළු තවත් ක්ෂේත්‍ර බොහොමයක ඔබට ඡායාරූප ශිල්පියෙක් හැටියට වැඩ කරන්න පුළුවන්. ග්‍රැපික් නිර්මාණ ශිල්පය කියන්නෙත් මේ වෙද්දි ඡායාරූප ශිල්පයත් එක්ක බැඳිල යන තවත් වෘත්තියක් නිසා ඒ පැත්තෙන් උනත් ඔබට රැකියා අවස්ථා ලබාගන්නට පුළුවන්.

2. මල්ටිමීඩියා – Interactive Multimedia

මල්ටිමීඩියා තාක්ෂණය පැත්තෙන් තමන්ගෙ දැනුම වර්ධනය කරගැනීමෙන් ඔබට විවිධ වූ ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා හිමිකරගන්න පුළුවන්. මල්ටිමීඩියා ඩිසයින්, වෙබ් ඩිසයින්, වෙබ් ප්‍රෝග්‍රෑමින්, ඩිජිටල් ඩිසයින්, 3D ඇනිමේෂන් ඇතුළු තවත් විෂයයන් රැසක දැනුම ලබාගන්නට ඔබට පුළුවන්. ඒ දැනුම හරහා ඔබට තෝරාගන්න පුළුවන් වෘත්තීන් අතර වෙබ් ඩිසයිනර් (Web Designer), වෙබ් ඩිවෙලොපර් (Web Developer), 3D ඇනිමේටර් (3D Animator), UX ඉන්ජිනියර් (UX Engineer), වීඩියෝ එඩිටර් (Video Editor), ගේම් ප්‍රෝග්‍රෑමර් (Game Programmer), මල්ටිමීඩියා ඩිසයිනර් (Multimedia Designer) ආදී වෘත්තීන් ඉදිරියෙන්ම තියනවා.

3. ග්‍රැෆික් නිර්මාණ ශිල්පය – Graphic Design

ග්‍රැෆික් ඩිසයින් කියන්නේ වැඩි දෙනෙක් දන්න වෘත්තියක් වුණාට, ග්‍රැෆික් ඩිසයින් දැනුම නිසියාකාරව ලබාගැනීම මගින් ඔබට පිවිසෙන්න පුළුවන් ක්ෂේත්‍ර වල පරාසය දන්නේ ඉතා ස්වල්ප දෙනෙක් විතරයි. හුඟ දෙනෙක් දන්න ඇඩෝබි ෆොටෝෂොප් වලට අමතරව ෆ්ලෑෂ්, ඉලස්ට්‍රේටර්, ඉන්ඩිසයින්, ඩ්‍රීම්වීවර් ආදී මෘදුකාංග රැසක් ගැන දැනුම ලබාගන්නටත්. ඒ මගින් රැකියා අවස්ථා රැසක් උදාකර ගන්නටත් ඔබට හැකියාව තියනවා. ග්‍රැපික් නිර්මාණකරණය හරහා ඔබට ඇතුළුවිය හැකි වෘත්තීන් අතර ග්‍රැෆික් ඩිසයිනර්, වෙබ් ඩිසයිනර් (Web Designer), පැකේජ් ඩිසයිනර් (Package Designer), 2D ආටිස්ට් (2D Artist), ඩිජිටල් ඉලස්ට්‍රේසර් (Digital Illustrator) සහ ඇනිමේටර් (Digital Animator) ආදීන් විශේෂයි. ඒ වගේම කාලය, දැනුම සහ අත්දැකීමක් එක්ක නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ඉහලටම යන්නටත් ග්‍රැපික් නිර්මාණ ශිල්පය හරහා ඔබට මග පෑදෙනව.

4. විලාසිතා සහ ඇඟලුම් – Fashion Marketing & Textile

විලාසිතා සහ ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නෙත් ඔබේ නිර්මාණාත්මක කුසලතාවය හරහා සෑහෙන ඉදිරියට යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ෆැෂන් ඩිසයිනින්ග් ගැන අපි මීට කලිනුත් ලිපියක් ගෙනාවා ඔයාලට මතකත් ඇතිනේ. නවීන විලාසිතා ගැන උනන්දුවක් තියනවනම්, ඒ ගැන හොඳ ඇහැක් තියනවනම්, මේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන්නට ඔබට හැකියාව තියනවා. මෝස්තර නිර්මාණ ශිල්පය විතරක් නෙමෙයි, ඇඟළුම් නිෂ්පාදන සහ මුද්‍රණය ගැන ඉගෙන ගන්නටත්, මේ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ඥානය ලබාගන්නටත්, ෆැෂන් ෆොටෝග්‍රැපි වැනි අංශ වල දැනුම ලබාගන්නටත් ඔබට පුළුවන්. ඒ මගින් ෆැෂන් හෝ ටෙක්ස්ටයිල් ඩිසයිනර් (Fashion/Textile Designer) කෙනෙක් වෙන්න, ෆැෂන් ඉලස්ට්‍රේටර් (Fashion Illustrator) කෙනෙක් වෙන්න, ඇඳුම් නිර්මාණකරුවෙක් (Costume Designer) වෙන්න, එහෙමත් නැතිනම් විලාසිතා ඡායාරූපකරණය (Fashion Photography), ෆැෂන් බ්ලොග්කරු (Fashion Blogger), ෆැෂන් වීඩියෝ බ්ලොග්කරු (Fashion vlogger), ෆැෂන් ජර්නලිස්ට් (Fashion Journalist) වගේ අංශයකින් ඉස්සරහට යන්න උනත් ඔබට පුළුවන්.

5. සිනමාකරණය – Film Making

ෂෝට් ෆිල්ම් එකක් හරි හදන එක වර්තමානය වෙද්දි ගොඩක් තරුණ පරපුරේ හීනයක්. ඉතින් වැඩි දෙනෙක් ආස කරන මේ වගේ ක්ෂේත්‍රයක ආදායම් මාර්ගයක් ලබන්න පුළුවන්නම් කොයි තරම් දෙයක්ද නේද? සිනමාව විතරක් නෙමෙයි, මියුසික් වීඩියෝ සහ වෙළඳ දැන්වීම් ආදී ක්ෂේත්‍ර වලත් සෑහෙන ඉල්ලුමක් තියෙන රැකියාවක නිරත වෙන්න මේ මගින් ඔබට මග පෑදෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය (Film Direction), වීඩියෝකරණය (Video), පිටපත් රචනය (Screen Writing), ආලෝකකරණය (Lighting Techniques) ආදී විෂයයන් සහ තාක්ෂණයන් සම්බන්ධ දැනුම ලබාගැනීම මගින් මේ ක්ෂේත්‍රයේ ඔබ ප්‍රියකරන වෘත්තියක් සඳහා යොමුවීමට ඔබට මග සලසාගන්න පුළුවන්. අධ්‍යක්ෂණය, කැමරාකරණය (Filming), වීඩියෝ සංස්කරණ (Video Editor), තිර පිටපත් රචනය (Screen Writer) ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ වෘත්තීන් රැසක් අතරින් ඔබට තෝරාගැනීමක් කරන්න පුළුවන්. ස්වාධීනව වැඩ කරන්න කැමති කෙනෙක්ට උනත් මේ විදිහේ වෘත්තීන් ඉතාම හොඳට ගැලපෙනවා.

6. 3D Animation සහ Visual Effects (VFX)

තමන්ගේ නිර්මාණශීලීත්වය උපරිමයෙන්ම භාවිතාවට අරගෙන රැකියාවේ නියැලෙන්න පුළුවන් මේ ක්ෂේත්‍රයේ වෘත්තියක් තෝරා ගත්තෝතින්. සිනමාකරණයේදි වගේම විවිධ මෘදුකාංග සහ තාක්ෂණයන් අධ්‍යයනය කිරීමෙන් මේ ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය දැනුම ලබාගන්න පුළුවන්. වීඩියෝ සංස්කරණය (Video Editor), ත්‍රිමාණ සජීවීකරණය (3D Animator), ආලෝකකරණ ශිල්පය (Lighting Artist), දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණ ශිල්පය (Visual Effects Executive), 3D මොඩ්ලර් (3D Modeler), 3D ආකිටෙක්ට් (3D Architect) සහ CG ආටිස්ට් (CG Artist) ආදී වෘත්තීය අවස්ථා රැසක් මේ මගින් විවර කරගන්න පුළුවන්.

- aniwa.lk






gossip lanka