බෙහෙත් ගන්න දොස්තර ගාවට යන්න කලින් මේ දේවල් කරන්න එපා !

පොඩිම අසනීපයකට වුණත් දොස්තර මහත්තයෙක් මුණ ගැහුණේ නැත්නම් හිතට හරි නැති ගතියක් තියෙනවම තමයි. වෙන කවරදාටත් වඩා ඒ ගතිය දැන් තියනවා. හැබැයි ඉතින් මගුලකට වෙන මොකක් හරි පාටියකට යනවා වගේ සැරසිලි නෑ ඒ ගමනට. හැබැයි සැරසිල්ලක් නැත්තෙමත් නෑ. දොස්තර මහත්තයව හම්බ වෙලා බෙහෙත් ටිකක් ගන්න කලින් රෝගී ඔබ කරන්න අවශ්‍ය අමුතු සැරසිලි ටිකක් තියනවා. මේ දේවල් නොකර හිටියම ඒ සැරසිල්ල සම්පූර්ණයි.
1. රූපලාවණ්‍ය එපා

දැන් නම් ඉතින් මළ ගෙදරකට යනකොටත් මොකක් හරි බියුටි කචල් එකක් ඕනි නේ. හැබැයි ඩොකා මහත්තයා ළඟට යනකොට නම් ඇඟිලිවල නියපොතුත් පාට නොකර ම ඉන්න තරමට හොඳයි. මොකද සමහර රෝග ලක්ෂණ හරියට ම බලාගන්න වෙන්නේ හමේ වෙන වෙනස්කම් නිසා. මූණේ ඇස් වටා වගේ ම විශේෂයෙන් ම හමේ ප්‍රශ්නයක් නම් නියපොතු වටා බලන්න පුළුවන්. එතකොට තමයි ඒ ආශ්‍රිත දිලීරයක් මොකක් හරි තියෙනවා නම් ඒ කාරිය බලාගන්න පුළුවන් වෙන්නේ.

2. ගෙදර තියෙන බෙහෙත් කෑලි බොන්න එපා

බත් කනවා වගේ බෙහෙත් බොන්න තියන ආශාව නම් ඉතින් ගොඩක් අයට මග අරවාගන්න අමාරුයි. ඉතින් පොඩි ඉහේ ඇම්මටත් පෙත්තක් ගන්නවා. මොන ලෙඩක් වුණත් දොස්තර කෙනෙක් ගාවට යන්න සූදානමින් ඉන්නවා නම් බෙහෙත් මොකුත් නොගෙන යන්න. මොකද එහෙම වුණාම තමයි දොස්තරට ලේසි වෙන්නේ රෝග ලක්ෂණ හරියට ම දැනගන්න. නැත්නම් හරි ම තත්ත්වය අර බෙහෙත්වලට මද වශයෙන් යටපත් වෙනවා. බෙහෙත් පෙත්තක් ගන්න ම ඕනි නම් මුල් අවස්ථාවේ තිබුණ රෝග ලක්ෂණ හොඳට මතකයේ තියාගන්න වෙනවා.

3. වතුර නොබී ඉන්න එපා

ලේ පරීක්ෂාවක් රුධිර පරීක්ෂාවක් කරන්න ඉන්නවා නම් කෑම සම්බන්ධයෙන් එක එක වාරණ තියනවා. නමුත් ඒක වතුර එක්ක පටලවා ගන්න නරකයි. හැකි තරම් වතුර බොන්න ඕනි. පරීක්ෂණවලට පමණක් ම නෙවෙයි දෛනික ජීවිතයේ පවා වතුර ඉතින් දෙයියනේ කියලා බොන්න එපැයි. මැරුණු ගහක් වුණත් දළු දාලා එනවනේ වතුර පොදක් වැටුණාම. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා හමුවන්න ගියත් රුධිර පීඩනය බැලීමේ අවශ්‍යතාවක් ආවොත් ඒකට වතුර නොබී සිටීම බලපානවා.

4. කැෆේන් අඩංගු පාන වර්ග එපා

වතුර බොන්න කීවට මොකෝ වැරදිලාවත් කෝපි කෝප්පයක් නම් තොල ගාන්න එපා. කෝපි වගේ කැෆේන් සහිත පාන වර්ගවලින් ඔබේ රුධිර පීඩනය සෑහෙන වැඩි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩිස්පැන්සරිවල ඉන්න දොස්තර මහත්තුරු ඔබේ රුධිර පීඩනය බලනවා. වෛද්‍ය නිර්දේශය තමයි මෙහෙම වෛද්‍යවරයා හමුවන්න පෙර පැයක කාල සීමාවේ කැෆේන්වලින් ඈත් වෙලා ඉන්න කියන එක.

5. ඇස් පරීක්ෂාවට පෙර ෆෝන් එක එපා

ඇස්වල පෙනීම සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ගන්න අවශ්‍යතාවක් ඇති වුණා නම් අදාළ ස්ථානයට යන්න ඕනි ෆෝන් එක ගෙදර තියලා. එහෙම කියන්න හේතුව තමයි ඒ තිරය දිහා බලන් ඉඳීම හැර තමන්ගේ වෙලාව එනකන් කරන්න දෙයක් නොමැතිකම. එතකොට ඒක බලපාන්නේ කොහොමද? ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියන බ්ලූ ලයිට් එක අපේ ඇස්වලට වෙහෙසකරයි. ඒ දිහා බලන් ඉඳලා ඇස් පරීක්ෂාවට ගියාම ගොඩක් දේවල් වරදින්න පුළුවන්.

6. මැමොග්‍රම් පරීක්ෂාවකට පෙර ඩියෝඩ්‍රන්ට් එපා

පියයුරු පිළිකා තත්ත්වයන් කලින් හඳුනා ගැනීමේ පරික්ෂාව වන මැමොග්‍රම් පරික්ෂාව අති සියුම් පරික්ෂාවක්. පොඩි ම හරි වෙනසක් වුණොත් ඒක ප්‍රතිඵලයට බලපානවා. ඒ කියන්නේ ඔබට පිළිකාවක් නැතත් පිළිකාවක් ඇතැයි හිතන තැනට පත් වෙනවා. එතකොට ඒක ඩියෝඩ්‍රන්ට් එක්ක වෙන්නේ මෙහෙමයි. එහි අඩංගු සංඝටක කීපයක් පරීක්ෂාවෙන් වැරදි විදියට අපේ සිරුරේ ඇති දේවල් විදියට හඳුනා ගැනෙනවා. පිළිකාවක් නැතුව පිළිකාවක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා.

7. කොලෙස්ටරෝල් පරීක්ෂාවට පෙර ඇල්කොහොල් එපා

බියර් සහ අරක්කු වගේ මධ්‍යසාරවල කොලෙස්ටරෝල් කෙලින් ම නැතත් ඉතා ඉහළ ප්‍රමාණවලින් සීනි සහ කාබෝහයිඩ්‍රේට තියෙනවා. ඉතින් මේවා කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි කරනවා. කොලෙස්ටරෝල් නැතුව කොලෙස්ටරෝල් එක්ක ජීවත් වෙන්න මේ එක්ක සිද්ධ වෙනවා. ටිකකින් තත්ත්වය පහ වෙලා ගියත් අර මොහොතේ කොලෙස්ටරෝල් මට්ටම වැරදි ලෙස ගණනය වෙනවා.
gossip lanka