කොරෝනා නිසා අපේ උදවියට වැඩිපුරම මිස් වෙච්ච දේවල්

කොයි කවුරුත් ගෙවල් ඇතුළ​ට වෙලා ජීවත් වෙන දවස් ටිකක් නොවැ මේ ගෙවෙන්නෙ. සමහරු නම් ඒත් ෆුල් සැපේ තමයි ඉන්නෙ. තවත් සමහරුන්ට දැනටමත් ජීවිතේ එපා වෙලා. මේක කියවන ඔයා මේ වර්ග දෙකෙන් මොන වර්ගෙට අයිති වුණත්, ගෙදරටම වෙලා මේ අමාරු කාලෙ ගත කරන්න කියලයි ලයිෆි අපි ඉල්ලන්නෙ. ​ඒ අතරතුර ඔයාලට කියවන්න අපි මේ අරන් එන්නෙ කොරෝනා නිසා ගෙවල්වල හිර වෙලා ඉන්න උදවියට වැඩිපුරම මිස් වුණු දේවල් 7ක් ගැන.

1. කොත්තු සහ රයිස්

දවල්ට ෆ්‍රයිඩ් රයිස් කාලා රෑට කොත්තු කාපු සාඩම්බර ජනතාවක් වෙච්ච අපිට කොරෝනා මහ ව්‍යසනයක් කියල දැනෙන්න මේ කොත්තු රයිස් ලැක් එකත් බලපෑවා. ගොඩක් දෙනෙක් බුකියෙ පවා කොත්තු, රයිස්වල ෆොටෝ හෝ ගාල ෂෙයාර් කරගෙන වැළපෙන්න ගනිද්දි, තවත් සමහරු ගෙදරම මේවා හදාගන්න උත්සාහ ගත්තා. කොහොම වුණත් පහු වෙද්දි කෑම ඩිලිවරි සර්විස් ​ආයෙ පටන් ගත්ත නිසා සමහරු තමන්ගෙ දොළදුක් සංසිඳවා ගත්ත.

2. අරක්කු, බියර් සහ සෙට්වීම්


මේක තමයි අපේ අයියලට වැදුණු මරු පහර. කවුරුත් නොහිතපු විදිහට දිගින් දිගටම බාර් වහල තියන්න ​ආණ්ඩුව ගත්ත තීරණය එක්ක බ්ලැක් මාකට් එකේවත් බෝතලයක් හොයාගන්න බැරි වුණ නිසා සමහර අයියල අසරණ වුණා. මේ අසරණකම කොයි තරම් දුර දිග ගියාද කියනවනම් ගෙදරදීම පෙරාගෙන පානය කරන්න පුළුවන් මත්පැන් රෙසිපිවලට පුදුම ඉල්ලුමක් ​ආවා සහ ගොඩක් දෙනා නිවසේදීම පෙරාගත් රහමෙර බොන පොටෝ කෑලි එහෙමත් ෂෙයාර් කරගන්නවා අපිට දකින්න ලැබුණා.

3. ලවු ඉලවු

හැමදාම හම්බුවෙලා ලවු කරපු උදවියට පවා ලෝංග් ඩිස්ටන්ස් ලවු වලට මාරු වෙන්න සිද්ද වුණා. මේ තත්ත්වයක් එක්ක ලොකුම අපල කාලෙ උදාවුණේ අනියම් ලවු සයිඩ් එකෙන් කරන් හිටපු අයියලා අක්කලාට තමයි. ​​ඒ අසහනේ වැඩි වුණ හින්දද මන්දා ගෙවල්වල පවුල් ​ආරවුලුත් සෑහෙන ඉහළ මට්ටමකට වැටුණා මේ ටිකේ.

4. බියුටි

අපේ කාන්තා පාර්ශවේට තමයි මේ කාරණේ ලොකුවටම මිස් වෙන්න ගත්තෙ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අටෝරාසියක් බියුටි කචල් වැඩවලට දිනපතා, සතිපතා සැලෝන් යන්න පුරුදු වෙලා හිටපු ගෑණු ළමයින් අන්ත අසරණ වුණා සැලෝන් යන්න බැරුව. ස්ට්‍රේට් කොණ්ඩ එහෙම තිබ්බ ගෑණු ළමයි දැන් කර්ලි හෙයාර් ලුක් කියලා සෙල්ෆි දාන්න පටන් අරන්.

5. ස්පෝර්ට්ස්

ෆිල්ම්, ටීවී සීරීස්, පොත් කොච්චර තිබ්බත් සැර ක්‍රීඩා ලෝලියෙකුට කිසිම ​​​ඇක්ටිවු ක්‍රීඩාවක් බලන්න නැති නිසා මේ ගෙවෙන්නේ පට්ට අවුල් කාලයක්. පරණ මැච්වල හයිලයිට් බල බල කාලෙ ගෙවන එක ​​​ඇර ලොකු ලල් එකකුත් නෑ. එංගලන්තයත් එක්ක ගහන්න තිබ්බ ක්‍රිකට් සීරීස් එක වගේම අද හෙටම පටන්ගන්න තිබ්බ අයිපීඑල් එකටත් කනකොකා හැඬුවා. පාපන්දු ලෝලියෝ ​ආසාවෙන් බලන් හිටපු ලීග් මැච්, චැම්පියන්ස් ලීග් වගේම යූරෝ කුසලානෙත් කල්ගියා. මේ වෙද්දි ක්‍රීඩා ලෝලීන්ගෙ එකම බලාපොරොත්තුව තමයි අප්‍රේල් 19 පැවැත්වෙන්න නියමිත UFC 249 ඉවෙන්ට් එක.

6. ට්‍රැවල්

හැම සති අන්තෙම ලංකාවෙ ලස්සන තැන් බලන්න, ​​​ඇවිදින්න යන්න පුරුදු වෙලා හිටපු අයගෙ අතපය කඩා දාල වගෙයි මේ දවස්වල. පෙරුම් පුරාගෙන ප්ලෑන් කරපු ට්‍රිප් කැන්සල් වෙච්ච අය ඉන්නෙ වෙනමම ලෙවල් එකක හිත් අමාරුවකින්. ලස්සන ප්ලේසස් බලන්න තියා හන්දියට යන්නවත් බැරි තත්ත්වයක් තියන නිසා තවත් උන්ට පිස්සු වගේ.

7. ඔෆිස්

බොසා නිවාඩු දෙන්නෙ නැහැ කියලා මීම්ස් ෂෙයාර් කරපු අය, සඳුදා වැඩට යන්න වෙනවට ​ආඩපාලි කියපු අය අතරින් වැඩි පිරිසකට මේ වෙද්දි හිතපු නැති විදිහට ඔෆිස් ජීවිතේ මිස් වෙන්න අරන්. ​​​ඇයි? අයිස් පාරක් ගහන ගමන්, නෙට් ලොග්වෙලා, ​ආතල් කයියක් ගහන ගමන් ඉඳ හිට වැඩ ටිකකුත් කරපු උදවියට දැන් ගෙවල්වල වැඩ ගොඩ ගැහිලානෙ. වයිෆ්ට උදවු කරලයි, හැමදාම කල් දදා හිටපු ගෙදර වැඩ කරන්න වෙලයි සමහර හබියෝ උන්මත්තකයො ගාණට වැටිලයි ඉන්නේ…

අන්තිමට කියන්න තියෙන්නේ මේකයි. කොච්චර දුෂ්කර වුණත් අපි මේ ගෙවන්නෙ අතිශය තීරණාත්මක කාලයක්. ​ආතල් ටිකක් මිස් වුණා කියලා ​​ඒවා හොයාගෙන යන එක නෙමෙයි මේ දවස්වල කරන්න ඕන. කොහොමහරි මේ අර්බුදකාරී අවස්ථාවේ රටක් හැටියට එකාවන්ව ගොඩ එන්න තමන්ගෙ දායකත්වය දෙන එකයි වෙන්න ඕනෙ. ​​ඒකට මහලොකු කැප කිරීමක් කරන්න අවශ්‍යත් නෑනෙ. ගෙදරට වෙලා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් විවේකීව ඉන්න විතරයි තියෙන්නෙ.
gossip lanka