හාල්මැස්සන්ටත් වඩා කැල්සියම් පිරුණු කතුරුමුරුංගා.

කතුරුමුරුංගා කොළ හා මල් රෝග රැසකට ගුණදායක බැවින් ආරක්ෂක ආහාරයක් ලෙස හඳුන්වනු ලබන්නේය. විටමින් හා ඛනිජ වර්ගයන් බොහොමයක් මෙහි අන්තර්ගතව පවතින බැවින් ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට කතුරුමුරුංගා ඉවහල් වන්නේය. කැල්සියම් බහුල ආහාරයක් ලෙස හඳුන්වා දී තිබෙන හාල්මැස්සන් අබිබවා එම ස්ථානය අද වන විට කතුරුමුරුංගාවලට හිමිව ඇත්තේය.
කතුරුමුරුංගා ග්රෑම් 100ක අන්තර්ගතව පවතින කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1130කි.

කැල්සියම් අධික බැවින් අස්ථි ශක්තිමත් වීමට හා එහි වර්ධනයට කැල්සියම් ඉවහල් වන්නේය.
ඇස්වල නිරෝගිතාවට විටමින් ඒ ඉවහල් වන්නේය. කතුරුමුරුංගා කොළවල විටමින් ඒ අන්තර්ගත වන්නේ කැරොටීන් ප්‍රභවයක් ලෙසය. කතුරු මුරුංගා ග්රෑම් 100ක අන්තර්ගත කැරොටීන් ප්‍රමාණය වන්නේ මයිකේ‍රාග්රෑම් 5400කි. මෙම ප්‍රතිශතය ඇස්වල පමණක් නොව සමේ නිරෝගි පෙනුමටද ඉවහල් වන්නේය.

විටමින් සී බහුල ලෙස පවතින කතුරුමුරුංගා ශරීරයේ පටක නිසියාකාරව පවත්වාගෙන යාමට හා පටකවල නිරෝගි භාවය පවත්වාගෙන යාමට හේතුවක් වන්නේය. කතුරුමුරුංගා සම්බෝලයක් ලෙස ආහාරයට ගත හැකි වන්නේ නම් විටමින් සී සැලකිය යුතු ලෙස ශරීරයට එක් කර ගත හැකි වන්නේය.

කතුරුමුරුංගා සම්බෝලයට උම්බලකඩ ස්වල්පයක් හෝ වියළි හාල්මැස්සන් ස්වල්පයක් එක් කර ගැනීමෙන් කතුරුමුරුංගාවල පවතින යකඩ ඉක්මනින් ශරීරයට උරා ගැනීමට හැකියාව පවතින්නේය. මෙම ක්‍රියාවලිය හේතුවෙන් රුධිරයේ පවතින යකඩ ඌනතාව මගහරවා ගත හැකි වන්නේය.
කෙඳි බහුල ආහාරයක් වන කතුරුමුරුංගා ආහාරයට ගැනීම හේතුවෙන් බඩවැල් නිසි පරිදි ක්‍රියා කරන අතර මලබද්ධය ඇති වීමට තිබෙන ඉඩ කඩ මගහැරෙනු ඇත.

එසේම ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට මෙන්ම අපස්මාර රෝගීන්ට ඉතාමත් සුවදායක ආහාරයක් ලෙස කතුරුමුරුංගා හඳුන්වා දිය හැකිය.

යම් පුද්ගලයකුගේ ශරීරයේ පවතින අධික උෂ්ණත්වය මගහරවා ගැනීමට කතුරුමුරුංගා කොළ කිරි හොඳි සමග එක් කර ආහාරයට ගැනීමට බොහෝ දෙනකු පෙළඹෙන්නේය.

තවද කතුරුමුරුංගාවල පවතින විටමින් ඒ ශරීරයට හොඳින් උරා ගැනීමට නම් කතුරුමුරුංගා ආහාරයට ගැනීමට පෙර එයට තෙල් ස්වල්පයක් එකතු කර ගැනීම වැදගත් වන්නේය. මන්ද; කොළවල පවතින විටමින් ඒ වර්ගයන් තෙල්වල දියවීමෙන් අනතුරුව ශරීරයට උරාගැනීමක් කරනු ලැබේ.

කතුරුමුරුංගා කොළ පමණක් නොව මල්ද වඩාත් ‍පෝෂ්‍යදායි ආහාරයක් වන්නේය. ආහාර රුචිය ඇති කිරිමට ඉවල්වන කතුරුමුරුංගා මල් ඖෂධීය ගණයෙන් යුක්ත වන්නේය.


gossip lanka