තේ වෙලාවට සුදුසු රසවත් කෙටි කෑම

සවස තේ සමග රස විඳින්නත් තේ වෙලාවට අමුත්තන් පැමිණි විටෙක පිළිගන්වන්නත් කදිම කෙටි කෑම රැසක් මේ.  විවේක වෙලාවක ඔබත් මෙවැනි කෑම වර්ග අත්හදා බලන්න.

පාන් මිනි පිට්සා

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8ක්, මොසරැල්ලා චීස් ග්‍රෑම්250ක් පමණ, කොළ පාට සහ රතු පාට, බෙල් පෙපර් 2ක්,
ටොමැටෝ පේස්ට් ටිකක්

සාදන ආකාරය

බෙල්පෙපර් කුඩා කොටු වලට කපා ගන්න. පාන් පෙති යන්තමට ටෝස්ට් කරගෙන ටොමැටෝ පේස්ට් ස්වල්පය බැගින් ගා ගන්න. දැන් ඒ මත කොළපාට සහ රතු පාට බෙල් පෙපර් කැබැලි ස්වල්පයක් විසුරුවා හරින්න. දැන් චීස් ගේට් කර පාන් පෙති වැසී යන ආකාරයට දමා, මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක දමා චීස් උණුවී යනතුරු බේක් කර ගන්න. දැන් මේ පාන් පෙති තුන්හුලසට හෝ දික් තීරු ලෙස කපා කෑමට ගන්න.


සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් මීට් බෝල්ස් ග්‍රෑම් 250, ලොකු ලූනු ගෙඩියකින් 1/2ක්, තෙල් මේස හැඳි 2, බිත්තරයක්, සමෝසා ෂීට් හෝ ස්ප්‍රිං රෝල් අවශ්‍ය තරමට, ලුණු ස්වල්පයක්

සාදන ආකාරය

ලූනු ඉතාම සිහින්ව කපා ගන්න. මීට් බෝල්ස් අතින් කුඩු කර ගන්න. බිත්තරය බඳුනකට දමා සාරු සාදා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු, මීට් බෝල්ස් දමන්න. ලූණු එකතු කර තෙම්පරාදු කරගන්න. දැන් සමෝසා ෂීට් හෝ ස්ප්‍රිං රෝල් කැබැල්ලක් ගෙන එයට තෙම්පරාදු කරගත් මීට් බෝල්ස් ටිකක් දමා තුන්හුලසට ඔතා අවසාන කොනට බිත්තර සාරු ගා අලවා ගෙන තැටියක අඩුක් කර මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.

සොසේජ් පේස්ට්‍රි

අවශ්‍ය ද්‍රව්‍ය

සොසේජස් ග්‍රෑම් 200, පෆ් පේස්ට්‍රි ග්‍රෑම් 500ක් පමණ, පාන් පිටි ස්වල්පයක්, ලොකු ලූනු ගෙඩියකින් 1/2, ලුණු ස්වල්පයක්, කෑලි මිරිස් ස්වල්පයක්, තෙල් මේස හැඳි 2

සාදන ආකාරය

ලූනු ඉතාම සිහින්ව කපා ගන්න. සොසේජ් කරල කොටස් 3කට පමණ කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට සොසේජ් දමන්න. තෙම්පරාදු වී ගෙන එන විට එයට ලූනු, ලුණු, කෑලි මිරිස් දමා කලවම් කරගන්න. දැන් පාන්පිටි ස්වල්පයක් ඉසගත් පෘෂ්ඨයක් මත පෆ් පේස්ට් ඩෝ එක දමා රෝලින් පින් එකකින් තුනී කර අඟල් 3 දිගට සහ අඟල් 1 1/2 පමණ පළලට කැබැලි කපා ගන්න. දැන් මේ කැබැල්ලක් ගෙන එහි මැද දිගට සොසේජ් කැබැල්ලක් තබා වටේට ඔතා ගන්න. සොසේජ් කැබල්‍ලේ කොන් දෙක පේස්ට්‍රිය දෙපසින් මතුව තිබිය හැක. දැන් මේවා මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක විනාඩි 10ක් බේක් කරගන්න.

ගාලික් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය

බ්‍රෙඩ් රෝල්ස් 8ක්, බටර් මේස හැඳි 3, සුදුලූනු ග්‍රෑම් 50ක් පමණ, ලොකු ලූනු ගෙඩියකින් 1/2, ලුණු ස්වල්පයක්

සාදන ආකාරය

බ්‍රෙඩ් රෝල්ස්වල මුදුනින් කුඩා පෙත්තක් කපා ඉවත් කරන්න. දැන් ලූනු, සුදුලූනු අඹරා ගන්න. එයට බටර්, ලුණු ස්වල්පයක් කලවම් කර ක්‍රීම් එකක් සේ සාදා ගන්න. දැන් බ්‍රෙඩ් රෝල් එක දෙකට කපා ඒ මත සුදුලූනු පේස්ට් ආ‍ලේප කර මධ්‍යම උණුසුම සහිත උඳුනක ක්‍රිස්පි ගතියට ටෝස්ට් කරගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී විමල් නාගොඩවිතාන

- .lakbima.lk


gossip lanka