මේ ලෝකේ වැඩිම දෙනෙක් මැරෙන්නට වඩා බයයි “පිරිසක් ඉදිරියේ කතා කරන එකට”. අපි හැමදෙනාටම අඩු වැඩි වශයෙන් මේ බය ඇතිවෙලා තියෙනවා. එය මිනිස් ගතිලක්ෂණයක්. මෙයට හේතුව වෙලා තියෙන්නේ අපි අවට සමාජය කුමක් හෝ කරනවිට එය කිරීමට දිරි දෙනවා වෙනුවට, නිතරම “බලාගෙනයි, ඕක කරන්න එපා, මම නම් මොකුත් කියන්නේ නැහැ, කැමැත්තක් කරන්න” වගේ වචන කියන්න
පුරුදු වෙලා සිටින නිසා.
ඉතින් ස්වභාවයෙන් ම අපි තුල අපි ගැන පවතින විශ්වාසය බොහොම අඩු මට්ටමක තියෙන නිසා මේ “පිරිසක් ඉදිරියේ කතා කරන්නට ඇති බිය” කියන කාරණය ඇතිවෙනවා කියලා අපිට සිතන්නට පුළුවනි. නමුත් ඔබ රැකියාවක් කරන නිතර ජනතාව සමඟ බද්ධ වී කටයුතු කරන්නට වෙන කෙනෙක් නම්, ඔබ කොතරම් පසු පසට ගියත්, ඔබේ රැකියාව නිසා ඔබට ඒ දේ කරන්නට අතීතයේ, වර්තමානයේ හෝ අනාගතයේ සිදුවෙන්නට පුළුවන්.
එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? එහෙනම් අපි ඒ බිය පරදවන්නට අවශ්‍යයි. බිය පරදවා අපව ඉදිරියට ගන්නට අවශ්‍යයි. ඒ කර්තව්‍ය කරන්නට ඕනෙ වෙන කවුරුන්වත් නෙවෙයි. ඔබමයි.
හරි අපි බලමු මේ බය පරදවන්නේ කොහොමද කියලා.
1. පීනන්න ඉගෙන ගන්න වතුරට පනින්නම වෙනවා!
පිරිසක් ඉදිරියේ කතා කරන්නට ඇති බය නැති කරගන්නට ඇති හොඳම සහ එකම විදිය තමා, පිරිසක් ඉදිරියේ කතා කිරීම. මේක ලියපු එකාට පිස්සුද කියලා හිතුනට ඒක තමා ඇත්ත.
“මම මුලින්ම පිරිසක් ඉදිරියේ කතා කරන්න යනකොට බයටම දෙතුන්පාරක් ටොයිලට් එහෙම ගියා. සමහර වෙලාවට මට පාචනේ හැදිලද කියලත් හිතුනා. අවස්තාව උදා වුනාට පස්සේ මම බියෙන් බියෙන් ගිහින් කතා කළා. දවස් ගණනක් ලක ලැහැස්ති වෙලා අවසානේ විනාඩි 10 කතාව විනාඩි 5න් නතර කලත්, ඉන් පසුව ලැබුණු අත්පොලසන් නාදය සහ අගය කිරීම් මාව නැවත නැවත එහෙම කතා කරන්න සිතෙන තැනට පත් කෙරුවා.”
මෙහෙම කියන්නේ පසුගිය වසරක ස්වර්ණ පුස්තක සම්මාන අවසාන වටයට තම පොත් තේරුණු ලේඛකයෙක්. ඔහු තම නම කියනවට කැමති වුනේ නැහැ. මොකද වර්තමානයේ ඔහු ඉතා චතුර ලෙස අසන්නන් තම ග්‍රහණයට ගන්නා කථිකයෙක් වන නිසා.
හරි ආපහු කතාවට යමුකෝ, මේ බය නැති කරන්න එච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඔබේ රැකියා ස්ථානයේ හෝ පාසලේ සමහර විට කථික සංගම් තිබෙන්න පුළුවන්, ඒවාට බැඳිලා තමන්ගේ හැකියාව උරගා බලන්නට ඔබට නිතැතින් ම පුළුවන්. ඒ මොකුත් නැතිව තනියෙන් උනත් ඔබට ගොඩයන්න පුලුවන්. ඒ ගැන අපි පසුව කියන්නම්.
2. තමන් “හිතට” තම හිතමය සෙවනැල්ල
නිකමට හිතන්න ඔයා හිතුව කියලා “අනේ මම හරි අදක්ෂ ළමයෙක්, මට පිරිසක් ඉස්සරහ කතා කරන්න බැහැ අප්පා.” මෙහෙම කියනවා නම් ඔයා අනිවා අදක්ෂ කෙනෙක් තමා. ඒකට හේතුව තමා ඔයා තමන්ගේ අදක්ෂ කම ගැන හිතලා ඒක අදහන්න පටන් තියෙන්නේ. ඒ වගේම ඔයා හිතනවා නම් “මට මොකෝ කට්ටියක් ඉස්සරහ කතා කරන්න බැරි? මම කතා කරනවා ඇහුවොත් කට්ටිය shock වෙනවා අනිවාර්යයෙන්.” ප්‍රතිපලෙත් එහෙමම තමා.
අපි කියන්න හැදුවේ මේකයි. ඔයාගේ මානසික මට්ටම වෙනස් කරගන්න ඕනේ ඔයාමයි. සෘණ අදහස් වලින් ධන අදහස් වලට යන්න ටිකක් අමාරු තමා, හැබැයි ගියොත් ගොඩම තමා.
මේක කරගන්න එක පොඩි හෝම් වර්ක් එකක් තියෙනවා හරිම සරල. ඒ තමයි තමන් කරන කතාව පිරිසක් ඉදිරියේ කරන්න කලින් ෆෝන් එකේ හෝ රෙකෝඩර් එකකින් පටිගත කරගන්න එක. ඊට පස්සේ නැවත නැවත අහනකොට තමන්ට වැරදෙන ගොත ගැසෙන තැන් අල්ලාගෙන ඒවා නිවැරදි කරගෙන තමන්ගේ හිතේ තමන් ගැන ධනාත්මක අදහසක් පැල කරගන්න ඔබට අනිවා ඉඩකඩ ලැබේවි.
3. අවදානමට පෙර සුදානම හොඳා
හැම සාර්ථක කථිකයෙක් ම තමන් කරන්නට නියමිත කතාවට පෙර තමන්ට ලැබිලා තියෙන මාතෘකාව සම්බන්දයෙන් සොයා බැලීමක් නිරත වෙනවමයි. එය දක්ෂ කථිකයෙක්ගේ ස්වභාවයක්. ඒ වගේම කතාව කරන්න කලින් තමන්ගේ හිතවතෙක් හෝ කණ්ඩායමක් ඉදිරියේ එය පුහුණු වී තමන් තුල තවදුරටත් වැඩි දියුණු විය යුතු කොටස් ගැන දැන කියා ගන්න එක නම් හරිම වටිනවා. එහෙම වුනාම පිරිසක් ඉදිරියේ පෙර සූදානමකින් තොරව ගිහින් ස්නානය කරන්න තියෙන ඉඩ අඩු වෙනවා.
කතාව කරන අවස්ථාවට පැමිණි පසු, ඔයා කතාව කරන්නට ඇති ස්ථානයට ටික වෙලාවකට කලින් යන එක වැදගත් වේවි. ඒවගේ ම ශාලාව තුල රඳවන්නට හැකි අසන්නන් ගණන සහ ඔයාට ලැබිලා තියෙන කාලය අනුව ශාලාවේ රැඳී සිටින සියලු දෙනාටම ආමන්ත්‍රණය කරන්නට හැකියාව ලැබෙනවද කියන එක ගැන අවධානයක් යොදවන එක වැදගත්.
අනික් ප්‍රධානම කාරණාව තමා කතාව කරන්නට කලින් හිතේ ඇති කලබල කාරී බව නැතිවන තුරුම පොඩ්ඩක් විවේකීව සිටින එක. එහෙම නැති වුනොත් නම් කතාව කරන වෙලාවට වචන ගිල ගිල, දහදිය මුගුරු පෙරාගෙන, විනාඩියකට කලින් කණ ගාව බෝම්බයක් පිපිරුවා වගේ මුහුණ හදාගන්නේ නැතුව බොහොම සුන්දරව සරලව සුගමව කතාව කරන්නට ඔබට බැරි වේවි.
4. කටුසටහන
තමන් කරන්න යන කතාවේ මාතෘකා ගැන පොඩි කටුසටහනක් ගහගෙන යන්න පුලුවන්නම් මරු. එහෙම වුනාම ඔයාට පහසුවෙන්ම කතාවේ ආරම්භයට සහ ඇතුලත කරුණු වලට අවතීර්ණ වෙන්න පුළුවන් මොකද ඔයා කතා කරන්නේ මොකක් ගැනද කියලා අඩංගු කාරණා අර පොඩි නෝට් එකේ තියෙනවානේ,. හැබැයි, වාක්‍ය පිටින් ලියාගෙන කොළ අතට ගනිමින් වාක්‍ය ගලපමින් කොළ බලාගෙන කියන්න ගියොත්, නරඹන්නන්ට ඔයාව එපා වෙන්නේ ඒ මොහොතේ මයි.
5. හුස්ම ගන්න, ඇවිදින්න
එක දිගට කෝච්චියක් යනවා වගේ කියවන්න ගියොත් අසන්නන්ට ඔයාව එපාවෙන්නේ එවෙලෙමයි. මේ නිසා හොඳට හුස්ම ගනිමින්, කතාව නැවතිය යුතු තැන්වල නවතමින්, බොහොම නිදහසේ කතා කරන එක තමා හොඳම. නැතුව විමල් වීරවංශ ලිප්ටන් වටරවුමේ කෑ ගහනවා වගේ කතා කරන්න ගියොත් ඔයාගේ මහන්සිය එතනම වතුරේ.
ඒ වගේම වේදිකාව මත පොඩ්ඩක් ඇවිදිමින් තමන්ගේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් නිතැතින්ම නරඹන්නන්ගේ අවධානය ඔබ වෙතට ලැබේවි. දාහක් ඇස් වලට යොමුවෙලා, එක තැනක හිරවෙලා ඉන්නව වගේ දැනෙන හැඟීමත් අඩුවේවි.
6. ගල්, මල් බවට පත්කරගන්න!
අපි හැමෝම ආසයි අපි කරන කතාව ගැන අහගෙන ඉන්න අය හොඳ කියනවා නම් ඒ වුනාට ඇත්තටම එහෙම වෙනවා නම් කොච්චර හොඳද, ඒ වුනාට ඔබේ කතාව ඇතුලේ තියෙන කරුණු ගැන ප්‍රශ්න කරන අසන්නෙක් ඔබේ කතා කරන සමුහය ඇතුලේ ඉන්න පුළුවන්,
කරුණාකරලා එහෙම කෙනෙක් ගෙන් ඔබට ප්‍රශ්නයක් ලැබුනොත් එය නොවලහා විසඳන්න. එවිට ඔබගේ කතාව ගැන තිබෙන විශ්වාසය වැඩි වෙන්නට තිබෙන ඉඩ බොහොම වැඩියි.
7. වැරදි කිරීම මනුස්ස ගතියකි
ඔයා කරන්නට ලැහැස්ති වෙලා සිටින්නේ ඔයාගේ පළමුවෙනි ඉදිරිපත් කිරීම නම් ඔයා අතින් වැරදි සිදුවුණාට කලබල වෙන්න එපා. ඔයා ඊළඟ කතාව තුල ඒ වැරදීම් නොතිබෙන ලෙස කාරණා කටයුතු හදාගත්තා නම් ඔයා දිනුම්ම තමා මල්ලි.
- aniwa.lk
පිරිසක් ඉදිරියේ කතා කරන්න බැරි ලෙඩේට මෙන්න බෙහෙත් වර්ග 7ක්
2018-06-07T01:53:00-07:00
Gossip Lanka Hot News
slide|